වැව හදලා අවුරුදු 75කට කිට්ටුයි අද වෙනතුරු ප්‍රතිසංස්කරණයක් නැහැ වැව විෂබීජ ආකරයක් වෙලා – බිංගලයාය සිරි සුදර්ශනාරාමාධිපති ගෝණගල සිරි සුජාත හිමි
මසකට වරක් ජලය පරීක්ෂා කරනවා: අපිරිසිදුයි කිව්වට සාක්ෂි නෑ – ජලාශය භාර ඉංජිනේරු
අපේ මුතුන් මිත්තන් වැව් නිර්මාණය කිරීම පිළිබඳව වාරි සංස්කෘතියක් අපිට ඇත. වාපි සංස්කෘතියේ මූලධර්මය නම් සොබාව ධර්මය විකෘති නොකරමින් එම සම්පත්වලින් උපරිම ඵල නෙලා ගැනීමේදී අනාගතයේ දී ආර්ථික ප්‍රවර්ධන අවස්ථාව වෙනුවෙන් එය මහඟු රැකුලක්ය. එහෙත් මේ වන විට අපේ උරුම වැව් රැසක් මිනිසා විසින්ම විනාශයට පත් කරමින් ඇත.
එවන් ඉපැරණි වාරි ජලාශයක් ලෙස සබරගමුවේ පළමුව ඉදි කරන ලද විශාල ජලාශයක් ලෙස ඇඹිලිපිටියේ පිහිටි චන්ද්‍රිකාවැව ජලාශය නම් කළ හැක. 1957-10-07 වන දින මෙම ජලාශය ඉදි කොට ඇත. අක්කර 900 ක් පමණ වූ වපසරියක් තුළ අක්කර අඩි 15,000 ක් පමණ ජල ධාරිතාවක් රඳවා ගත හැකිය. යාය 08 සිට 18 දක්වා ඇළ මාර්ග 02 කින් ජලය සපයන අතර ගොවි බිම් අක්කර 30,000කට පමණ ජලය සපයනු ලබයි. මෙමගින් ගොවි පවුල් 30000කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය වේ. මේ වන විට ඉහත ජලාශයට නන් දෙසින් එන අපද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් ජලාශය විෂ බීජ තටාකයක් බවට පත්ව ඇතැයි ගොවි සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති. මේ ඒ පිළිබඳව අදහස් දක්වන වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පියසේන ඒකනායක මහතා,
වැව් රක්ෂිතය වටේටම අනවසර පදිංචිකරුවන්, අනවසර ගවගාල්, ඒ වගේම නගරයේ සතිපොළ ආර්ථික මධ්‍යස්ථාන, නව නගරයේ මුළු කාණු පද්ධතියම වැවට හරවලා. වැව ආශ්‍රිත හෝටල්වල අපද්‍රව්‍යයන්, ඒ වගේම ප්‍රාදේශීය සභා කසළ කන්ද, කඩදාසි කම්හල් භූමියේ ගොඩ ගහලා. ඒක තියෙන්නෙ වැව ඉස්මත්තෙ. වැසි කලට මේවා සියල්ල සෝදාගෙන විත් වැවට තමයි වැටෙන්නේ. රක්ෂිතයේ ගොවිතැන් කරනවා. හතර වටේම සියලු අපද්‍රව්‍ය ගලා විත් වැවට වැටෙනවා. පවුල් 7500ක් පමණ බීමට ජලය සපයන ජල ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වන විට අඩි 15 ක් පමණ ජලාශයේ රොන්මඩ පිරිලා වැව හැදුවට පස්සේත් අද වන තුරු ප්‍රතිසංස්කරණයක් හෑරීමක් කරලා නැහැ. ජල ධාරිතාවත් අඩු වෙලා. මේවා සැලකිල්ලකට ගෙන වැව් රක්ෂිතය තහනම් කලාපයක් කරල සංවර්ධනය කරලා බෝට්ටු සේවාවක් දාන්න පුළුවන්නේ. මේ ඇඹිලිපිටිය සංවර්ධන සංචාරක කලාපයක්. උඩවලවට එන සංචාරකයින් ගෙන්වාගන්නත් පුළුවන්. අපට ආර්ථිකයත් ලැබෙනවා. මේවා සැලකිල්ලට ගෙන වැව හාරලා රොන් මඩ ඉවත් කරලා නව සංවර්ධනයකට භාජනය කළ යුතු යැයි අපි හැමදාම කියනවා අදටත් පලක් වෙලා නැහැ.
බිංගලයාය සිරි සුදර්ශනාරාමාධිපති ගෝණගල සිරි සුජාත හිමියෝ, චන්ද්‍රිකා ජලාශය කියන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජල අවශ්‍යතාව සපයන වැවක්. මේ වැව මේ වන විට රෝගී වෙලා. වැව අවට ඇති අනවසර පදිංචි අය ආපනශාලා ගවගාල් මේවායින් බැහැර කරන අපද්‍රව්‍ය චන්ද්‍රිකා වැවට. එපමණක් නොවෙයි වැවට ඉහළින් කම්හල් භූමියේ තමයි ප්‍රාදේශීය සභා කසළ ගෙනැවිත් ගොඩගහන්නේ. බලු බළල් මළකුණු සතිපොළ අපද්‍රව්‍ය පරිසරයම දුගඳ හමනවා. වැසි කාලයට මේවා සෝදාගෙන චන්ද්‍රිකා වැව ජලාශයට වැටෙනවා. අපි බොන්නේ, නාන්නෙ මේ වතුර. ජලය පරිහරණය කරන ජනතාවට ලැබෙන්නෙ ජලය වෙනුවට විෂබීජ. අවුරුදු 75කට කිට්ටුයි වැව හදල අද වෙනතුරුත් ප්‍රතිසංස්කරණයක් නැහැ. මේ ප්‍රශ්න ගැන විශේෂ අවධනය යොමු කරලා බලධාරීන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය රැකගන්න වැඩපිළිවෙළක් කළ යුතුම වෙනවා.
වාරි ජලාශ භාර ඉංජිනේරු ආර්. පී. එම්. පී. එස්. බණ්ඩාර මහතා, චන්ද්‍රිකා වැව ජලාශ රක්ෂිතය තුළ අනවසර පදිංචි පවුල් 500 කට අධික පිරිසක් ඉන්නවා. මේ අය 60-80 දශකවල ඉඳලා පදිංචි අය. මේ අය ඉවත් කරන්න පසුගිය කාලයේ මහවැලිය කටයුතු කළා. ඒක කුමන හෝ හේතුවක් නිසා අඩපණ වෙලා. මහවැලියට අයත් උඩවලව හා චන්ද්‍රිකා යන ජලාශවල මාසයකට වරක් අපි ජල සාම්පල ගෙන රසායනාගාර තුළ පරීක්ෂා කරනවා. හැබැයි මේ වන තුරුත් ජලය අහිතකර තත්ත්වයට පත්ව ඇති බවක් වාර්තා වන්නේ නැහැ. ජනතාව කිව්වට ජලය අපිරිසිදුයි කියල අපට ඒක තහවුරු කරගන්න සාක්ෂි නැහැ.
ඇඹිලිපිටිය – සේන වී. ගමගේ