1809 මාර්තු 13 වැනිදා පෑලියගොඩට නුදුරු වනවාසලදී උපන් ගොන්ගාලේගොඩ බණ්ඩා පෑලියගොඩ ඩේවිඩ්, දොන් පුල්ලේවෙදරාළ, කපුරබස්ති බණ්ඩලාගේ ඩේවිඩ් යනාදී නම්වලින් ද හැඳින්විණි. ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් කිරීම නිසා ඔවුනගේ හතුරකු බවට පත්වූ හෙතෙම අල්ලා ගැනීමට ඉංග්‍රීසීහු දැඩි උත්සාහයක් ගත්හ. ඉංග්‍රීසි ජාතිකයෝ සිංහලයන් ලෙස ඇන්දවූ සෙබළුන් ද යොදවා කළ උපක්‍රමයකින් ඔහු ඉංග්‍රීසීන්ට කොටුවිය. ඉංග්‍රීසි යුද්ධාධිකරණයට ඉදිරිපත් කළ ඔහු කළ පාපොච්චාරණයකින් පැනවුණ මරණ දඬුවම ලිහිල් කෙරිණි.
කස පහරවල් සියයක් හා මලක්කාවට පිටුවහල් කිරීමට ද පියවර ගත්තේය. 1849 දෙසැම්බර් 1 වෙනිදා මේ විරුවා ඇස් පියා ගත්තේය.
එදින රාත්‍රිය මාතලේට අපල බව හුන්නස්කන්දේ ආරච්චිගෙන් කැප්ටන් ෆෙන්ඩර්සන්ට දැන ගන්නට ලැබිණි. සිංහලේ හමුදාව විසින් මාතලේ ඉලක්ක කොට පහර දීමක් ආරම්භ කළොත් ඉංග්‍රිසීන් රැකවරණ සොයා යා යුතු බව කැප්ටන් ලිලී ගත් තීරණය අනුව මාතලේ රැකීමේ කාර්ය පැවරීම කැප්ටන් වොට්සන් විසින් සිදු කරනු ලැබීය.
කැප්ටන් හැංගෙයි
කැප්ටන් හෙන්ඩර්සන්ට සිංහලේ පෙරමුණ පිළිබඳ තොරතුරු සපයන ලද්දේ වෙහෙර ගෙදර ලොකු බංඩා රත්කොහු ගෙදර රත්වැල්ලේ, උකුවැල්ලේ මුහන්දිරම් සහ පිටිගල විදානේත් විසිනි. පිටිගල විදානේ එදා සවස තමාගේ කෑම බීම සපයාදීමේ කටයුතුවල ද යෙදී සිටි බැව් කැප්ටන් හෙන්ඩර්සන් කියයි. සිංහලේ පෙරමුණේ සංවිධානයන් ගැන ඇසූ කැප්ටන් හෙන්ඩර්සන් එදා රාත්‍රී ආපසු මාතලේට ඒමේ අදහස අත්හැරියේය. මාතලේ නගරයේ සිදුවන සියල්ලක්ම පෙනෙන අන්දමේ කඳුගැටයක් මත පිහිටි හුන්නස්කන්දේ ආරච්චිගේ නිවසේ එදා රාත්‍රිය නතරවීමට අදහස් කළ කැප්ටන් හෙන්ඩර්සන් සිය ඔත්තුකාරයිනුත් සමගම ආරච්චිගේ ගෙට වැදී දොරගුලු ලාගත්තේය. එදා රාත්‍රියේ කැප්ටන් හෙන්ඩර්සන්ට බත් සහ මස් පිළියෙළ කරන ලද්දේ හුන්නස්කන්දේ ආරච්චි විසිනි.
ආරච්චිගෙන් ලැබුණු පැදුරු එලාගෙන ඒවායේ නිදාගත් කැප්ටන් හෙන්ඩර්සන් සහ ඔත්තුකාරයන් හතර දෙනාත් එදා රාත්‍රිය මුළුල්ලේම ගෙයින් පිටතට නොවී, ගේ තුළම රැඳී සිටියහ. රාත්‍රිය මුළුල්ලේම අලුවිහාරේ දෙසින් වෙඩි හඬ ඇසෙන්නට විය. පසුවදා උදේ ආරච්චිගේ ගෙදරින් පිටත් වූ අය හුන්නස් කඳු බෑවුමේ පිහිටි සමාදාන විනිශ්චයකාර මහතාගේ බංගලාවට පැමිණියහ. එදා රාත්‍රිය එළිවන තුරුම නිදි වරා සිටි සමාදාන විනිශ්චයකාර වෝරිංග්ස් මහතා එවේලේ ගෙයි දොරකඩට පැමිණියේය. දොරකඩ අශ්වයකු නවත්වා සිටිනු දුටු කැප්ටන් හෙන්ඩර්සන් ඒ කුමක් සඳහා දැයි වෝරිංග්ස් මහතාගෙන් ප්‍රශ්න කෙළේය. අවශ්‍ය වුවොත් ඉංග්‍රීසි කඳවුර තෙක් යන ගමන සඳහා එසේ අශ්වයෙකු සූදානම් කරගෙන මුළු රාත්‍රි නිදි වර්ජිතව ගත කළ අන්දම වෝරිංග්ස් මහතා විස්තර කරන්නට වූයේය.

