ලංකාව නැවත වතාවක් ඉතිහාසයට එකතු විය. මෙවර අපේ රටේ නම ලෝක ඉතිහාසයේ ලියැවෙන්නේ ජනාධිපති සමාව ලැබූ සිරකරුවන්ගේ ලැයිස්තුව අස්සේ ගසා ජනාධිපති සමාව නොලැබූ සිරකරුවන් ද ගෙදර යැවීම හේතුවෙනි. මෙය ස්ථිර වශයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ අනුමැතිය යටතේ සිදු වූ බව අපගේ විශ්වාසය වේ. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අනුරාධපුර බන්ධනාගාරයේ කොමසාරිස් ද වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ද මේ වන විට තමන්ට ඉතා හුරුපුරුදු රිමාන්ඩ් බන්ධනාගාරය තුළ රිමාන්ඩ් සිරකරුවන් සේ ජීවත් වෙති. රිමාන්ඩ් සිරකාරයෝ ජම්පර් නොගසති. එහෙත් නඩු අසා ඔවුන් වැරදිකරුවන් වූ දාට ජම්පර් ඇඳීමට සිදුවේ. මේ නඩුව ඇසීමට කල් යන බැවින් අත්අඩංගුවට පත් වූ බන්ධනාගාර ප්‍රධානීන් දෙදෙනා වෙනුවෙන් දැන්ම ජම්පර් මැසීමේ අවශ්‍යතාවක් නැත. දෛවය යනු ඉතා පුදුම දෙයකි. ලෝකය කැරකෙන්නේ කිසිදු ආධාරකයක් නැතිවය. ආධාරකයක් නැතිව කැරකෙන ලෝකය, විශ්වය තුළට කඩාවැටිය යුතු නමුදු ගුරුත්වාකර්ෂණය නිසා එසේ සිදු නොවේ. එසේ නම් ස්වභාවධර්මය යනු ඉතාම අරුමපුදුම දෙයකි. බන්ධනාගාරයේ ලොක්කන් දෙදෙනාට සෙසු සිරකරුවන් සමග රිමාන්ඩ් සිරගෙදර තුළ නිදාගන්නට සිදුවීම පුදුමයක් නොවේ ද? එක්තරා කාලයක දී ළඟින් යන විටත් ඌෂ්ණය දැනෙන මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු, එස්. එම්. රංජිත් යනාදීහු අද වැලිකඩ සිරගෙදර සිමෙන්ති පොළොව මත පැදුරු කොට්ටවල නිදති. ඔවුන් වැඩ කරන්නේ වැලිකඩ සිරගෙදර පිහිටි ප්‍රින්ටින් ප්‍රෙස් එකේ ය. රජයේ නිලධාරීන් ගස් බඳිමින් සූරසරදියෙල්ගේ කාඩ්බෝඩ් පාට් එක ඇක්ට් කිරීමට ගිය මර්වින් සිල්වාට සිදුව ඇත්තේ ද මහින්දානන්දලා සමග එක පෙළට සිරගෙදර නිදාගැනීමටය. කලකට පෙර ඉතා සුළු දෙයටත් ව්‍යාඝ්‍රයකු සේ ගොරවා සිංහයකු සේ කඩාපැන්න මර්වින් සිල්වා අද කිසිම හඬක් නොනඟා, සුනඛ සෙය්‍යාවෙන් ජීවත්වීමට පුරුදු වෙමින් සිටී. ඒ තමයි ජීවිතයේ හැටි. ඉරණම යනු නිතරම දුනුදිය කැඩෙන දුන්නකි. ඊතල කිහිපයක් එක දිගටම යවන නමුදු දුන්නෙහි ලණුව කැඩුණු විට තවදුරටත් ඊතල විදීමට නොහැක.
