ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සමග පවත්වන සබඳතා නතර කිරීම සඳහා වන නීතියකට ඉරාන ජනාධිපති මසවුඩ් පෙසෙෂ්කියාන් විසින් සිය අනුමැතිය ලබාදී තිබේ. මෙම පියවර හේතුවෙන් ඉරානය හානියට පත්වූ සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ නැවත ඇරඹීමට උත්සාහ දරන්නේ ද යන්න අපහැදිලි බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරාන ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සමග ඉරානය පවත්වන සබඳතා නැවැත්වීමේ නීතියට සිය අනුමැතිය ලබාදීමට සතියකට පෙර ඉකුත් සතියේ බදාදා ඉරාන පාර්ලිමේන්තුව විසින් එම නීතිය සම්මත කරගෙන තිබිණි. ඉරාන ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති නීතිය හරහා ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානයට, උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට හා විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනය සමග සබඳතා නැවැත්වීමේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර තිබේ. ඉරානය විසින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සමග සබඳකම් නැවැත්වීමට තීරණය කර ඇත්තේ එම ආයතනය ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරයන් සඳහා සහය දුන් බවට චෝදනා කරමිනි. කෙසේ වුවද පරමාණුක බලශක්ති ආයතනය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.