නයි මිරිස් කටට දමලා-මුත්‍රා යන තුරු පහරදීලා
අන්තිමේ වෙඩිත් තියලා
උසස් නිලධාරීනුත් පස්ස හරවති
මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වධහිංසා නඩුවකට අදාළ සැකකාර පොලිස් නිලධාරීන් හතර දෙනකු රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීම සම්බන්ධයෙන් වන ලිපියක් මීට සති දෙකකට පෙර ‘ඉරිදා දිවයිනේ’ පළ විය. ඊට අදාළ නඩුව නැවත පසුගිය 05 වැනිදා කැඳවීය. පොලිස් නිලධාරීන්ට ඇප ලැබිණි. නමුත් එම සිදුවීමේදී දිගහැරුණේ ශ්‍රී ලංකාවේ යුක්තිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වන බරපතල ගැටලු ගණනාවක පැතිකඩකි. මේ ලිපිය ඒ ගැනයි.
“ස්වාමීනි මේ වින්දිතයා අවුරුදු 31ක තරුණයෙක්. ඔහු විවාහ වන වයසේ සිටින කෙනෙක්. ඔහුට විවාහ වෙන්න කෙනෙක් හිටියා. තමන්ට වෙච්ච අසාධාරණය ගැන පැමිණිලි කිරීම නිසා ඔහුව ඝාතනය කරන්න හැදුවට පස්සේ දැන් ඔහු ඉන්නේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ගෙදරට වෙලා. අවි ගත් නිලධාරීන් දෙදෙනකු සමග සිටින මේවගේ තරුණයකුට දුවෙක් දෙන්න දෙමාපියෝ කැමති වෙයිද? පොලිසිය කරපු අසාධාරණය නිසා මේ තරුණයාගේ ජීවිතයම විනාශ වෙලා තියෙන්නේ.”
ඒ 31 හැවිරිදි තරුණයකු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරියක පසුගිය 05 වැනිදා මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ කළ ප්‍රකාශයකි. ඇගේ කරුණු දැක්වීම අතරතුර අධිකරණ ශාලාවේ සිටි බොහෝ දෙනකුගේ දෙනත්වලට කඳුළු උනනු දක්නට ලැබිණි.
ඩිල්ෂාන් මධුසංඛ 2020 වසර වන විට 26 වැනි වියේ පසු වූ තරුණයෙකි. ජංගම දුරකතන අලෙවිහලක් පවත්වාගෙන යමින් ඔහු ජීවිකාව කරගෙන ගියේය. ඔහුගේ ජීවිතයේ තීරණාත්මක දිනය උදා වූයේ 2020 අගෝස්තු මස 24 වැනිදා ය. දුරකතන අලෙවිහලේ සිටියදී ඇමතුමක් ලැබිණි. ඒ මිතුරකුගෙනි. “මාලිම්බඩ පොලිසියෙන් බාර් එක ළඟට එන්න කියනවා” මිතුරා කීවේය. එම මත්පැන් අලෙවිහලේ මුදල් හොරකමක් සිදුවී ඇති බව ඒ වන විටත් ඩිල්ෂාන් පමණක් නොව ප්‍රදේශයේ බොහෝ දෙනෙක් දැන සිටියහ. මිතුරාගේ දැනුම්දීම මත ඩිල්ෂාන් අදාළ ස්ථානයට ගියේය.