රජයේ උසස් නිලධාරියකු නිලඇඳුම පිටින් අත්අඩංගුවට පත්වීම හොඳ ආදර්ශයක් නොවේ. මීට ශතවර්ෂ තුන්කාලකට පමණ පෙර එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව පෙරළීම සඳහා සිවිල් සහ සිවිල් නොවන රජයේ නිලධාරීන් කිහිපදෙනකුගේ එකතුවෙන් කුමන්ත්‍රණයක් සංවිධානය කෙරිණ. ඒ වනවිට ලංකාවේ හමුදාපති ලෙස කටයුතු කළේ රිචඩ් උඩුගම නමැති ප්‍රභූවරයෙකි. හමුදා කුමන්ත්‍රණය පිළිබඳ රහස බණ්ඩාරනායක මහත්මියට දැන ගන්නට ලැබිණ. සිද්ධියට සම්බන්ධ සියලුම හමුදා ප්‍රධානීන් සහ සිවිල් සේවකයන් අත්අඩංගුවට ගන්නා ලදී. මේ වනවිට හමුදාපති රිචඩ් උඩුගම සිටියේ එංගලන්තයේ ය. වහාම ඔහු ලංකාවට කැඳවා ගුවන් තොටුපළේ දී නිලඇඳුමෙන් සිටියදීම අත්අඩංගුවට ගන්නා ලදී. එදා එම කුමන්ත්‍රණය හෙළිදරව් වීමත් සමග එවක අග්‍රාණ්ඩුකාර ධුරය හෙබවූ සර් ඔලිවර් ගුණතිලක ඉවත් කරන ලෙසට මහ රැජිනට දන්වා යවා පියවර ගැනීමට එදා අගමැතිනිය පියවර ගත්තාය. ආරක්‍ෂක අංශවල නිලධාරියකු නිලඇඳුම පිටින් අත්අඩංගුවට ගැනීමෙන් ඔහුට අදාළ ආරක්‍ෂක බළකාය පිළිබඳ හෑල්ලුවක් ජනමනස තුළ පැතිර යයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මේ වනවිට සිටින්නේ සිරගෙදර ය. එමගින් සිදුවන්නේ සිරගෙදර සිටින සිරකරුවන්ට මුහුණ දීමට පවා බන්ධනාගාර නිලධාරීන්ට නොහැකි වීමය. මේ අතර අප විසින් විමසනු ලබන තවත් වැදගත් කාරණයක් තිබේ. ජනාධිපති සමාව ලැබෙන සිරකරුවන් ලිස්ට් එකට අත්සන් කරන ජනාධිපතිතුමා එම සිරකරුවන්ගේ කැරැට්ටුව සොයාබැලීම සඳහා ඒ අයගේ ගෙයින් ගෙට යන්නේ නැත. මේ නිසා නිදහස් කරන සිරකරුවන් පිළිබඳ සොයාබැලීමේ වගකීම අධිකරණ අමාත්‍යාංශයටත් ඒ යටතේ ඇති බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් පැවැරෙන බව අපි විශ්වාස කරමු. හැබැයි කට්ටියම හොරු නම් හොරු අල්ලන්නට ගියොත් තමා ද ඇතුළට යන බැවින් කිසිම හොරෙක් කිසිම දෙයක් සොයා බලන්නේ නැත. අප මෙයින් සඳහන් කරන්නේ අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හොරපළවල් බව කීම නොවේ. මේ ස්ථාන දෙකම ‘පූජනීය ස්ථාන’ බඳු තැන් ය. කෙසේ වුවද මේ සිද්ධිය නිසා දැනට සිටින ජනාධිපති පමණක් නොව කලින් සිටි ජනාධිපති ද බලවත් අපහසුතාවට පත්වනවා ඇත. ඊට හේතුව කලින් ජනාධිපතිගේ කනින් රිංගා ජනාධිපති සමාව ඔස්සේ විවිධ වංචනිකයන් හිරෙන් නිදහස්ව ගොස් ඇති බව ප්‍රචාරය වීම ය. දේවාලයක හොරෙක් සිටී. මෙහි ඇති දේව ප්‍රතිමාවට පූජා භාණ්ඩ වශයෙන් ගෙනෙන පැණි, පිට්ටු ද දෙවියන්ට ගහන පොල්ගෙඩි ද කපුවා සොරකම් කරගෙන ගෙදර යයි. දේව ප්‍රතිමාව මේ හොරකම දුටුව ද ඒ බව කීමට එම ප්‍රතිමාවට හැකියාවක් නැත. එම ප්‍රතිමාව තනිකරම මැටි ගොඩකි. මේ ආශ්‍රයෙන් සැකසුණු ප්‍රස්තාව පිරුළක් අපේ රටේ තිබේ. “දේවාලේ පිට්ටු හොරා පොල් බෑයට තට්ටු කළා” යන්න එම ප්‍රස්තාව පිරුළ වේ.