කුකුල් අසූචි සහිත කැඩුණු බිත්තර ගම්පොළ නගරයට බෙදාහරිමින් පණුවන් සහිත නරක්වූ බිත්තරවලින් තම හෝටලයේ රයිස්, කොත්තු හා බිත්තර රොටී ඇතුළු ආහාර සැකසූ ව්‍යාපාරිකයකුහට ගම්පොළ මහෙස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් රුපියල් 53000ක දඩයක් නියම කර එම හෝටලයට මුද්‍රා තැබීමට නියම කළාය.
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ පවත්වාගෙන ගිය හෝටලයකට මෙසේ මුද්‍රා තැබූ අතර එහි හිමිකරුට මෙසේ දඩ නියම විය.

ලැබුණු මහජන පැමිණිලි මත ගඟ ඉහළ කෝරළයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම හෝටලය පරීක්ෂා කිරීමේදී එහි තිබී කුකුල් අසූචි හා කුකුල් පිහාටු සහිත පණුවන් ගැසූ කැඩුණු බිත්තර 780ක් සොයාගෙන තිබුණි.
ගම්පොළ ප්‍රධාන කුකුල් ගොවිපොළකින් ඉතා අඩු මිලට එහි ඇති පලුදු වී ඇති බිත්තර මිලදී ගන්නා මෙම ව්‍යාපාරිකයා එම බිත්තර ගම්පොළ නගරයේ අවට බොහෝ හෝටල් හා රෙස්ටුරන්ට් වෙත ඒවා බෙදාහරින බවට මහජන පැමිණිලි ලැබී තිබී ඇත. මෙම හෝටලයට ඊයේ (28 දා) සිට මුද්‍රා තැබීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණයට ලක් විය යුතු බවද සඳහන් කළාය.
ගඟ ඉහළ කෝරළයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. ආර්. පී. වික්‍රමසිංහ, ප්‍රදීප් නවරත්න යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබුණි.
ගම්පොළ – සුරංග දිල්හාන්