කැප්ටන් හෙන්ඩර්සන් සතුව පැවති දුල්බෑවේ වත්තට කෙසේ හෝ යා යුතු යැයි මෙහිදී තීරණය කරගත් පිරිස එවේලේම එහි ගියහ. දුල්බෑවේ කෝපි වත්ත පිහිටියේ මාතලේ සිට සැතපුම් 6ක් ඈතිනි. දුල්බෑවේ ගම්මානය පුරාම එදා රාත්‍රි වෙඩි හඬ ඇසුනත් කෝපි වත්තට කිසිම හානියක් සිදුනොවී තිබුණි. එහි පිහිටි දුල්බෑවේ වලව්වේදී කැප්ටන් හෙන්ඩර්සන් සිය දහවල් ආහාරය ගත්තේය.
මාතලෙන් පණිවුඩ
පසුදා උදේ පණිවුඩකරුවෙක් කැප්ටන් හෙන්ඩර්සන්ට මාතලේ ඉංග්‍රීසි හමුදාවෙන් පණිවුඩයක් ගෙන ආවේය. අලුත් සේනාංක දෙකක්ම මාතලේට පැමිණි බවත්, කැරලි නායකයන් සියලු දෙනාම අල්ලා ගැනීමේ කටයුතු ආරම්භ කළයුතු බවත් එම පණිවුඩයේ සඳහන් විය. කැප්ටන් හෙන්ඩර්සන් මාතලේට පැමිණෙන විට මාතලේ ඉංග්‍රීසි හමුදාව සෑහෙන තරම් ප්‍රමාණයකින් ශක්තිමත් ව තිබිණි.
ඉංග්‍රීසීන් වෙත පැමිණි පෝරුවැල්ලේ වෑබද්දේ ලේකම් සිංහලේ පෙරමුණ පිළිබඳ සියලු විස්තර ඉංග්‍රීසීන්ට හෙළි කළේය.
1848 ජූලි මස 30 වැනිදාට යෙදුණු සුබ හෝරාව තුළ ගොන්ගාලේගොඩ බණ්ඩා දඹුල්ලේ ලෙන් විහාරය ඉදිරිපිට විහාර මලුවේදී රාජාභිෂේක ලැබූ බවත්, ඔහුගේ ඥාති සොහොයුරෙකු වූ හඟුරන්කෙත ඩිංගිරාල නොහොත් වීදියේ බණ්ඩා දුම්බර හාරිස්පත්තුවේ ඈපාණන් ලෙස රජු ලෙස දිවුරුම්දී යුව රජ තනතුරු භාරගත් බවත් ඉංග්‍රීසීන්ට කියා සිටියේය. මේ රාජාභිෂේකයේ සිටි සිංහලේ සේනාව මෙහෙයවීමේ කාර්ය භාරව සිටි අයකු සිංහලේ මහ ඇමැති තනතුරු ලැබූ අතර තවත් දෙදෙනකු සේනාධිනායක තනතුරු දෙකකින් සම්මාන ලැබූ බවත් අනාවරණය විය.

රාජාභිෂේක මංගල්‍යය සඳහා දඹුල්ලේ ලෙන් විහාර මළුවට රැස්වූ පිරිස පන්දහසකැයි ද වෑබද්දේ ලේකම් කියා සිටියේය. ඔහුගේ විස්තරය අනුව ජූලි මස 30 වැනිදා උදෑසන දඹුල්ලේ ලෙන් විහාර මළුව ඉදිරිපිට වූ විශේෂ මණ්ඩපයක වැඩ සිටි භික්ෂූන් වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කළහ. සෙත් පිරිත් අවසන් වීමෙන් පසුව ගොන්ගාලේගොඩ බණ්ඩා මණ්ඩපය ඉදිරියේ සිට ගිරන්නේගම ඉන්දජෝති නායක හිමියන්ගෙන් ආශිර්වාද ලැබුවේය. අභිෂේක මංගල්‍යය සිදුවූයේ ගිරන්නේගම ඉන්දජෝති නායක හිමියන්ගේ අතිනි. එවකට දඹුලු විහාරාධිපතිව වැඩ සිටියේත් ගිරන්නේගම නාහිමියෝය. දඹුල්ල අවට තිබුණු හැම පන්සලකම විසූ භික්‍ෂූන් වහන්සේලා එදා සෙත් පිරිත් දේශනාවට සහභාගිව සිටි බැව් ද වෑබද්දේ ලේකම් කීවේය.
