(විදුලිබිල 15% කින් නගී)
ක්‍රි. පූ. 2750 දී, එනම් මෙයට අවුරුදු හාරදහස් හත්සිය හැත්තෑපහකට පමණ පෙර ඊජිප්තුවේ වාසය කළ තෙලෙස් නමැති විද්‍යාඥයා විදුලිය ගැන පර්යේෂණ නොකරන්නට දැනට තිබෙන කරදර කිසිවක් උද්ගත වන්නේ නැත. තෙලෙස් නොහිටින්නට ලයිට් නැත. ලයිට් බිලුත් නැත. ලයිට් බිල් වැඩි කරන්නට සිදුවන්නේ ද නැත. එසේ නම් පරණ ක්‍රමයට ලාම්පු පත්තු කරගෙන ජීවත්වීමේ හැකියාව අපට තිබිණ. තෙලෙස්ගෙන් පසු ශ්‍රීමත් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් නමැති විද්‍යාඥයාත්, මයිකල් ෆැරඩේ නමැති විද්‍යාඥයාත් තෙලෙස්ගේ අදහස් අනුව යමින් විදුලිය පිළිබඳව පර්යේෂණ කර එමගින් ආලෝකය ජනිත කළ හැකි බව සොයා ගත්තේය. මේ අතර නිකොලා ටෙස්ලා නමැති යුරෝපීය විද්‍යාඥයා විදුලි බල්බය සොයා ගත්තේය. තෝමස් අල්වා එඩිසන් තම නමට එම බල්බය රෙජිස්ටර් කර ගත්තේය. මේ කාරණා අපි කියන්නේ ලිඛිත සාක්‍ෂි අනුවය. ඉන් පසු ඉතා ක්‍රමානුකූල ලෙස විදුලිය දියුණුවෙන් දියුණුවට පත් විය. හැබැයි විදුලිය ජනිත කිරීම පිළිබඳ මූලික න්‍යායයන් අදටත් වෙනස් වී නැති අතර කවදාවත් වෙනස් කිරීමට ද බැරිය. උදාහරණයක් වශයෙන්, ඩයිනමෝව සොයාගත්තේ මයිකල් ෆැරඩේ විසිනි. අදත් අප විදුලිය උපදවා ගන්නේ ෆැරඩේගේ ඩයිනමෝවේ මූලධර්මවලට අනුව ය. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සොයාගෙන තිබුණේ අහසේ ජනිත වන විදුලිය උපරිම බලයක් බවය. සේද නූලක ගැටගැසූ සරුංගලයක් විදුලිකොටන වේලාවේ දී අහසට යැවූ විට එසේ කොටන විදුලියේ බලය සේද නූල දිගේ පහළට එන බව ෆ්‍රෑන්ක්ලින් සොයා ගත්තේය. මෙය සොයා ගැනීමට ගිය අවස්ථාවේ දී ෆ්‍රෑන්ක්ලින්ට කරන්ට් එක වැදී කන්වලින් දුම් පිටවූ බව කියනු ලැබේ. විදුලිබලය පිළිබඳ අපගේ පාඩම අදට මෙතැනින් නවත්වනු ලැබේ. ආණ්ඩුව නැවත වරක් විදුලි බිල වැඩි කළ විට අපේ පාඩමේ ඉතිරි කොටස කියමු.
ජනාධිපති අනුර දිසානායකගේ සහ හරිනි අමරසූරියගේ ජේ.වී.පී., එන්.පී.පී. ආණ්ඩුව මීට පැය 48 කට පෙර විදුලි බිල 15%කින් වැඩි කළේය. මීට සියවස් දෙකකට පමණ පෙර විද්‍යාඥ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ කනෙන් දුම් පිටවුණේ ඔහුට ඇත්තටම කරන්ට් වැදුණු හෙයිනි. එහෙත් අද තිබෙන ආර්ථිකයට අනුව විදුලි බිල 5%කින් වැඩි කළත් අපේ කන්වලින් දුම් පිටවෙයි. විදුලි බිල වැඩි නොකර සිටීමට ආණ්ඩුව හැකි පමණින් උත්සාහ කළ නමුදු අපේ රටේ ආර්ථිකයේ පාලකයන්ගෙන් කෙනකු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට ඉඩ දුන්නේම නැත. විදුලි බිල වැඩි නොකළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය අපට ලබානොදෙන බවට එම සංවිධානය තර්ජනය කළේය. මේ බව ඇසූ මහජනතාව කලබලයට පත්වූ කල්හි ඔවුන් සංසිඳුවීම පිණිස කීයටවත් විදුලි බිල වැඩි නොකරන බවට බොරු කීමට ඇතැම් ඇමැතිවරුන්ට සිදුවිය. බොරු කීම පාපයකි. එහෙත් රටක් කරගෙන යෑමේ දී කිසියම් ආකාරයකට බොරුවක් දෙකක් අතහැරීම දේශපාලනඥයෝ සිදු කරති. මෙය 