කාන්තා යතුරුපැදි ප්ලාස්ටික් එකතු කරන්නියක් -ත්‍රිකුණාමලය
පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය ගැන ලොවම කතා කරන කාලයකි මේ. කොටින්ම මෙවර ජාත්‍යන්තර පරිසර දින තේමාව වී ඇත්තේ ද “ගෝලීය ප්ලාස්ටික් දූෂණයේ අවසානය- Ending Global Plastic Pollution” යන්නයි. ලෝකය මුහුණ පා ඇති ප්‍රධාන පාරිසරික අභියෝග අතර මෙතෙක් ප්‍රමුඛතාව දී කතා කළ “දේශගුණික විපර්යාසය” නමැති මාතෘකාව ද පරයා අද පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය ගැනත්, එම දූෂණය අවම කිරීම ගැන හෝ වළක්වා ගැනීම ගැනත් ලෝක කතිකාවතක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි. නුදුරු අනාගතයේම ලෝකයේ පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය වළක්වාලීම සඳහා තවත් වැදගත් සන්ධාන-සම්මුති බිහිවීමේ කටයුතු ද මේ අතර සිදුවෙමින් පවතී. එසේම, ලෝකයේ සෑම කලාපයකින්ම, රටකින්ම පාහේ පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා මේ වන විටත් ක්‍රියාමාර්ග ගැනෙමින් ද පවතී. ශ්‍රී ලංකාවේ ද මේ වන විට මෙවැනි පොලිතීන්-ප්ලාස්ටික් අවම කිරීම, තනි භාවිත පොලිතීන්-ප්ලාස්ටික් භාවිතය උදාසීන කිරීම සහ දැනටමත් සිදුව ඇති පොලිතීන්-ප්ලාස්ටික් දූෂණයෙන් පරිසර පද්ධති යථාවත් කිරීම (Restoration) සහ බැහැර කරන පොලිතීන්-ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය මගින් ඒවා නැවත භාවිතය සඳහා ව්‍යාපෘති සහ වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැගෙමින් පවතී. ඉන් ප්‍රධාන වැඩසටහනක් ලෙස PLEASE වැඩසටහන එනම්, Plastic Free Rivers and Seas in South Asia වැඩසටහන හඳුන්වා දීමට හැකිය. ලෝක බැංකුව මගින් ලබාදෙන මුල්‍යාධාර මත පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, දකුණු ආසියාව තුළ එය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ මෙම වැඩසටහනේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ SACEPSouth Asia Cooperative Environment Programme නමැති සංවිධානය මගිනි. දකුණු ආසියානු කලාපයේ රටවල් අතර ගැටලු සාකච්ඡා කිරීම සහ සංස්කෘතික හා අනෙකුත් බැඳීම් ඇතිකරලීම සඳහා පිහිටුවා ඇති SAARC සංවිධානයටත් පෙර සිට කලාපයේ පාරිසරික ගැටලු පිළිබඳව කතා කිරීම සඳහා පිහිටුවා ගෙන ඇති SACEP සංවිධාන මගින් කාලානුරූපීයව කලාපයේ පොලිතීන්-ප්ලාස්ටික් ගැටලුව අවම කිරීම සඳහා මෙලෙස ව්‍යාපෘති ප්‍රදානය කර ඇත. එනම්, ශ්‍රී ලංකාව, මාලදිවයින, බංගලාදේශය, නේපාලය, භූතානය සහ පාකිස්තානය යන රටවල් 6 සඳහා මෙලෙස ව්‍යාපෘති ප්‍රදානය කර ඇත. ඒ එක රටකට මහ ව්‍යාපෘති දෙකක් සහ කුඩා ව්‍යාපෘති හතරක් ලබාදීම මගිනි. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව ද ප්‍රතිලාභී රටක් ලෙස පිළිගෙන වැඩසටහන් ක්‍රියාවට නංවමින් සිටින අතර පරිසර අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය අධීක්ෂණ කරනු ලබයි.