ඩිල්ෂාන් අත්අඩංගුවට
ඩිල්ෂාන්ව දුටු මාලිම්බඩ පොලිසියේ නිලධාරියෙක් ඔහුගේ කමිසයෙන් අල්ලා මත්පැන් අලෙවිහලේ කාමරයකට ඇදගෙන ගියේය. කනට සහ මුහුණට පහර කිහිපයක් එල්ල කළේය. “වයින් ස්ටෝර්ස් එකේ සල්ලි කෝ? කැමරාවල ඉන්නේ උඹ, උඹට කොහොමත් නඩුවක් දෙනවා” පොලිස් නිලධාරියා තර්ජනය කළේය. පහර දීම නිසා ඇතිවූ වේදනාවෙන්ම “මම දන්නෑ සර්” ඩිල්ෂාන් කීවේය. පොලිසිය ඔහු මාලිම්බඩ පොලිසිය පිටුපස ඇති පොලිස් බැරැක්කය වෙත ගෙන යනු ලැබීය. පොලිස් ස්ථානාධිපති එම ස්ථානයට පැමිණියේය. ඩිල්ෂාන්ගේ එක් අතක් ගෙන උරහිසට උඩින් කරනවා, අනිත් අත ඉණට පහළින් කරකවා එකට තබා මංචු දැමීය. “සර් ඇක්සිඩන්ට් එකක් වෙලා මගේ වම් අත කැඩිලා තියෙන්නේ. මංචු දාන්න එපා සර්.” ඩිල්ෂාන් ඉල්ලා සිටිය ද පොලිසිය එය කනකට ගත්තේ නැත. අත් කරකවා මාංචු දැම්මා පමණක් නොව ඩිල්ෂාන්ට දැඩි වේදනාවක් ගෙන දෙමින් ඔහුගේ අත්දෙක දෙපැත්තට ඇද්දේය.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඉන් පසු මුහුණට, පපුවට, බඩට පහර දුන්නේය. පහර දෙමින් වයින් ස්ටෝර්ස්හි සල්ලි ගැන විමසීය. ඒ ගැන තමා නොදන්නා බව ඩිල්ෂාන් කියද්දී ඊට කන් නොදී පහර දුන්නේය. කුඩු නඩුවක් හෝ ඩිල්ෂාන්ට දමන බවට තර්ජනය කළේය. තවත් පොලිසියේ පිරිසක් මේ දෙස බලා සිටියහ. ඔවුහු පහරදීමට සම්බන්ධ නොවූ අතර වැළැක්වීමට ද උත්සාහ නොගත්හ. පහර දෙන්නේ පොලිසියේ ප්‍රධානීන් නිසා එම නිලධාරීන්ට කිරීමට දෙයක් නැති විය. විනාඩි 30ක් 45ක් පහර දී පසුව මංචු ගලවා දෑත් ඉදිරියට දමා යළි මාංචු දැමූ අතර එදින සවස ඩිල්ෂාන් පොලිස් සිර මැදිරියට ගෙන ගොස් දැමීය.
පසුදින එනම් 25 වැනිදා නැවත ඩිල්ෂාන් කූඩුවෙන් එළියට ගෙන අපරාධ අංශයට කැඳවාගෙන ගොස් එහි බිම වාඩි කර වීය. ඉන් පසු ඩිල්ෂාන්ගේ ඔළුවටත්, මුහුණටත්, පපුවටත් පොලිස් නිලධාරියෙක් පයින් පහර දුන්නේය. බෙල්ල නවා හිරකර පාදයෙන් පෑගීය. දැඩි වේදනාව සමග හුස්ම හිරවෙන ගතියක් ඩිල්ෂාන්ට දැණිනි. “සර් මට හුස්මගන්න බෑ සර්” ඩිල්ෂාන් කිව්වත් පොලිස් නිලධාරියා එය කනකට ගත්තේ නැත. ටික වෙලාවකට පසු වෙනත් නිලධාරියෙක් පැමිණ ඩිල්ෂාන් පොලිස් බැරැක්කයට රැගෙන ගියේය.
නයි මිරිස් කටට දමයි

ඔහුගේ ජීවිතයේ වේදනාත්මකම හෝරා කිහිපය ගෙවෙමින් තිබිණි. පොලිසිය නයි මිරිස් කොටා රෙදි කැබැල්ලක දමා ගෙනැවිත් තිබිණි. නයි මිරිස් කොටා තිබුණු රෙදි කැබැල්ල ඩිල්ෂාන්ගේ කටට ඔබා කට රෙදිපටියකින් (එම රෙද්දෙන්ම) ගැට ගැසීය. ඒ වන විට ඩිල්ෂාන්ගේ දෑත්වලට මාංචු දමා තිබුණු අතර ඔහුට දැඩි වේදනාවක් දැනෙන්නට විය. එසේ වේදනාව දැනෙන්නට සලස්වා නැවත ප්‍රශ්න කරන්නට විය. “වයින් ස්ටෝර්ස් එකේ සල්ලි කෝ?” යැයි කියමින් පොලිසිය විමසද්දී ඩිල්ෂාන් හිස දෙපසට වනමින් තමා එය නොදන්නා බව පෙන්වීය. නයි මිරිස් දමා ගැටගසා තිබූ නිසා ඔහුට කතා කිරීමට හැකියාවක් නොතිබිණි. විනාඩි 15ක් 20ක් නයි මිරිස් සමග ඔහු තැබීය.