1970න් පසු බලයට පත් වූ හැම ආණ්ඩුවක් විසින්ම කරන ලද්දකි. මෙයට සිංහල භාෂාවේ වචනයක් ද තිබේ. එම වචනය වූ කලී සම්‍යක් ප්‍රයෝග යන්නය. අද විදුලි බිල වැඩි කළාට ඉතා ඉක්මනින් එය අඩු කරන බව දේශපාලනඥයෝ කියති. මිනිසුන්ගේ උඩු හිත එම ලණුව නොකෑව ද යටි හිත එම ලණුව කයි. පසුගිය කාලයේ දී ආණ්ඩුව සාක්කුවට දැනෙන තරම් ලොකු ගණනකින් විදුලි බිල අඩු කළේය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වත් නොකිව්වත් ලංකාවේ විදුලි බිල හැමදාමත් එක මට්ටමකට තබාගත නොහැක. අප විදුලිය නිපදවන්නේ ප්‍රධාන ක්‍රම දෙකකට ය. ඉන් පළමුවැන්න ජල විදුලිය යි. දෙවැන්න තාප විදුලිය යි. තාප විදුලිය යනු පෙට්‍රෝලියම් ඉන්ධනවලින් එන්ජිමක් ක්‍රියාත්මක කර එමගින් ඩයිනමෝවක් කරකවා විදුලිය නිපදවීම ය. ජල විදුලියේ දී කෙරෙන්නේ ජලාශවල තිබෙන ජලයට ටර්බයිනයක් කරකවා එයට ඩයිනමෝවක් සම්බන්ධ කර විදුලිය නිපදවීම ය. ජලයෙන් ටර්බයින් කරකැවීමට වැස්ස අවශ්‍ය ය. එහෙත් වැස්ස හැමදාම නැත. මේ නිසා වැස්ස අඩුවී ජලාශ්‍ර සිඳුන විට තාප විදුලිය වැඩි වැඩියෙන් නිපදවීමට අපට සිදුවේ. ලෝක වෙළෙඳපොළේ පෙට්‍රෝලියම් මිල දිනෙන් දිනෙන් උච්චාවචනය වේ. ඉන්ධන මිල වැඩි වනවිට විදුලි බිල ද නඟී. ආණ්ඩුව එම ඉන්ධන මිල විදුලි බිලට එකතු කරයි. වැසි කාලයේ දී මේ ඉන්ධන මිල එකතු වන්නේ නැත. කෙසේ හෝ වේවා ආණ්ඩුව එකවරම 15% ක විදුලි බිල වැඩිකිරීම මගින් විදුලිය පාවිච්චි කරන සාමාන්‍ය ජනතාවටත් කර්මාන්තකරුවන්ටත් වෝල්ටේජ් තිස්තුන්දාහක කරන්ට් එකක් වැදී තිබේ. මෙතැන් සිට අඩුවෙන් ලයිට් පත්තු කිරීමට අපට සිදුවෙනවා ඇත. එසේම විදුලිබලය ආශ්‍රයෙන් කරන සියලුම නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ යනවා ඇත. මෙය ගාමන්ට් ෆැක්ටරිවලට ඉතා තදින් බලපායි. ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය මේ වනවිට කාර්මික නිෂ්පාදන ආර්ථිකයක් බවට පත්ව තිබේ. එහෙත් අපට ගැලපෙන්නේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයකි. කෘෂි නිෂ්පාදන ආර්ථිකය විශාල වශයෙන් ලාභ ගෙන දෙන්නේ නැත. එහි අවදානම ද වැඩිය. ඒ නිසා නව ලෝක අනුක්‍රමයට අනුව කාර්මික සහ ඉලෙක්ට්‍රෝනික් නිෂ්පාදන ක්‍රියාවලියකට අප යා යුතුමය. 15%ක විදුලි බිල ඉහළ යෑම වෝල්ටේජ් තිස්තුන්දහසේ කරන්ට් එකක් බවට පත්වන්නේ මෙතැනදීය. විදුලි බිල වහාම අඩු කරන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා කට්ටිය එකතු කළ යුතු බවට විපක්‍ෂයේ දේශපාලනඥයෝ මේ දිනවල කියති. එහෙත් විපක්‍ෂයේ දේශපාලනඥයන් තබා කවුරු කිව්වත් මේ වෙලාවේ විදුලි බිල අඩු කළොත් අයි.එම්.එෆ්. එක අප සමග තරහ වන අතර ඉතිරි ණය වාරිකය නොලැබීමෙන් අප නන්නත්තාර වනවා ඇත. ලංකාව ගස් දෙකක් අතර බඳින ලද විශාල කඹයක් මත ඇවිදින රටකි. හරියට බැලන්ස් කළොත් මේ ගමන යා හැකිය. එහෙත් එසේ බැලන්ස් කිරීමට හැකි දේශපාලනයක් මේ රටේ නැතිවීමත් කඹය දිරා තිබීමත් නිසා අපගේ කොන්දට තිබෙන අවදානම ඉතා වැඩිය.