ගෞරව ආචාර්ය පට්ටම්වල අධ්‍යයන වටිනාකමක් නෑ…
රුපියල් ලක්‍ෂයට, දෙකට ආචාර්ය උපාධි ගන්න පුළුවන්…
උපාධි කඩ වහන්න කඩිනමින් පියවර ගන්න…
‘ආචාර්ය හොරු’ තමයි වැඩිපුර ‘උපාධි කඩ’ දාගෙන ඉන්නෙ…
ඩොක්ටර් කිව්ව පළියට ආචාර්යවරයෙක් විදිහට පිළිගන්න එපා…
වෘත්තියේ ප්‍රවීණත්වයට ගමේ කසිප්පුකාරයටත් ආචාර්ය උපාධියක් ගන්න පුළුවන්…
මහාචාර්යකමත් සල්ලිවලට ගන්න තියෙනවා…
මෙරට වෙළෙඳපොළේ විවිධ කඩ තිබේ. ඒ අතරට එකතු වී තිබෙන නවතම කඩය උපාධි කඩය. ඒ කඩයකින් වෘත්තියේ ප්‍රවීණත්වයට ගමේ කසිප්පුකාරයටත් ආචාර්ය පට්ටමක් ලබාගැනීමට හැකියාව තිබේ. අවශ්‍ය මුදල් පමණි. උපාධි ඉල්ලුම් පත්‍රය ද උපාධි කඩේ සේවකයන් විසින් සම්පූර්ණ කර දෙනු ලැබේ. රුපියල් ලක්‍ෂයට, දෙකට ආචාර්ය උපාධියක් ලබාගැනීමට ද හැකියාව තිබේ. මුදල් ගෙවා ලබාගන්නා ආචාර්ය උපාධිය ලබාදෙනුයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, තරු බැබළෙන හෝටල්වල දැවැන්ත උත්සව වේදිකාවකය. ලෝගු පලඳනාවලින් හැඩ වී සම්භාවනීය අමුත්තන් ඉදිරිපිට ලබාගන්නා උපාධි සහතිකය ද නීත්‍යානුකූලය. වාර්තා වන ආකාරයට සහ පෙනෙන හැටියට එම සහතිකපත් නිකුත් කර ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, ඔස්ටේ්‍රලියාව ඇතුළු ලොව පිළිගත් රටවල විශ්වවිද්‍යාලවලිනි.
මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සංවිධානය කරන ලද මුදලට ලබාදෙන උපාධි ප්‍රදාන උත්සවයකට සහභාගිවීමට මට ද අවස්ථාව උදා විය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවැති එම උපාධි ප්‍රදාන උත්සවයේදී ප්‍රසිද්ධ ගායන ශිල්පීන්, ටියුෂන් ගුරුවරු, ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තිකයන් සහ බලි තොවිල් නටන යකදුරන් ඇතුළු සියයකට වැඩි පිරිසකට ආචාර්ය උපාධි පිරිනැමූහ. ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් නිකුත් කරන ලද උපාධි සහතිකපතක් ද ලබාදුන්හ. විශ්වවිද්‍යාල උපාධි ප්‍රදාන උත්සවයකට දෙවැනි නොවන එම උත්සවයට ප්‍රසිද්ධ මහාචාර්යවරු, ආචාර්යවරු, දේශපාලනඥයන් ද පැමිණ සිටියහ. ඔව්හු එම උපාධියේ වටිනාකම ගැන බරසාර දේශන ද පැවැත් වූහ. අවසානයේ පිරිස විසිර ගියහ. විශ්වවිද්‍යාලයේ නම හෝ දැන නොසිටි, උපාධි ඉල්ලුම් පත්‍රය හෝ තමා විසින් සම්පූර්ණ නොකෙරූ පුද්ගලයන් ආචාර්ය උපාධිය ලබාගෙන සතුටු වන දෙස මම තුෂ්ණිම්භූතව බලා සිටිමි. ‘මුදල් තිබේ නම් මේ රටේ මොනවද කරන්න බැරි… රට, ජාතියට, සමාජයට යම් සේවයක් කරන පුද්ගලයකුට ආචාර්ය උපාධියක් ලබාදීමේ වරදක් නෑ. ඒක යුනෙස්කෝ සංවිධානයත් අනුමත කරපු දෙයක්. ඒත් යකදුරන්ට, ඇට තලන ටියුෂන් අම්මණ්ඩිලාට, අට පාස් තැබෑරුම්කාරයන්ට ආචාර්ය පට්ටම් දීම නම් මාරම අවුලක්…’ යටි සිත ප්‍රශ්න කළේය. ක්‍ෂණයෙන් මම මහාචාර්ය ඥානදාස පෙරේරාට දුරකථන ඇමැතුමක් ලබාගෙන උපාධි කඩ ගැන විමසා බැලුවෙමි.