පසුව නයි මිරිස් ඉවත් කළ අතර ඩිල්ෂාන් අපරාධ අංශයට රැගෙන ගොස් ඔහුට වීඩියෝ පටයක් පෙන්වීය. එය සීසීටීවී දර්ශනයකි. මත්පැන් අලෙවිහලේ හොරකමට අදාළ සීසීටීවී වීඩියෝව එය විය.
වීඩියෝ දර්ශනවල සිටි තැනැත්තාගේ මුහුණ හරියට නොපෙනිනි. “සර් මේ ඉන්නේ මං නෙමේ. මේ කෙනාගේ හෙල්මට් එකත් මගේ හෙල්මට් එක වගේ වුණාට මේ ඉන්නේ මම නෙමේ. මගේ හෙල්මට් එකේ කොළපාට බැජ් එකක් තියනවා සර්. මේකේ එහෙම නෑ.” දැඩි වේදනාවෙන් සිටි ඩිල්ෂාන් පෙන්වීය. ඒ වන විට ඩිල්ෂාන්ගේ හෙල්මට් එක පොලිසියට ගෙනැවිත් තිබිණි. සීසීටීවී වීඩියෝවේ සිටි සැකකරු මුදල් රැගෙන එය ශීතකරණයක් මත තබනු පෙනිනි. “සර් මේ මම නෙමේ සර්. හොඳට බලන්න සර්. මෙයා මිටි කෙනෙක්. මෙයා ෆ්‍රිජ් එක උඩින් සල්ලි තියන්නේ ඉස්සිලා. මම මෙතන තියන කබඩ්වලටත් වඩා උසයි සර්. ෆ්‍රිජ් එකක් මෙච්චර උස නෑනේ සර්” ඩිල්ෂාන් පැහැදිලි කළේය. “සර් මෙයා රබර් සෙරප්පු දෙකක් දාගෙන ඉන්නේ. මම ඒවා දාන්නේ නෑ සර්. මට ඒවා ඇලජික්” වීඩියෝවේ සිටින්නේ තමා නොවන බව සහතික කිරීමට අවශ්‍ය සියලු තොරතුරු ඔහු ප්‍රකාශ කළේය.
පසුව ඩිල්ෂාන් කැඳවාගෙන ස්ථානාධිපතිගේ කාර්යාලයට ගිය අතර එහි මත්පැන් අලෙවිහල අයත් සමාගමේ දෙදෙනෙක් සිටියහ. “ඇත්ත කියපං” කියමින් ස්ථානාධිපතිවරයා ඩිල්ෂාන්ගේ කනට පහර කිහිපයක් එල්ල කළහ. නැවත බැරැක්කයට රැගෙන ගොස් රඳවා තබා තිබූ ඩිල්ෂාන් එදින සවස යළිත් පොලිස් සිරමැදිරියට දැමීය.
මාලිම්බඩින් මාතරට
එදින රාත්‍රී 08ට 09ට පමණ මාතර පොලිසියේ සිට පැමිණි මාතර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ඩිල්ෂාන් සහ තවත් දෙදෙනෙක් රැගෙන මාතරට ගෙන ගියහ. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඩිල්ෂාන්ගේ අත්දෙක පිටුපසට කර මාංචු දැමීමට සූදානම් විය. “සර් මට මාලිම්බඩදි මාංචු දාලා තිබ්බා සර්. මට අමාරුයි සර්. මාංචු දාන්න එපා” ආදී වශයෙන් කියමින් ඩිල්ෂාන් ඇවිටිලි කළත් එය ගණනකට නොගත් පොලිස් නිලධාරියා අත් පිටුපසට කර මාංචු දැමීය. “ඇත්ත කියපං” යැයි කියමින් පහර දුන්නේය. ඩිල්ෂාන් තමා කිසිත් නොදන්න බව දිගින් දිගටම කීවේය.
