දකුණුදිග ජපානයේ දුරස්ථ හා ජනාකීර්ණ නොවන දූපත් සමූහයක ඉකුත් සති දෙකක් තුළ හටගෙන ඇති භූමිකම්පා 900කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් එම දූපත් දැඩි සෙලවීමකට ලක්ව ඇත. මේ හේතුවෙන් ඒවායේ නිවැසියන්ට නිදිවර්ජිතව හා කනස්සල්ලෙන් කාලය ගත කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූමිකම්පා දාමය නිසා මෙම දිනවල තමන් නිදාගැනීමට ද බියවන බව දූපත් වාසීන් විදෙස් මාධ්‍යයට පවසා තිබේ.
භූමිකම්පා 900කට අධික සංඛ්‍යාවක් හටගෙන ඇති ජපානයට අයත් ‘ටොකාරා’ දූපත් අවට මුහුදු කලාපයේ භූ කම්පන ක්‍රියාකාරිත්වය ඉකුත් ජුනි 21 සිට දැඩි ලෙස සක්‍රීයව පවතින බව වාර්තා වී ඇත. පෙරේදා ද (02) එම කලාපයේ රිච්ටර් මාපකයේ 5.5ක් වශයෙන් සටහන් වූ භූමිකම්පාවක් හටගෙන තිබේ. එම භූමිකම්පාව හේතුවෙන් දූපත්වල ගොඩනැඟිලිවලට හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් සිදුව නොමැති නමුත් අවශ්‍ය වුවහොත් නිවෙස්වලින් ඉවත් වීමට සූදානමින් සිටින ලෙස බලධාරීන් විසින් එම දූපත්වල ජනතාවට දැනුම් දී තිබේ. ටොකාරා දූපත් සමූහයට අයත් දූපත් 12 න් 7ක ජීවත් වන්නේ 700ක පමණ ජනගහනයකි. එම බොහෝ දූපත් සතුව රෝහල් නොමැති බව ද වාර්තා වී තිබේ. එම දූපත්වල අගනුවර වන ‘කගොෂිමා’ නගරයේ සිට ළඟම දූපත වෙත බෝට්ටුවකින් ළඟා වීමට පැය හයක් පමණ ගතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒමන්ති මාරඹේ