ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්ත හා ව්‍යාපාර අංශවල නියුක්තව සිටින්නන් විශාල පිරිසක් සහ මාධ්‍යවේදීන් අමතා පසුගිය මැයි මස 29 වන දින කොළඹදී කාගිල්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති රංජිත් පේජ් මහතා විසින් පැවැත්වූ දේශනය එවන් අවස්ථාවල කෙරෙන වෙනත් දේශන මෙන් ව්‍යාපාරික රාමුවකට කොටු වූවක් නොවීය. දේශප්‍රේමය හා ආත්ම පරිත්‍යාගය පිළිබඳ හැඟුම් මුසු කරමින් ග්‍රාමීය පුනර්ජීවනයක් උදෙසා වන නිර්භය ඉදිරි දැක්මක් ඉදිරිපත් කළ එම දේශනය රැස්ව සිටි සැමගේ හදවතටම කා වැදුණු ප්‍රබල දේශනයක් විය.
‘අපේ මාතෘ භූමියට සාමය උදාකිරීම උදෙසා සටන් පෙරමුණේ දිවි කුසුම පුද කළේ අපේ රටේ ගැමි තරුණයෝය. ඔවුහු මේ රටේ නිහඬ විරුවෝ වෙති’ පේජ් මහතාගේ මුවින් එවැන්නක් කියැවේයි ඒ සභාව අපේක්ෂා නොකළ බව ඒ මොහොතේ එයට සභාවෙන් ලැබුණු ප්‍රතිචාරවලින් පැහැදිලි විය. ‘විශිෂ්ටතම ව්‍යාපාරික ආමන්ත්‍රණය’ උදෙසා සම්මානයක් පිරිනමනු ලබන්නේ නම් එය නිසැකවම රංජිත් පේජ් මහතාට හිමිවිය යුතු බව දේශනය අවසානයේ බොහෝ දෙනාගේ අදහස විය.
පේජ් මහතා සිය දේශනය ආරම්භ කළේ කාගිල්ස් සමාගමේ වසර 181ක අතීත උරුමය ගැන සිහිපත් කරමිනි. ආරම්භයේදී ඉතා කුඩා ව්‍යාපාරයක් වූ කාගිල්ස් අද වන විට 500කට වැඩි ශාඛා ජාලයක් හිමි ශ්‍රී ලංකාවේ දැවැන්තම සුපිරි අලෙවිසල් ජාලයක් බවට පත්ව ඇත. එහෙත් ඔහු තම දේශනයේදී වැඩි අවධානය යොමු කළේ කාගිල්ස් සමාගමේ සන්ධිස්ථානයන්ට වඩා දේශයේ සන්ධිස්ථානයක් වූ යුද්ධය නිමා වූ 2009 වසර පිළිබඳවය.
ශ්‍රී ලංකාව පුරා ගැමි ප්‍රදේශවල තරුණයන් හමුදා සෙබළුන් සහ පොලිස් නිලධාරීන් වශයෙන් සිදුකළ ඒ ආත්ම පරිත්‍යාගය තමන් තුළ ඉමහත් කම්පනයක් ඇති කළ බව පේජ් මහතා ප්‍රකාශ කරන විට ඒ කම්පනය ඔහුගේ ස්වරය තුළද ගැබ්ව තිබීම විශේෂයක් වූවේය. ‘මම මගේ ජීවිතය පූජා කළේ නෑ. එය කළ නොහැකි වූ නිසා මේ තරුණයන්ගේ පවුල්, ගම්බිම් සහ ජනතාව වෙනුවෙන් හෝ මට කළ හැකි මෙහෙවර ඇතිදැයි මා මගෙන්ම ප්‍රශ්න කළා’.
‘මගේ උත්තරය 2010 දී ආරම්භ කළ කොත්මලේ කිරි සමාගම. කොත්මලේ කිරි සමාගම ආරම්භ කළේ ලාභයට එහා ගිය පරමාර්ථ එක්ක. අපේ පරමාර්ථය වුණේ නැවුම් කිරි සහ කිරි නිෂ්පාදන වෙනුවෙන් ස්ථිරසාර වෙළෙඳපොළක් නිර්මාණය කිරීමෙන් ගම ආර්ථිකව සවිබලගැන්වීමයි’.
‘ගමට අද මුදල් ගලා යන්නේ ප්‍රධාන වශයෙන් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හරහා. මේ තත්වය වෙනස් කළ යුතුයි’.