“උඹව කිරල කැලේට එක්ක ගිහින් බෝම්බයක් හරි දානවා. ඇත්ත කියපං” තවත් පොලිස් නිලධාරියෙක් තර්ජනය කළේය. හොරකමකට සම්බන්ධ නැති ඩිල්ෂාන්ට හොරකම ගැන කීමට කිසිත් නොතිබණි. ඔහු පෙර පරිදිම තමා සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කළේය. ටික වේලාවකට පසු ඩිල්ෂාන් ගෙන ගොස් මාතර පොලිසියේ පොලිස් සිරමැදිරියට දැමීය.
පසුදින එනම් අගෝස්තු 26 වැනිදා ඩිල්ෂාන් වැඩි හරියක් හිටියේ මාතර පොලිස් සිරමැදිරිය තුළය. මාතර අපරාධ අංශයට ගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කළ ද එදින පහරදීමක් සිදු වූයේ නැත. එහෙත් පෙර දින දෙකේදී කළ වධ හිංසාවල වේදනාව අඩුවී තිබුණේ නැත. 26 වැනිදා ඩිල්ෂාන්ගේ පවුලේ උදවියත්, ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක්ද පොලිසියට පැමිණි අතර තමාට කළ පහරදීම ගැන ඩිල්ෂාන් ඔවුන්ට දැනුම් දුන්නේය. තම පුතා පොලිස් අත්අඩංගුවේ තබා ගැනීම ගැන ඩිල්ෂාන්ගේ මව 26 වැනිදා පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ අතර එහි පිටපත් මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයටත්, මාලිම්බඩ පොලිසියටත්, මාතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයටත්, පොලිස් කොමිසමටත් පිටපත් ලියාපදිංචි තැපෑලෙන්ම යොමු කළාය.
අගෝස්තු 27 වැනිදා උදේවරුවේ ඩිල්ෂාන් පොලිස් සිරමැදියේ රඳවා තිබිණි. ඩිල්ෂාන්ගේ මව ඇතුළු පිරිසක් ඔහු බැලීමට පැමිණියහ. තම පුතාට අමානුෂික ලෙස පහර දී ඇති බව දැනගත් මව එදින සවස මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයට ගොස් පැමිණිලි කළාය.
යටිපතුල්වලට පොලු පහර
27 වැනිදා දවල් 1ට, 1.30ට පමණ පොලිස් නිලධාරීහු ඩිල්ෂාන් අපරාධ අංශය වෙත රැගෙන ගියහ. අපරාධ අංශයේ මේසයක් මත ඩිල්ෂාන් උඩුබැලිඅතට හාන්සි කරවීය. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කිතුල්පොල්ලක් වැනි පොලු තුනකින් වරින් වර ඩිල්ෂාන්ගේ යටිපතුල්වලට පහර දුන්නේය. යටිපතුල්වලට වැරෙන් පහරදී පසුව ඩිල්ෂාන් නැගිට්ටවා ඔහුගේ උරහිස්වලටත්, කකුල්වලටත් පහර දුන්නේය. නැවත ඔහු හාන්සි කර පහර දුන් අතර ටික වේලාවකට පසු නැවත නැගිට්ටවා පහර දුන්නේය. මෙලෙස දිගින් දිගටම වරින් වර පහර දුන්නේය. දැඩි පහරදීම නිසා ඇතිවූ වේදනාවෙන් සිටි ඩිල්ෂාන් ක්ලාන්ත වී බිම ඇද වැටිණි. ඩිල්ෂාන්ට ඇඳ සිටි කලිසමේම මුත්‍රා පහ විය. බිම ඇද වැටී සිටි ඩිල්ෂාන්ට නැගිටපන් යැයි කියමින් පහර දුන් අතර ඩිල්ෂාන් නැගිට්ටේය. යටිපතුල්වලට පොලුවලින් පහරදීම නිසා වේදනාවෙන් සිටි ඩිල්ෂාන්ට ඉන් පසු අණ කෙරුණේ උඩ පනින ලෙසයි. එම වේදනාවත් සමග ඩිල්ෂාන්ට වැසිකිළි යෑමේ අවශ්‍යතාවක් ඇති විය. ඒ බව දැනුම් දුන් පසු නිලධාරීන් දෙදෙනෙක් පැමිණ ඩිල්ෂාන් වැසිකිළියට රැගෙන ගියහ. තමා බැලීමට මිතුරන් පැමිණ සිටින බව ඔහු වැසිකිළියට ගොස් එන අතරතුර දුටහ. නැවත අපරාධ අංශයට රැගෙන ගිය ඩිල්ෂාන්ට වතුර පිරවූ මෙගා බෝතල්වලින් පහර දුන්නේය. ඩිල්ෂාන් දැඩි වේදනාවෙන් කෑ
ගැසීය.