‘ආචාර්ය හොරු’ නිසා මේ වෙනකොට ආචාර්ය උපාධිය අවතක්සේරු වෙලා තියෙනවා. ආචාර්ය උපාධියට තිබෙන ගරුත්ව බාල්දු වෙලා තියෙනවා. සමහර උපාධි ප්‍රදාන උත්සවවල ඩෙනිම් කලිසම් ඇඳගෙන රතුපාට ලෝගු දාගෙන ආචාර්ය උපාධි ලබාගන්නව මම දැකල තියෙනවා. රුපියල් ලක්‍ෂයට, දෙකට පහට, දහයට ආචාර්ය උපාධි විකුණන ලෝකයේ එකම රට ලංකාව බවට පත් වෙලා තියෙනවා. උසස් පෙළ විභාගයවත් සමත් වෙච්ච නැති පුද්ගලයෝ ආචාර්යවරු බවට පත් වෙලා ඉන්නවා. මේක මහා විකාරයක්. මනෝ විද්‍යාව තුළ මේ මගඩිය හරියට සිද්ධ වෙනවා. අට සමත් පුද්ගලයන් මනෝ උපදේශකවරු බවට පත් වෙලා ඉන්නවා. සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නොවිච්ච අය මනෝ වෛiවරු බවට වෙලා ඉන්නවා. වෛi නළාව, ලෝගු පාවිච්චි කරනවා. මේ විකෘතිය වර්ධනය වීමට හේතුව උපාධි ලබාදීම සම්බන්ධයෙන් නිසි නියාමනයක් නැතිකමයි. ‘ආචාර්ය හොරු’ තමයි වැඩිපුර ‘උපාධි කඩ’ දාගෙන ඉන්නෙ. රතු පාට ලෝගු දාගෙන ජනතාව රවටන්නෙ ආචාර්ය හොරු. රාජ්‍ය නිලධාරීන් රැවටෙනවා. වෛiවරු රැවටෙනවා. පෞද්ගලික ආයතනවල නිලධාරීන්, ව්‍යාපාරිකයන් රැවටෙනවා. පහුගිය කාලයේදී රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන්, ආචාර්ය හොරු තුන් කට්ටුවම එකතු වෙලා මේ ජාවාරම කරගෙන ගියා. දැන්වත් මේ වංචාව නතර වෙන්න ඕනෑ. උපාධි මගඩිය විචාරයට ලක්කොට සමාජ කථිකාවතක් නිර්මාණය කරන්න ඕනෑ. ඒ කථිකාවට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි අපි මේ එකතු කරන්නේ. ඒ වගේම නම ඉදිරියෙන් ආචාර්ය පට්ටමක් ‘ඩොක්ටර්’ කියපු පමණින් ආචාර්යවරයෙක් විදිහට පිළිනොගන්න රටේ ජනතාවත් වගබලා ගන්න ඕනෑ. රාජ්‍ය, පෞද්ගලික ආයතන පරීක්‍ෂණ තුළදී ආචාර්යවරුන්ගේ සුදුසුකම් නිවැරදිව පරීක්‍ෂා කර බැලිය යුතුයි. ඒ තුළින් ‘පිං ආචාර්යවරු’ හඳුනාගන්න පුළුවන්. එහෙම වුණොත් හොර උපාධි කඩවල දොරගුළු ක්‍රමයෙන් වසා දාන්න පුළුවන්…” මහාචාර්ය ඥානදාස පෙරේරාගේ කතාවේ වචනයක් හෝ ඉවත් කිරීමට සිත ඉඩ නොදේ. එතරම් ම වටිනා දේශනයකි.
පෙළගැසෙන කතාව සම්බන්ධයෙන් එවැනිම බරසාර අදහස් දැක්වීමක් මහාචාර්ය අමින්ද පෙරේරා ද ඉදිරිපත් කළේ ය. මේ ඒ කතාව ය.