එවැනි එක මහා පරිමාණ වැඩසටහනක් වන Blue Cap නමැති වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ NRC-Negombo Recycle Club (මීගමුව ප්‍රතිචක්‍රීයකරණ සමාජය) මගිනි. ඔවුන් විසින් සිදුකරනු ලබන පොලිතීන්-ප්ලාස්ටික් වැඩසටහන විමසා බැලීම සඳහා ඉකුත්දා අපි එම සංවිධානයේ ව්‍යාපෘති බල ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වුණෙමු. “මීගමුව ප්‍රතිචක්‍රීයකරණ සමාජය – NRC” මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන භූමිකාව සිදුකරන අතර මෙම Blue Cap වැඩසටහන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සංවිධාන කිහිපයක් ඒ හා එක්ව කටයුතු කරයි. “ජනතාක්ෂන්” සංවිධානය මේ සඳහා දායකවන්නේ සමාජ සජීවීකරණ කටයුතු සඳහා වන අතර වැඩසටහනේදී එකතු කරනු ලබන PET බෝතල්, ප්ලාස්ටික් යනාදිය ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ (ඒ මගින් කෘත්‍රීම රෙදි විවීමේ කෙඳි නිෂ්පාදනය) කටයුතු සම්බන්ධ තාක්ෂණික දැනුමින් දායක වන්නේ ECO SPINDLES මගිනි. තවද, ලෝක බැංකුවට අමතරව එක්සත් ජාතීන්ගේ UNOPS වැනි සංවිධානද මේ සමස්ත වැඩසටහන සමග අත්වැල් බැඳ කටයුතු කරයි.

AIR නමැති එනම්, Avoid- Intercept-Redesign යන තෙවදෑරුම් සංකල්පය ඔස්සේ ක්‍රියාවට නැගෙන ශ්‍රී ලංකාවේ Blue Cap පොලිතීන්-ප්ලාස්ටික් පාලනය කිරීමේ වැඩසටහන 2024 වසරේ මාර්තු මසදී ආරම්භ කර ඇති අතර, වෙරළාශ්‍රිත පරිපාලන දිස්ත්‍රික්ක 15 ක සහ අභ්‍යන්තර පරිපාලන දිස්ත්‍රික්ක 2ක වශයෙන් දිස්ත්‍රික්ක 15 ක ක්‍රියාවට නැගේ. එනම්, අම්පාර දිස්ත්‍රික් බලප්‍රදේශය හැර කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය, යාපනය, මන්නාරම, පුත්තලම, ගම්පහ, අනුරාධපුර සහ රත්නපුර යි. මෙම දිස්ත්‍රික්ක 15 තෝරාගෙන Blue Cap වැඩසටහන මගින් පළමුව සිදුකර ඇත්තේ පොලිතීන්-ප්ලාස්ටික් නම් සුලභ, මිලෙන් අඩු මෙම සම්පත අවභාවිතය මගින් සිදුව ඇති ව්‍යසනය ජනයාට පෙන්වාදීම මගින් එම දූෂණ ඉදිරියට අවම කිරීම සහ දැනටමත් පරිසරයට ව්‍යසනයක්ව ඇති පොලිතීන්-ප්ලාස්ටික් පරිසරයෙන් නිසි බැහැර කිරීමක් කර ඒවා අදාළ අවසන් කටයුතු සඳහා යොමුකිරීමට කටයුතු කිරීමයි. අදාළ පාර්ශ්වකරුවන් මේ හා සම්බන්ධවන්නේ ඒ සඳහා ය. එබැවින් ධනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා Blue Cap වැඩසටහන කටයුතු කර ඇති අතර, මේ වන විට එනම්, 2025 ජුනි 5 මස වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය වන විට එහි ඉලක්ක සපුරා ඇති ආකාරය නිරීක්ෂණය අපගේ චාරිකාවේ අරමුණ විය. මෙම සංචාරයේදී දිස්ත්‍රික්ක කිහිපයක කටයුතු අප නිරීක්ෂණය කළ අතර ඒ අතරින් පොලිතීන්-ප්ලාස්ටික් පරිසරයෙන් නැවත එකතුකිරීම, අදාළ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය, තෝරා වර්ග කිරීම, ප්‍රතිචක්‍රීයකරණය සඳහා සූදානම් කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණයට යොමුකිරීම යනාදී පූර්ණ බැහැර කිරීමේ ක්‍රියාවලියක් නිරීක්ෂණය කරන ලද අතර, එහිදී ප්‍රජාව දක්වන උනන්දුව, දායකත්වය, ඔවුන් මෙම වැඩසටහන තම ආදායම් උත්පාදනයට යොදාගෙන ඇති ආකාරය, මේ මගින් ඔවුන් ලබන සමාජ-ආර්ථික-සංහිඳියා සහ පවුල් ඒකක ලෙස ලබන සොම්නසේ ප්‍රතිලාභ ගැනද අප අධ්‍යයනය කරන ලදී. කාන්තා සහ ළමා ප්‍රජාව වෙන් වෙන් වශයෙන් මෙහිදී ලබන සමාජ පිළිගැනීම ගැන ද ඉතා හොඳ චිත්‍රයක් රස විඳින්නට ද අපට හැකි විය. මේ සියල්ලම එක්තරා අන්දමකින් වැඩසටහන නගරයට – ගමට- ප්‍රජාවට- පවුල් ඒකකයට ගෙන යෑමේදී සිදුකරන ලද අප්‍රතිහත “සමාජ සජීවීකරණයේ” ප්‍රතිපලයක් ලෙස සාර්ථක වී ඇති බව පෙනේ. ඒ සඳහා මූලික කටයුතු සිදුකර ඇත්තේ “ජනතාක්ෂන්” ආයතනයේ (ක්ෂේත්‍ර) නිලධාරීන් ය.