“මුට මෙහෙම හරියන්නෑ. උඩ එල්ලන්න කඹයක් අරං වරෙං” යැයි කියමින් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තවත් නිලධාරියකුට මුදල් ලබා දුන්නේය. ඩිල්ෂාන්ගේ පවුලේ අය නීතිඥවරයකු පොලිසියට කැඳවාගෙන ආවේ මේ අතරතුරදීය. නීතිඥවරයා අපරාධ අංශයේ ස්ථානාධිපති හමුවිය. ඉන් පසු ඩිල්ෂාන්ට පහරදීමක් සිදු වූයේ නැත.
ඩිල්ෂාන්ගේ සහෝදරියක එදින පැමිණ අපරාධ අංශයේ ස්ථානාධිපති හමුවී තම සහෝදරයාට පහරදීමට හේතු විමසීය. ඔහු හොරකමකට සම්බන්ධ බවට වීඩියෝ තිබෙන්නේ නම් ඒවා පෙන්වන ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව ඩිල්ෂාන්ගේ අක්කා ඇතුළු පවුලේ කිහිප දෙනකුට සහ මිතුරන් කිහිපදෙනකුට සීසීටීවී වීඩියෝ නැරඹීමට අවස්ථාව ලැබිණි. මේ වන විට ඩිල්ෂාන් සිටින්නේ මාතර පොලිසියේ අපරාධ අංශයේය. ඔවුන් වීඩියෝව නරඹද්දී ඩිල්ෂාන් මුලින් අත්අඩංගුවට ගත් මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පැමිණ ඩිල්ෂාන්ගේ හෙල්මට් එක සහ ජංගම දුරකතනය මාතර අපරාධ අංශයේ ස්ථානාධිපතිට භාර කළේය. “සර් මේ බලන්න, මල්ලිගේ හෙල්මට් එකයි, මේ සීසීටීවී එකේ හෙල්මට් එකයි වෙනස්.” ඩිල්ෂාන්ගේ සහෝදරිය පෙන්වා සිටි අතර ඩිල්ෂාන්ගේ මිතුරන් ද වෙනස්කම් පෙන්වා සිටියහ.
ලැජ්ජාවට පියා වස බොන්න යයි

වීඩියෝව නරඹා අවසන් වූ පසු මාතර අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අත ඔළුවේ ගසා ගත්තේය. ඩිල්ෂාන්ගේ මවට වැඳ “අනේ අම්මේ මට සමාවෙන්න. මාලිම්බඩින් හෙල්මට් එක කලින් ගෙනාවා නම් මෙහෙම වෙන්නෑ. මේක මගේ අතින් ජීවිතේටම වෙච්ච දෙවැනි වැරදීම” ස්ථානාධිපතිවරයා කීවේය. ඒ වන විටත් දින කිහිපයක් තිස්සේ පහරකෑම නිසා ඩිල්ෂාන් සිටියේ දැඩි වේදනාවකිනි. “අපි මෙහෙන් ඇපයක් දෙන්නම්” යැයි ඔහු කී අතර ඩිල්ෂාන්ගේ මිතුරකුට සල්ලි දී පිටතින් ක්‍රීම් එකක් ගෙන්වාගෙන ඩිල්ෂාන්ගේ පහරකෑ තැන්වල ගෑමට සැලැස්වීය. පොලිසියේ පිරිසක් එක්ව උණුවතුරින් ඩිල්ෂාන් තැවීය. එහෙත් පාදයේ වේදනාව වැඩි වී ඔහු ඇවිදගන්නට නොහැකි තත්ත්වයට පත්වී තිබිණි.