“කිසිදු අධ්‍යයනයකින් තොරව ආචාර්ය පට්ටම් ප්‍රදානය කරන්නේ පූජනීය ස්ථාන, සමිති සමාගම් සහ පිටරට විශ්වවිද්‍යාල සම්බන්ධ කරගත් කණ්ඩායම්. සමිති සමාගම්, පූජනීය ස්ථානවලින් ලබාදෙන ආචාර්ය පට්ටම්වලට ලොකු අය කිරීම් නොකෙරුණත් පිටරට විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන ලබාදෙන ආචාර්ය උපාධිවලට රුපියල් ලක්‍ෂ ගණන් අය කරනවා. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ලොකු ප්‍රචාරණයකුත් ලබාදෙනවා. මේක නරක පූර්වාදර්ශයක්. රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබාගන්නවා කියන එක ලේසි නෑ. ඒක විශාල අධ්‍යයනයක අනර්ඝ ප්‍රතිඵලයක්. කිසිම මහන්සියක් නොවී මුදලට ආචාර්ය උපාධියක් ගන්න පුළුවන්කම තියෙනකොට මිනිස්සු එතැනට යොමු වෙන සම්භාවිතාව වැඩියි. ආචාර්ය උපාධි ලබාගන්න සමහර පුද්ගලයන් ‘ආචාර්ය උපාධියක්’ ලබාගැනීමේ පිළිවෙත ගැනවත් දැනුවත් නෑ. උපාධියත් හෑල්ලුවට පත් වෙලා. මේ වෙනකොට ආචාර්ය උපාධි විතරක් නෙමෙයි, මහාචාර්යකමත් විකුණන්න තියෙනවා. ඒත් මේවා පාලනය කරන්න අපේ රටේ නීති නෑ. උපාධි කඩ ඉදිරියේ අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල කොමිෂන් සභාව නිහඬයි. ඒ ගැන ප්‍රශ්න කළොත් කියන්නෙ උපාධි ලබාදීම පාලනය කරන්න මේ රටේ නීති නෑ කියලා. කැබිනට් මණ්ඩලය හරහා නීති හදලා හරි පාලනය කරන්න ඕනෑ. ඒත් හොර ආචාර්ය පට්ටම් ලබාගෙන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට එරෙහි වෙන්න බෑ. පහුගිය කාලයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලිනුත් දේශපාලන නායකයන්ට ඕන විදිහට ආචාර්ය උපාධි ලබාදුන්නා. මේ වනවිට ඒවා නම් නතර වෙලා තියෙනවා…” මහාචාර්ය අමින්ද පෙරේරා නිහඬ විය. සැබෑ මහාචාර්යවරු සහ ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ පළ කළ අදහස්වල සංක්‍ෂිප්තයක් දැන් අපි මෙසේ ඉදිරිපත් කරමු.

ආචාර්යවරයෙක් බවට පත්වීමේ ක්‍රම කිහිපයකි. පිළිගත් විශ්වවිද්‍යාලයකින් මූලික උපාධියක් ලබාගෙන මෙරට විශ්වවිද්‍යාලයක හෝ පිළිගත් පිටරට විශ්වවිද්‍යාලයක වසර 3කට වැඩි 7කට නොවැඩි අධ්‍යයන කාලසීමාවකින් පසු ආචාර්ය උපාධිය ලබාගැනීම, යම් ක්‍ෂේත්‍රයක උන්නතිය උදෙසා සිදු කරන ලද මහඟු මෙහෙවර අගයමින් විශ්වවිද්‍යාල මගින් ගෞරව ආචාර්ය උපාධි පිරිනැමීම, පුද්ගල විශේෂතා මත විවිධ ආයතනවලින් ගෞරව සම්මාන ආචාර්ය උපාධි පිරිනැමීම පිළිගත් ක්‍රමවේදයන් ය. ඒ අතරින් විශ්වවිද්‍යාල අධ්‍යයනකින් පසු ආචාර්ය උපාධියක් ලබාගැනීම පහසු කාර්යක් නොවේ. මෙරට විශ්වවිද්‍යාලයකින් පන්ති සාමාර්ථයක් සහිතව විශේෂවේදී උපාධියක් ලබාගැනීම ‘ආචාර්ය උපාධියක්’ ලබාගැනීමට ප්‍රධාන සුදුසුකමකි. ඇමරිකානු විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබාගැනීමට විශේෂවේදී උපාධියට අමතරව Graduate Record Exam (ජී.ආර්.ඊ) විභාගය ද සමත් විය යුතුය. වෙනත් රටවල ආචාර්ය උපාධියක් ලබාගැනීමට වසර හතරක විශේෂවේදී උපාධියට අමතරව මාස්ටර් උපාධිය සහ දර්ශනපති උපාධිය ද සම්පූර්ණ කළ යුතුය.