“NRC” ආයතනයේ සහ මෙම Blue Cap වැඩසටහනේ ව්‍යාපෘති කළමනාකාර දමිත සමරකෝන් මහතාගෙන් කරුණු විමසූ කල ඔහු මෙම කටයුත්තේ ආරම්භ පිළිබඳව කීවේ මෙවන් කතාවකි.

“BLUECAP ව්‍යාපෘතියේ මූලික සංකල්පය නිර්මාණය කළේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ අන්තර්ජාතිකව ප්‍රසිද්ධ මනෝජ් උඩවත්ත මහතාත්, NRC ආයතනයේ ප්‍රධානි නිශාන්ත පෙරේරා මහතාත්, ජනතාක්ෂන් ආයතනයේ සසික කෝනාර මහතාත් මූලික වෙලා, අපි “NRC” ආයතනය ලෙස BLUECAP ව්‍යාපෘතිය නිර්මාණය කළේ AIR නමැති සංකල්පීය ක්‍රමවේදය මෙම වැඩසටහන තුළ ක්‍රියාත්මක කිරීමටයි. ඒ කියන්නේ avoid – ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා දැනුවත් කිරීම. Intercept – පරිසරයට එකතුවූ පොලිතින් ප්ලාස්ටික් විවිධ ක්‍රම මගින් එකතු කිරීම සහ Redesign – පරිසරයට හානිය අවම වන අයුරින් පොලිතින් සහ ප්ලාස්ටික් නැවත භාවිතයට ගත හැකි පරිදි සකස් කිරීම, යන අවශ්‍යතා තමයි අපි සිදු කළේ. දිස්ත්‍රික්ක 15 ම එහෙම අවසන් අධියරට සකස් කළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානවලට යැවීම අවසන් වශයෙන් සිදුකෙරුණා. නමුත් මේ වැඩසටහනේ අවසන් අධියර නම්, ව්‍යාපෘතිය මගින්ම ප්‍රතිචක්‍රීයකරණ කර්මාන්ත ශාලාවක් නිර්මාණය කිරීමයි. එය ලංකාවේ බිහිවන විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව වනු ඇත. සැබැවින්ම එම කටයුත්ත පවා දැන් අවසන් අධියරේ තියෙන්නේ. ඒ කියන්නේ එකතුකිරීමේ මධ්‍යස්ථාන 15 කින් පැමිණෙන පොලිතීන්-ප්ලාස්ටික් අවසානයේදී හොරණ-මිල්ලනියේ ඉදිවූ කර්මාන්තශාලාවට පැමිණෙනවා. එහිදී ලී කුඩු සමග මිශ්‍රකරන ප්ලාස්ටික්වලින් (WPC – wood plastic composite) තවත් කර්මාන්තයක් සඳහා ගත හැකි කල්පවතින ෂීට් හදනවා. ඒ තුළින් ලංකාවට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි වන අතර ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආනයනයට වැය වන වියදම ද අඩු කළ හැකි වනවා මේක තමයි අවසාන ඵලය මේ වැඩසටහනේ.” දමිත සමරකෝන් කියයි.