ඉන් පසු සුවසැරිය ගිලන් රථ සේවයේ වැඩ කරන කෙනකු කැඳවා තුවාල පෙන්වා ඒවාට බෙහෙත් දමන ලෙස පොලිසිය දැනුම් දුන්නේය. ගිලන්රථ සේවකයා පසුව ඩිල්ෂාන් ගිලන්රථය අසලට රැගෙන ගොස් බෙහෙත් දැමීය.
දුරකතන විශ්ලේෂණ වාර්තා තවමත් ලැබී නැති නිසා ඇප දිය නොහැකි බව පොලිසිය කී අතර 27 රාත්‍රියේ ද ඩිල්ෂාන්ට පොලිසියේම ගත කිරීමට සිදු විය. අගෝස්තු 28 වැනිදා ඩිල්ෂාන්ගේ මව පොලිසියට පැමිණි අතර මත්පැන් අලෙවිහල බිඳ මුදල් සොරකම් කිරීමට ඩිල්ෂාන් අත්අඩංගුවට ගත්තේ යැයි ගමේ කතා බහ කරන නිසා දැඩි වේදනාවට පත් ඩිල්ෂාන්ගේ පියා වස බීමට උත්සාහ කළ බව මව පොලිසියට දැනුම් දුන්නාය. ඉන් පසු පොලිස් නිලධාරියකුට අයත් කාර් රියකින් ඩිල්ෂාන් නිවසට කැඳවාගෙන ගිය පොලිසිය ඔහු වරදක් කර නැති බවත්, පොලිසියට වැරදීමක් වූ බවත් පියාට දැනුම් දුන්නේය. කෙසේ වෙතත් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු ගමන් ඔහු මුදා හරින බව දැනුම් දී නැවත පොලිසියට රැගෙන ගියේය. 28 වැනිදා රාත්‍රියේ ද පොලිස් භාරයේ සිටීමට කිසිම වරදක් නොකළ ඩිල්ෂාන්ට සිදුවිය.
අගෝස්තු 29 වැනිදා සවස හයට පමණ පොලිස් ජීප් රථයකට ඩිල්ෂාන් නංවගත් නිලධාරීන් ඩිල්ෂාන් බැලීමට පැමිණ සිටි ඔහුගේ මිතුරකු ද නංවාගත්තේය. ඩිල්ෂාන්ගේ කඩය පිහිටි ගොඩනැඟිල්ලේ හිමිකරු හමුවී ඩිල්ෂාන් වරදක් කර නැති බව පොලිසිය දැනුම් දුන්නේය. ඉන් පසු ඩිල්ෂාන් සමග ඔහුගේ නිවසට ගොස් භාර දුන් පොලිසිය ඔහු රෝහල් ගත වනු ඇතැයි සිතා පොලිස් නිලධාරියකු නිවසේ රැඳවීමට උත්සාහ කළේය. නිවැසියන් ඊට විරුද්ධ වූ අතර ඩිල්ෂාන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් පොලිසිය විසින් සලසා දෙන බව කියා මේ ගැන කිසිවකුට පැමිණිලි නොකරන ලෙස ඉල්ලා සිටියේය. බෙහෙත් දැමීමට අවශ්‍ය අවස්ථාවලදී කතා කරන ලෙස දැනුම් දෙමින් පොලිසිය විසින්ම කොළ කැබැල්ලක දුරකතන අංක දෙකක් ලියා ලබා දුන්නේය.