ඇමරිකානු විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබාගන්නා පුද්ගලයකුට අධ්‍යයන කාලසීමාවේ පළමු වසර දෙක තුළ විශ්වවිද්‍යාල දේශනවලට සම්බන්ධ වී විෂය හැදැරිය යුතු ය. අවම වශයෙන් සතියකට පන්ති හතරකට යොමු විය යුතු ය. අධ්‍යයනය කරන ලද විෂයන්වලට අදාළ නිබන්ධන සතිපතා ඉදිරිපත් කළ යුතු ය. මාසයකට වතාවක් හෝ ප්‍රධාන නිබන්ධනයක් ඉදිරිපත් කළ යුතුය. දෑඅවුරුදු විෂය අධ්‍යයනයෙන් පසුව තමන් සිදු කිරීමට බලාපොරොත්තු වන ශාස්ත්‍රීය අධ්‍යයන වාර්තාව මහාචාර්යවරු තිදෙනකු ඉදිරිපිට මූලික හැඳින්වීමක් කර අනුමත කරගත යුතුය. ඇතැම් උපාධි අපේක්‍ෂකයන්ට අධ්‍යයන වාර්තාව අනුමත කරගැනීමට නොහැකි වන අවස්ථා ද තිබේ. එමෙන්ම අධ්‍යයන වාර්තාව අනුමත කරගැනීමේ කාලය තීරණය වනුයේ පුද්ගල දක්‍ෂතාවය මතය. අධ්‍යයන වාර්තාව අනුමත වූ පසු ද ශාස්ත්‍රීය අධ්‍යයනය පිළිබඳ තමන් විසින් සොයාගත් කරුණු පදනම් කොටගෙන සකස් කරන ලද ලිපි විටින්විට විශ්වවිද්‍යාල හෝ විවිධ අධ්‍යයන ආයතනවල ප්‍රකාශනවල ඉදිරිපත් කළ යුතු ය. විවිධ සංවිධාන, විශ්වවිද්‍යාල සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය සම්මන්ත්‍රණවලට තමන් සිදු කිරීමට නියමිත පර්යේෂණය පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ යුතු ය. පර්යේෂණ පත්‍රිකාව පිළිබඳ එම සම්මන්ත්‍රණය තුළ සාකච්ඡා කළ යුතු ය.
පර්යේෂණය කරගෙන යන අතර උපදේශක මහාචාර්යවරයා සමග විෂය කරුණු පන්ති කාමරය තුළ ඉගැන්විය යුතුය. විද්‍යා විෂය හදාරන ආචාර්ය උපාධි අපේක්‍ෂකයන්ට පර්යේෂණාගාර තුළදී මහාචාර්යවරයා සමග පර්යේෂණ කිරීමට ද සිදු වේ. සාමාජීය විද්‍යා විෂය ධාරාවන් හදාරන අය මහාචාර්යවරු නියැළී සිටින පර්යේෂණවලට සම්බන්ධ වී කටයුතු කළ යුතුම ය. ඒ ආකාරයෙන් වසර තුනක හෝ ඊට වැඩි කාලයක් අධ්‍යයන කළ යුතු ය. තමන්ගේ පර්යේෂණ සම්බන්ධයෙන් ලියන ලද ලිපි, පර්යේෂණ උපදේශක මහාචාර්යවරයාට ඉදිරිපත් කර, සාකච්ඡා කර අඩුපාඩු සකස් කොට අනුමැති ලබාගත යුතුය. අවසානයේ මහාචාර්යවරු සිව් දෙනකුගෙන් යුත් මණ්ඩලයක් ඉදිරිපිට තමන් විසින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාව පිළිබඳ පැයකට වැඩි කාලයක් වාචිකව කරුණු ඉදිරිපත් කළ යුතු ය. වාචිකව ඉදිරිපත් කරන කරුණු සහ උපාධි අපේක්‍ෂකයා විසින් සකස් කර ඇති පර්යේෂණ වාර්තාවේ කරුණු එකිනෙකට ගැළපිය යුතුය. අනතුරුව එම නිබන්ධනය පරිණත පුස්තකාලයාධිපතිවරයෙක්ට යොමු කරනු ඇත. පුස්තකාලයාධිපතිවරයා විසින් අදාළ නිබන්ධනය පුස්තකාල විද්‍යාවට අනුව පරීක්‍ෂා කර උපාධි අපේක්‍ෂකයා ලවා අඩු පාඩු සකස් කරනු ලැබේ. පුස්තකාල විද්‍යාවට අනුව පිළිගත හැකි නිබන්ධනයක් බව පුස්තකාලයාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදුන් පසු විශ්වවිද්‍යාල විභාග අංශයට ඉදිරිපත් කරනු ඇත. එම අංශයෙන් සම්පූර්ණත්වයට පත් වූ පසුව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති බවට ලිඛිත ප්‍රකාශයන් උපාධි අපේක්‍ෂකයා වෙත නිකුත් කරනු ලැබේ.
