SLT සමූහය 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ පළමු කාර්තුවේදී රු. මිලියන 2,001 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 කට සාපේක්ෂව ඉහළ වර්ධනයකි. සමාගමේ මූල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවේ වර්ධනය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
SLT සමූහය 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් කාර්යසාධනයක් ප්‍රදර්ශනය කරමින් සිය ආදායම මිලියන 27,851 ක් දක්වා 3.4% කින් වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. ඵදඉසඑැක සමාගමේ ආදායම වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, SLT PLC හි ආදායම අදාළ කාලපරිච්ඡේදය තුළ ස්ථාවරව පැවතිණි.
සමූහයේ පිරිවැය ප්‍රශස්තකරණ වැඩසටහන් මගින් දිගින් දිගටම සාධනීය ප්‍රතිඵල ලැබුණු අතර, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙහෙයුම් පිරිවැය 2.9% කින් පහළ ගොස් රු. මිලියන 710 ක ඉතිරියක් වාර්තා විය. මේ ආකාරයට මෙහෙයුම් පිරිවැය පහළ යාම සහ ආදායම වර්ධනය වීම හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 13% කින් වර්ධනය වී රු. මිලියන 10,443 ක් ලෙස වාර්තා වී තිබේ.
සමාගම් මට්ටමින් ගත් විට SLT PLC හි ආදායම 0.7% ක නාමික වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 පළමු කාර්තුවට සාපේක්ෂව රු. මිලියන 117 කින් ඉහළ ගොස් ඇති අතර, ආයතනික සේවා, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා සහ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා යන අංශවල වර්ධනය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
සැලකිය යුතු මට්ටමින් තම මෙහෙයුම් පිරිවැය අවම කරගැනීමටද SLT PLC සමත් වී ඇති අතර, සමාගමේ පිරිවැය පෙර වසරට සාපේක්ෂව 5.2% කින් පහළ ගොස් රු. මිලියන 838 ක ඉතිරියක් වාර්තා වී තිබේ. 2024 මාර්තු සහ ජූලි යන මාසවලදී සිදු වූ විදුලි ගාස්තු අඩුකිරීම් හේතුවෙන් විදුලි පිරිවැය 38.3% කින් අඩු විය. රථවාහන කුලී පදනම මත ලබාගැනීමේ පිරිවැය සහ ඉන්ධන පිරිවැය 22.7% කින්ද, අලුත්වැඩියා සහ නඩත්තු පිරිවැය 12.5% කින්ද අඩු වී ඇත.