ගෙවී ගිය 2024 ඇතුළත දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘හෝම් ලෑන්ඩ්ස්’ ශ්‍රී ලංකා ක්‍රිකට් ත්‍යාග ප්‍රධානෝත්සවය මෙම ජුනි මස 09 වැනිදා රාත්‍රියේදී කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ අංක එකේ සහ වඩාත්ම විශ්වාසදායක දේපළ වෙළෙඳාම් සැපයුම්කරුවකු වන ‘හෝම් ලෑන්ඩ්’ සමාගම් සමූහය මෙම උත්කර්ෂවත් ත්‍යාග ප්‍රධානෝත්සවයේ අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරනු ඇත.
“මෙම වසරේ පැවැත්වෙන සම්මාන ප්‍රධානෝත්සවයේ නිල අනුග්‍රාහකයා ලෙසින් හෝම් ලෑන්ඩ්ස් සමාගම් සමූහය අපි සාදරයෙන් පිළිගනු ලබනවා. ඔවුන්ගේ මෙම දායකත්වය අපේ මේ සුවිශේෂී ත්‍යාග ප්‍රදානෝත්සවය ශක්තිමත් කරනවා විතරක් නොවෙයි, ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය සැමරීමට සහ ආගත පරම්පරාව දිරිමත් කිරීමටද දායකත්වයක් දක්වනවා“ යැයි මේ පිළිබඳව ඊයේ (05 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රදාන ලේකම් බන්දුල දිසානායක මහතා සඳහන් කර සිටියේය.
ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් ඉදිරිපත්ව සිටින හෝම් ලෑන්ඩ්ස් සමාගම් සමූහය සැබැවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වන අතර එය ඔස්ටේ්‍රලියාවේ මෙන්ම ඩුබායි ස්ථාපිත ශාඛාවන් සමඟින් ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටියි. හෝම් ලෑන්ඩ්ස් සමූහය විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය මත ගොඩනැඟී තිබෙන අතර, දේශීය මෙන්ම විදේශීයව ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩා හොඳ හෙට දවසක් හැඩගැස්වීම වෙනුවෙන් කැපවුණු ආයතකයක් වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ මෙම හවුල්කාරීත්වය සමඟ හෝම් ලෑන්ඩ්ස් සමාගම් සමූහයේ සභාපති නලීන් හේරත් මහතා සඳහන් කර සිටියේ, “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් කටයුතු කිරීමට ලැබීම රටේ සියලුම ක්‍රීඩා සඳහා සහාය වීමට අප ආයතනය කැපවීම පෙන්නුම් කරනවා. ක්‍රීඩාව ජාතීන් එකතු කරවන්නක්. ක්‍රීඩාව සමාජයන් ඒකාබද්ධ කිරීමට, ජාතික ආභිමානය වර්ධනය කිරීමට සහ තරුණ පරපුර ශක්තිමත් කිරීමට ඇති විශේෂ බලයකින් යුක්තය. ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ විශේෂ ස්ථානයක් ගත් ක්‍රිකට් ක්‍රීඩාව, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේදී නිරන්තරයෙන්ම ඉහළ කාර්ය භාරයක් ඉටු කරන්නක්. ජාත්‍යන්තර සන්නිවේදනයක් සහිත, ශ්‍රී ලාංකීය ව්‍යාපාරයක් ලෙස, මෙයට දායක වීමටත්, විශිෂ්ටත්වය, නොපසුබට උත්සාහය සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයේ වටිනාකම ප්‍රවර්ධනය කිරීමට ලැබීම අපට ගෞරවයක් ලෙසින් සලකනවා“ යනුවෙනි.
බහුතරයක් දෙනා දැඩි අපේක්ෂා කරනු ලබන ‘හෝම් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය 2024’ හි ද ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තෙඅංශයෙන්ම වසරේ නැගී එන පිතිකරුවා, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන පිරිනැමෙනු ඇත.
ඊට අමතරව වඩාත්ම ආකර්ෂණීය සම්මාන ද්විත්යක් වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මානද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රමුඛතම සම්මානයන් අතරට ඇතුළත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියන් වන පළමු පෙළ තරගාවලිය, කාන්තා ක්‍රිකට් තරගාවලිය, ප්‍රධානතම ක්‍රීඩා සමාජ තුන්දින තරගාවලිය, ප්‍රධානතම ක්‍රීඩා සමාජ එක්දින තරගාවලිය, ප්‍රධානතම ක්‍රීඩා සමාජ විස්සයි-20 තරගාවලිය, මෙන්ම ප්‍රධානතම කාන්තා ක්‍රීඩා සමාජ එක්දින තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීමට ලක් කෙරෙනු ඇත.
මෙම සෑම තරගාවලියකම දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා යන කේවල සම්මානවලට අමතරව එම තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනාගත් කණ්ඩායම් වෙතද සම්මාන පිරිනැමෙනු ඇත.
මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් දායකත්වය දැක්වූ පුද්ගලයන්ට ද දිවියට එක් වරක් පිදෙන සම්මානයක්ද මෙවර සම්මාන ප්‍රදානෝත්සවයට ඇතුළත්ව තිබේ.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක මෙන්ම කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සහභාගිව සිටියහ.