මූලික උපාධි සහිතව විශ්වවිද්‍යාලයකින් ලබාගන්නා උපාධි ‘අධ්‍යයන උපාධි’ ලෙස හැඳින් වේ. අධ්‍යයන වශයෙන් ඉදිරිපත් කරන ලද පොත්පත්වල සුවිශේෂීත්වය, පර්යේෂණ පදනම් කරගෙන යම් ක්‍ෂේත්‍රයක සුවිශේෂී පුද්ගලයන්ට ද විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධි පිරිනැමීම සිදු වේ. බළංගොඩ ආනන්ද මෛත්‍රය හිමි විශ්වවිද්‍යාල මූලික උපාධියක් නොමැතිව මහාචාර්යවරයෙක් බවට පත් වූහ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලැබූ මාර්ටින් වික්‍රමසිංහ ආචාර්ය උපාධිධාරියකු දක්වා සැලකුම් ලැබුවේය. මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා සම්මානිත ආචාර්ය උපාධිධාරියෙකි. එම ආචාර්ය උපාධි ද ‘අධ්‍යයන ආචාර්ය උපාධි’ තරමට විශේෂ වේ. කිසිදු අධ්‍යයනක් නොමැතිව කෙනෙක් ආචාර්යවරයෙක් බවට පත් වේ නම් ඒ ගෞරව ආචාර්ය උපාධියකි. එම ආචාර්ය උපාධිවල කිසිදු අධ්‍යයන වටිනාකමක් නැත. ආචාර්ය උපාධිධාරියකු වීමට ඔහු විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණයක් තිබිය යුතුය. නව සොයාගැනීමක් තිබිය යුතු ය. සැබෑ ආචාර්යවරයෙක්වීමට සුදුසුකම් ඇත්තේ එවැනි පුද්ගලයන්ට පමණි.
කිසිදු අධ්‍යයනයකින් තොරව වෘත්තියේ ප්‍රවීණත්වයට මුදලට පිරිනැමෙන ‘ආචාර්ය පට්ටම්’ නිසා මෙරට දේශපාලන ක්‍ෂේත්‍රය ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල දැඩි අර්බුද මතු වී තිබෙන බව සැබෑ ය. උපාධි කඩවලින් ‘ආචාර්ය පට්ටම්’ මිලදීගත් ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍යය තුළ ‘පොර ටෝක්’ දෙන අයුරු නිරන්තරයෙන් ඇස ගැටේ. දෙසවනේ රැඳේ. ඔවුන් ගැන අපට ඇත්තේ අනුකම්පාවකි. එහෙත් ආචාර්ය උපාධිය මුදලට යටවීම ගැන ඇත්තේ දරාගත නොහැකි කම්පනයකි. පාසල් අධ්‍යාපනය ජය ගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වී වසර කිහිපයක් අනන්ත බාධක දුක් පීඩා විඳගෙන ආචාර්ය උපාධියක් ලබාගන්නා උගත්, බුද්ධිමත් මිනිසුන්ට කරන අසාධාරණයකි. උපාධිය ද හෑල්ලු කිරීමකි. එහෙයින් මෙරට විවිධ ප්‍රදේශවල රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යන ‘උපාධි කඩ’ කඩිනමින් වසා දැමීමට රජය වගබලාගත යුතු ය. විශ්වවිද්‍යාල නොවන ස්ථානවලින් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධි දැඩි නියාමනයකට ලක් කළ යුතු ය.
තරංග රත්නවීර