‘කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලා, නැවුම් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ සාධාරණ මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම හරහා ගොවියන්ට ඉහළ ආදායමක් ලබාදෙන අතර ම පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට නැවුම් කිරි හා කිරි නිෂ්පාදන මිලට ගැනීමේ අවස්ථාව උදාකිරීමට කාගිල්ස් සමාගම ක්‍රියාත්මක වුණා’. ඔහුගේ දැක්ම පූර්ණ වශයෙන් ප්‍රායෝගිකය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එක් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව දිනකට කිරි මිලි ලීටර් 200ක් බවය. එහෙත් ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් තවමත් මන්දපෝෂණයෙන් පෙළෙති. මෙහිදී සීනි දිය කළ වතුරෙන් කුසගිනි නිවාගන්නා දරුවෙකු පිළිබඳ වූ ශෝකජනක පුවතද පේජ් මහතා සභාවේ අවධානයට ලක් කළේය. ‘කොත්මලේ කිරි සමාගමේ අරමුණ වන්නේ මේ පෝෂණ පරතරය පියවීමයි’. ජාතික සෞභාග්‍යය ග්‍රාමීය ආර්ථික පුනරුදයක් මත රඳා පවත්නා බව මෙහිදී පේජ් මහතා අවධාරණය කළේය.
‘යුද්ධය ජයග්‍රහණයෙන් නිමා කළේ අපේ ගම්වල තරුණයෝ. අද ඒ ගම්මානවල තරුණයන් විදේශයන්හි රැකියා කරමින් අපේ ආර්ථිකය ශක්තිමත් කරනවා. ඒත් අපේ වගකීමක් තියෙනවා මේ තරුණයන් අපේ රට තුළම රඳවාගෙන රට තුළම ඔවුන්ට අවස්ථාවන් සපයා දීමට. කාගිල්ස් සමාගමට අද මේ තත්වයට එන්න අවස්ථාව ලබාදුන්නෙ මේ රට. ඒ නිසා මේ තරුණයන්ටත් රට තුළම අවස්ථාවන් සලසාදීම අපට මග හැරිය නොහැකි යුතුකමක්, වගකීමක්’ ඔහු එහිදී පළකළ මෙවන් අදහස්වලට සභාවෙන් ලැබුණු ප්‍රතිචාර ඉතා උණුසුම් හා සංවේදී විය.
කාගිල්ස් සමාගම වර්ෂ 2044 වන විට වසර දෙසීයක් සම්පූර්ණ කරයි. ‘ඒ වන විට ශ්‍රී ලංකාව සිටිය යුත්තේ කොතැනකද?’ කොත්මලේ කිරි සමාගමේ ව්‍යාප්තිය හා වර්ධනය කිරි ආනයනය පහත හෙළීමට, අපේ විදේශ විනිමය රැකදීමට සහ අනාගත පරම්පරාවට පෝෂණය ලබාදීමට ඉවහල් වනු ඇත. එය වර්ෂ 2044 දී අපේ රට සිටිය යුතු ස්ථානයට රැගෙන යාමට දායක වනු ඇත.
කාගිල්ස් සමාගමේ තරුණ කළමනාකාරිත්ව කණ්ඩායමක් කොත්මලේ කිරි පෙරට ගෙනයාමේ අභියෝගයට උරදී සිටිති. කිරි නිෂ්පාදනය වේගයෙන් ඉහළ නැංවීම, දැරිය හැකි මිලකට කිරි නිපැයුම් ලබාදීම සහ ඒකපුද්ගල කිරි පරිභෝජන ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ මෙහෙවර තමන් වෙත පැවරී ඇති බව ඔවුහු දැන සිටිති. පේජ් මහතා ඒ බව ප්‍රකාශ කළේ අභිමානයෙනි.
පේජ් මහතා සිය දේශනය අවසන් කරත්ම ශාලාව පුරා නැගුණු උණුසුම් අත්පොළසන් නාදයකින් ඒ දේශනයට සභාවේ කෘතඥතාව පළ විය. සැබෑ ව්‍යාපාර නායකත්වය යනු දේශයට මෙහෙවර කිරීමයි. කළගුණ යනු කුමක්දැයි හඳුනන හෙයින්ද ක්‍රමෝපායික දූරදර්ශීභාවයෙන් යුතු හෙයින්ද ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවනයක් උදෙසා අධිෂ්ඨානයෙන් කැපවී සිටින හෙයින්ද සුපිරි අලෙවිසල් මත පමණක් නොව තමන් විසින් ඔසවා තබනු ලබන ජනජීවිත මතද කාගිල්ස් උරුමය පදනම් වනු ඇත.
මේ දේශනයට සවන්දී සිටි අයෙකු දේශනය අවසානයේ පැවසූ කතාවකින් මේ සටහන සමාප්ත කිරීම සුදුසුය. ‘ඒක දේශනයක් නොවේ, රට වෙනුවෙන් නිර්භීතව නැගී සිටීම උදෙසා කරන ලද ආයාචනයක්, ආරාධනයක්’.
ඡායාරූපය සුජාතා ජයරත්න