මෙම කටයුත්ත වසරකින් ජයගැනීම සඳහා NRC, “ජනතාක්ෂන්”, Eco SPINDLES සහ අනෙකුත් පාර්ශ්ව ආයතන සමග එකතුවත් කටයුතු රාශියක් සිදුකර ඇත. මේ ගෙවන්නේ එහි අවසාන කාල පරිච්ඡේදයයි. එම නිසාම අපට මෙම වැඩසටහන නිරීක්ෂණයට ලැබුණු අවස්ථාව තුළ, වැඩසටහනේ එක් එක් අංග පිළිබඳව විමසා බැලීමට ද හැකි විය. මෙහිදී අප දුටුවේ සම්පූර්ණ වැඩසටහන පරිපාලන දිස්ත්‍රික්ක 15 ක් තුළ පෙර දැක්වූ AIR නමැති ක්‍රියාකාරී රාමුව තුළට ගන්නට අපමණ ප්‍රජා දැනුවත් කිරීම් සිදුකර ඇති ආකාරයයි.

එම සමාජ සජීවීකරණය පිළිබඳව අදහස් දක්වන “ජනතාක්ෂන්” ආයතනයේ Gender Specialist තරංගා සචින්තනී කියන්නේ මෙවන් කතාවකි.
“මේ වැඩසටහන පොලිතීන්-ප්ලාස්ටික්’ පිටුදැකීම සඳහා සිදුකළත්, මේ තුළ යම් සමාජ-ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය වන නිසා ස්ත්‍රී-පුරුෂ සහ ළමා යන අංශවල දායකත්වය ගැන විශේෂයෙන් සලකා බැලීමක් සිදුකෙරෙනවා. ඒ අනුව විශේෂයෙන්ම කාන්තා නියෝජනයට වැදගත් තැනක් නිර්මාණය වන විදිහට තමයි වැඩසටහන සැලසුම් කර තිබෙන්නේ. අපි ප්‍රජාව කොටස් 4 ක් ලෙස දිස්ත්‍රික්ක 15 ම ප්‍රජාව දැනුවත් කිරීම් සිදුකළා. ඒ පාසල් දරුවන්, කාන්තාවන්, ධීවර සමිති සහ තරුණ ප්‍රජාව ලෙස. ප්ලාස්ටික්වලින් වන හානිය අවමකිරීම, වගකීමෙන් යුතුව බැහැරකිරීම යන කරුණු මුල්කරගෙන පාසල් දරුවන් සඳහා වැඩසටහන් 750 ක් සිදුකර, ළමුන් 65,000 ක් කාන්තා, ධීවර සහ තරුණ වැඩසටහන් 500 ක් මගින් පුද්ගලයින් 20,000 ක් සමගින් එකතුව ලෙස 85,000 ක් දෙනා අපි දැනුවත් කරලා තියනවා.

AIR ක්‍රියාන්විතයේ Intercept යටතේ පරිසරයට හානිදායක නොවන පරිදි නැවත භාවිතයට ගැනීම සඳහා ප්ලාස්ටික් වෙන්කර එකතු කිරීම සඳහා ගලා යන ජල මාර්ගවලට බාධක දමා ප්ලාස්ටික් එකතුකිරීම, දිස්ත්‍රික් 15 සඳහාම ප්ලාස්ටික් එකතු කරන ව්‍යවසායකයකු හඳුනාගෙන “අමුද්‍රව්‍ය ප්‍රතිසාදන මධ්‍යස්ථානය – Material Recycling Facility- MRF” බැගින් නිර්මාණය කිරීම සිදුකළා. විශේෂත්වය වන්නේ මෙම එකතුකිරීමේ මධ්‍යස්ථාන සඳහා සහ දැනුවත් කිරීමේ කටයුත්තේදී කාන්තා නියෝජනය සඳහා වැදගත් ඉඩක් නිර්මාණය කිරීමයි. එනම්, ව්‍යාපෘතිය තුළ 30% ක් කාන්තාවන්ගේ නියෝජනය විදිහට තමයි මූලික සැලසුම සකස් කර තිබෙන්නේ. ඒක තමයි මේ “ජෙන්ඩර්” එහෙමත් නැත්නම් ‘ස්ත්‍රී-පුරුෂ නියෝජනය’ කියන්නේ. සම්පූර්ණ ව්‍යාපෘතිය ගත්තත්, දිස්ත්‍රික්ක ලෙස ගත්තත් මේ 30 % ක කාන්තා නියෝජනය අපි ස්ථාපිත කළා. නිදසුනක් ලෙස ගත්තොත්, ඵඍත්- එකතු කරන මධ්‍යස්ථාන 15 න් 5 ක් තිබුණු ඒවා වැඩි දියුණු කළා. ඉතිරි අපි නිර්මාණය කළ 10 න් 5 ක් කාන්තා හිමිකමට දුන්නා. ප්ලාස්ටික් එකතු කර මධ්‍යස්ථානවලට ගෙනෙන්න ට්‍රේලරය සහිත විදුලි බයිසිකල් (e-bike) දෙක බැගින් දිස්ත්‍රික්ක 15 ට 30 ක් දුන්නා. එයින් සියයට 30 ක්, ඒ කියන්නේ 30 න් 10 ක් කාන්තාවන්ට තමයි දුන්නේ. ඒක තමයි කාන්තා නියෝජනය. මේ අතරත් දුප්පත්, ආබාධ සහිත, නිවසේ ගැටලු ඇති අයට ප්‍රමුඛතාව ලබාදුන්නා.” යැයි සචින්තනී පැවසුවා ය.