පොලිස් ලොක්කෝ මග හරිති
එතැන් සිට වරින් වර ඩිල්ෂාන් පෞද්ගලික රෝහලකට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නේය. එහෙත් ඔහුගේ වේදනාවේ අඩුවක් නොවීය. එසේ හෙයින් තමන්ට රෝහල්ගත වීමට අවශ්‍ය විය. ඔහුට තනිවම රෝහලට යෑමට පොලිසිය ඉඩ නුදුන් අතර පොලිසියේම පිරිසක් ඔහු රෝහලට රැගෙන ගියේය. තුවාලවලට හේතුව තාප්පයකින් වැටීමක් බව ප්‍රකාශ කරන්නැයි පොලිසිය බල කළේය. දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඩිල්ෂාන් නිවසට ගොස් මේ ගැන පැමිණිලි කරන්නට පොලිස් අධිකාරී කාර්යාලයට ගියේය. පොලිස් අධිකාරීවරයා පැමිණිල්ල භාර ගත්තේ නැත. “ඔයාව උසාවි දාන්නැතුව නිදහස් කළේ ඒ නිසා තමයි” පොලිස් අධිකාරී කීවේය. ඩිල්ෂාන් රඳවා තබා ගැනීම සහ පහරදීම ගැන පොලිස් අධිකාරීවරයා හොඳින් දැන සිටි බව ඩිල්ෂාන්ට වැටහිණි. ඔහු පැමිණිල්ල භාර නොගැනීම නිසා ඒ ගැන පැමිණිලි කිරීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගියත් පොලිස් ප්‍රධානියා සිටියේ නැත. එහි සිටි වෙනත් නිලධාරියෙක් ඩිල්ෂාන්ට තර්ජනය කළ අතර පැමිණිල්ල භාර ගත්තේ නැත.
ඩිල්ෂාන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ ජංගම දුරකතන අංකය සොයා ගෙන මේ ගැන දැනුම් දුන් අතර ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හමුවීමට අවස්ථාව ලැබිණි. ඔහු ද පැමිණිල්ල භාර ගත්තේ නැත. නැවත මෙවැන්නක් සිදුවුවහොත් පමණක් මැදිහත් වන බව ඔහු කීවේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ද මෙම සිද්ධිය මුල සිට දැන සිටි බව ඩිල්ෂාන්ට වැටහිණි.
එතැන් සිට ඩිල්ෂාන් මුහුණ දුන්නේ සුළුපටු අභියෝගවලට නොවේ. ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය. ඊට බිලිවූයේ ඩිල්ෂාන්ගේ මිතුරෙකි. එතැන් සිට ඩිල්ෂාන්ටත්, ඔහු වෙනුවෙන් පෙනී සිටි අයටත් දැවැන්ත බලපෑම් ඉල්ල විය. විමර්ශන ආයතන සිද්ධිය යට ගැසීමට උත්සාහ කළේය.
මීට අදාළ නඩුව පසුගිය සතියේ කැඳවූ අවස්ථාවේ දී මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙසේ කීවේය.
“මේක සාමාන්‍ය නඩුවක් නෙමේ. මේක ලංකාවේ කෘරත්වය ගැන පෙන්වන නඩුවක්. හෘද සාක්ෂියක් තියන මනුස්සයෙක්ට තේරෙනවා මේකේ විමර්ශන හරියට වෙලා නෑ කියලා. නඩුවේ මුල් තොරතුර ගැන හරියට විමර්ශනයක් වෙලා නෑ. මේ පෙන්වන්නේ ලංකාවේ එක්තරා කාලසීමාවක ලංකාවේ පොලිසියේ කෲරත්වය ගැන. මේ කියන කාරණා ගැන විමර්ශනය කළ යුතුයි. නීතිපතිවත් මේ තත්ත්වය ගැන දන්නේ නැතුව ඇති. මේ විමර්ශනය සාධාරණය අවසානයක් කරා යායුතුයි.”
ඩිල්ෂාන්ට වෙඩි තැබීම සහ තවත් කතා ලබන සතියේ…
(දිවුරුම් ප්‍රකාශ, පැමිණිලි ගොනු සහ නඩු වාර්තා ඇසුරෙනි.)
තරිඳු ජයවර්ධන