රාජාභිෂේකය නිමිත්තෙන් දඹුල්ලේ ගල්ලෙන් විහාරය ඉදිරිපිට මළුවේ මඟුල් බෙර, සක්හඬ සහ ඝණ්ටා නාදයත් අවසන් වීමත් සමගම එහි ගෙනෙනු ලැබූ දෝලා දෙකකින් රජවරුන් දෙදෙනා පිටත් වූ බවත් රාජකීය පෙරහැර ලෙන දොර තෙක් මහා මාර්ගය දිගේ ගමන් කළ සැටිත් වෑබද්දේ ලේකම් ඉංග්‍රීසීන්ට විස්තර කළේ රාජකීය පෙරහැරේ ගමන් කළ හමුදාවේ තුවක්කුගත් සිංහල භටයන් 300ක් හා කඩු පලිහ සහ හෙල්ල රැගත් භටයන් විශාල පිරිසක් ද වූ බැව් ඔහු කියා සිටියේය. වෑබද්දේ ලේකම්ගේ මේ ප්‍රකාශය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.
දඹුල්ලේ සේනාව
දඹුල්ලේ රාජාභිෂේක මංගල්‍යයට මාතලේ දිස්ත්‍රික්කයේ කෝරාලවරු අතුකෝරාලවරු රටේ මහත්වරු සහ ආරච්චිවරු 84 දෙනෙක් සහභාගි වූ අතර මදුරාව කෝරළෙන් සහ හේවාවිස්සෙන් කෝරාල, අතුකෝරාළ, රටේ මහත්වරු සහ ආරච්චිවරුන් 25 දෙනෙක් පැමිණ සිටියහ. මේ හැම මුලාදෑනියෙකුම තමතමන්ගේ වසමට අයත් නිලකාර හේවාපන්නයන් ද කැටුව දඹුල්ලට පැමිණ අලුතින් අභිෂේක ලත් රජු ඉදිරියේ පක්ෂපාතභාවය ප්‍රකාශ කොට සිටියහ. රජු ඉදිරියේ දණ්ඩ නමස්කාරයෙන් වැඳවැටී බිම දිගාවීමෙන් හා පක්‍ෂපාතභාවය ප්‍රකාශ කිරීමේ දිවුරුම් දීමෙන් පසුව ඔවුන් හැමදෙනාම සිංහලේ හමුදාවට එකතු කරනු ලැබීය.

මැදවල තැන්නේ සිට සැතපුම් 5ක් ඈතින් පදිංචිව සිටි නානාව කෝරළේත් කඳපොළ බස්නායක නිලමේත් දුල්ලෑවේ මහනිලමේත් වහාම අත්අඩංගුවට ගැනීමේ කටයුතු මාතලේ යුද කඳවුර භාරව සිට කැප්ටන් ලිලී විසින් කැප්ටන් වොට්සන් වෙත පවරන ලදී. මහනුවර සේනාධිනායකව සිටි කර්නල් ඩ්රාප්ටි විසින් කැප්ටන් වොට්සන් වෙත මේ පිළිබඳව විශේෂ නියෝග සඳහන් රහස් ලියැවිල්ලක් පිටත් කර එවන ලදී.
එම රහස් ලිපියේ මෙසේ ද දැක්විණ.
මහනුවර හමුදා මූලස්ථානය
1.8.48
මහත්මයාණෙනි,
මාතලේ යුද්ධ නීතියට යටත් කළ දා පටන් ඉංග්‍රීසි හමුදා භාරයට පත්ව සිටින සිරකරුවන්ට විරුද්ධ චෝදනා විභාගයන් සඳහා යුද්ධාධිකරණයක් කැඳවීමේ සම්පූර්ණ බලය මෙයින් ඔබතුමාට පවරමි. ඔබතුමාගේ ජ්‍යෙෂ්ඨම හමුදා නිලධාරි තැන එම යුද්ධාධිකරණයේ සභාපති හැටියටත් තවත් නිලධාරීන් දෙදෙනෙකු සාමාජිකයින් හැටියටත් පත් කළ යුතුය. යුද්ධාධිකරණයේ කටයුතු සියල්ලක්ම ඔබගේ අනුමතිය පරිදි ස්ථිරවිය යුතුය. යුද්ධාධිකරණයේ තීරණය පරිදි දඬුවම් ලබාදීම එම අධිකරණය පැවැත් වූ ස්ථානයේදීම ඒ මොහොතේදීම ක්‍රියාත්මක කළ යුතුය” (දිය යුතු දඬුවම් ද එහි විය)
ඩබ්. කේ. පී. ගුණවර්ධන
(1961දී ලියන ලද්දකි)