මෙම ප්ලාස්ටික් එකතුකිරීමේ මධ්‍යස්ථාන 15 න් 5 ක් මීට පෙර ප්ලාස්ටික් ඇසුරුම්කරණ ප්‍රකට පෞද්ගලික ආයතනයකින් ස්ථාපිත කර තිබී ඇත. නමුත් මෙම Blue Cap වැඩසටහනෙන් ඒවා නැවත බල ගන්වා ඇත. අනෙකුත් මධ්‍යස්ථාන අලුතින්ම තනා ඇත. සියල්ල උපකරණවලින් සවිබල ගන්වා, එක මධ්‍යස්ථානයකින් මසකට ටොන් 5 බැගින් ඉලක්ක ගතකර මේ වන විට තලා සැකසූ ප්ලාස්ටික් ටොන් 500 ක් වසරක් තුළ එකතු කර ඇත. ඒ අතර වැඩසටහන මගින් විටින් විට කරන ලද පිරිසිදු කිරීමේ ශ්‍රමදාන 220 ක් මගින් එකතු කරගන්නා ලද ටොන් 15 ක ප්ලාස්ටික් එකතුවක් ද ඇත. මේ අතරින් (PET) ප්ලාස්ටික් පෙර කී පාර්ශ්වකරුවකු වන ECO SPINDLES ඇතුළු ප්‍රතිචක්‍රීයකරණ සමාගම් වෙත භාර දෙනු ලබයි. එහෙත් ව්‍යාපෘතියේ නිමාව නම්, AIR ක්‍රියාන්විතයේ පරිදි අවසන් ඉලක්කය Redesign සඳහා ජාතික මට්ටමෙන් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමය. එනම්, මිලියන 250 ක වියදමෙන් ඉදිකිරීම් හොරණ-මිල්ලනියේ වැඩ නිමාවෙමින් පවතින මසකට ටොන් 400 ක ධාරිතාවකින් සමන්විත මෙම කර්මාන්තශාලාවේදී ප්ලාස්ටික් කුඩා කැබලි බවට පත්කර, ලී කුඩු සමග මිශ්‍ර කර ගෘහභාණ්ඩ සඳහා අමුද්‍රව්‍යයක් ලෙස විශේෂිත “බෝඩ්” සහ වෙනත් උපකරණ නිෂ්පාදනයක් සිදුකිරීම මෙම කර්මාන්තශාලාවේ කටයුත්තයි. දැනටමත් අදාළ යන්ත්‍රෝපකරණ මේ සඳහා ගෙනවිත් සවි කර ඇත. ආරම්භයේදී මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්වකාර “මීගමුව ප්‍රතිචක්‍රීයකරණ සමාජය-Negombo Recycling Club- NRC” මගින් මෙහි භාරකාරීත්වය දරනු ලබන අතර එය රටට පැමිණෙන නව ආරේ කර්මාන්තයක් බවට පත්වනු ඇත. එහි නිෂ්පාදන කටයුතු ජගත් පරිසර දිනය යෙදෙන මෙම ජුනි මස මැද භාගයේදී සිදුකරනු ඇත. එය රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලබන සුවිශේෂ ජයග්‍රහණයක් වනු ඇති අතර, ක්‍රියාවට නංවන ලද සමස්ත ජාතික වැඩසටහන පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය අවම කරන එහෙත් පොලිතීන්-ප්ලාස්ටික් සම්පතක් ලෙස නැවත භාවිතා කරන්නට ප්‍රායෝගික අත්දැකීම් එකතු කරන ඉතා ප්‍රායෝගික වැඩසටහනක් බව අපගේ නිගමනයයි.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප – Blue Cap