රසික සිත් සතන් තුළ ලැගුම් ගත් එච්. ආර්. ජෝතිපාල ජීවත්ව සිටි කාලය තුළ පැවැත්වූ එකම ඒකපුද්ගල ප්‍රසංගය “ජෝති රාත්‍රියයි”. නමුත් ඊට පෙර කරුණාරත්න අබේසේකර මහතා මුල් වී ගායන ශිල්පි ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතා සහ එච්. ආර්. ජෝතිපාලයන් සම්බන්ධ කරගනිමින් “තරුණ නෙත් සහ රණහංසි” නමින් ද්විපුද්ගල ප්‍රසංගයක් පැවැත්වීය. එසේ වුවත් ජෝති මියයන තෙක්ම අතිසාර්ථකව පැවැත්වූ සංගීත ප්‍රසංගය වන්නේ ජෝති රාත්‍රියයි.
ආරම්භයේ සිට අවසානය දක්වා පුරා අවුරුදු 07ක් දර්ශනවාර 242ක් පැවැත්වුණු අතර එහි සංගීතය සපයා තිබෙනුයේ ස්ටැන්ලි පීරිස් මහතාගේ ෆෝචූන්ස් සංගීත කණ්ඩායමයි. ජෝති රාත්‍රිය නිවේදන කටයුතු හේමසිරි හල්පිට සහ රම්‍යා ශ්‍රියාණි පතිරණ විසින් අවසාන කාලයේදී ඉටු කළත් ආරම්භක අවධියේදී නිවේදන කටයුතුවල නියැළුණේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සහ කුසුම් පීරිස් විසිනි. එමෙන්ම ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල සහ සුජාතා අත්තනායක පසුකාලීනව ජෝති රාත්‍රිය හා යුග ගී ගායනයෙන් සම්බන්ධ වූහ.

සුවිශාල ප්‍රේක්‍ෂක පිරිසකගේ ඉමහත් ආදරය දිනාගත් මෙම ප්‍රසංගයේ ආරම්භය සිදුවන්නේ 1980 දීය. එසේ ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්විය යුතු යැයි මුලින්ම අදහස් ගෙනහැරපෑවේ රෝයි මෙලෝනියස්ය. ජෝතිපාලයන් කෙරෙහි ඉමහත් භක්තියකින් යුතු වූ ඔහු තම සිතේ ඇතිවූ එම සිතුවිල්ල ඒ ආකාරයෙන්ම ප්‍රායෝගිකව ඉටුකිරීමට ද කටයුතු කළේය. මුලින්ම මේ බව ජෝතිපාලයන්ට දැන්වුව ද ඒ සඳහා ජෝතිගේ එතරම් කැමැත්තක් නොතිබුණි. “මම කවදාවත් එකදිගට සිංදු පහකට වැඩිය කියලා නැහැ සින්දු 50ක් දර්ශන දෙකකදී මට කියන්න පුළුවන් වෙයිද’ ජෝති ඒ මොහොතේ නැඟූ ප්‍රශ්නය වූයේ එයයි. නමුත් අවසානයේදී කෙසේ හෝ මංගල ජෝති රාත්‍රිය ප්‍රසංගය පැවැත්වීමට තීරණය කළේ රත්නපුර නගර ශාලාවේදීය. 1980 සැප්තැම්බර් 06 වැනි දින “ෆෝචූන්ස්” සංගීත කණ්ඩායම එහිදී සංගීතය ඉදිරිපත් කර ඇති අතර ඇන්ජලින් ගුණතිලක ගායනයෙන් සහාය වී තිබිණි. ජෝති රාත්‍රියේ මංගල දර්ශනය මේ ආකාරයට කොළඹින් පිටත පැවැත්වීමට එක් හේතුවක් වූයේ මුල්ම ප්‍රසංගය කොළඹින් පිටත පැවැත්වීමට ජෝතිගේ තිබූ අදහසකට අනුවය. ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන් එහි නිවේදන කටයුතු මෙහෙයවා තිබේ. කොළඹ පැවති මුල්ම ජෝති සංගීත ප්‍රසංගය පවත්වා තිබෙනුයේ කොළඹ ටවර් රඟහලේදීය. එය ද අතිසාර්ථක වී තිබේ.
ජෝති රාත්‍රිය ප්‍රසංගය ආරම්භයේදී ජෝති ඒ සඳහා මනාකැපවීමෙන් කටයුතු කළ බවත් දුම්බීම, මත්පැන් පානය, නිදිවැරීම ආදිය සිදු නොකළ අතර එම දිනවල චිත්‍රපට රෙකෝඩින් වේවා වෙනත් කිසිදු කටයුත්තක් හෝ භාර නොගත් බවත් එම ප්‍රසංගයේ කළමනාකරු ලෙස කටයුතු කළ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහතා එකල පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි.
ජෝති බොහෝවිට මෙම ප්‍රසංගය ආරම්භ කළේ ඔහුගේ ජනප්‍රියතම ගීතයක් වූ “සිරියමේ සාරා” ගීතයෙනි. එමෙන්ම පෘතුගීසිකාරයා ගීතයෙන් ප්‍රසංගය නිමා කළ ඔහු තම රසිකයන්ට ද ඔහු සමගම ගීතය ගායනා කිරීමට ආරාධනා කිරීම ද බොහෝ විට දක්නට ලැබුණු කරුණකැයි සඳහන් වේ. මුල්ම කාලයේ ඉතා පහසුවෙන් ගීත 25ක් ගායනා කළ ජෝති එය අවසානයේ තවත් සංගීත ප්‍රසංගවලට ද සහභාගි වූ බවත් කියැවේ.
අවසාන කාලයේදී ජෝති වරින් වර රෝගාතුර වී සති දෙක තුන රෝහල් ගතවීමට සිදුවී තිබේ. නමුත් ඔහු රෝගාතුරව සිටියදී පවා රෝහලේ සිට ටවර් රඟහලට පැමිණ ඉතා අපූරුවට ගීත 50ක් ගයා නැවත රෝහල්ගත වූ අවස්ථා කිහිපයක්ම තමන්ට සිහිපත් වන බව ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහතා එවක සංගීතමය පුවත්පතක් වූ “සත්සර” පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
1980 වර්ෂයේ සැප්තැම්බර් මස 06 වැනිදා ඇරඹුණු ජෝති රාත්‍රිය දෛවයේ සරදමකට මෙන් අවසන් වූයේ දික්වැල්ලෙනි. දික්වැල්ල යනු ජෝතිගේ පියාගේ, පියාගේ ගමය. එය ඉතා සාර්ථක අන්දමට ප්‍රසංගය පවත්වා ආරම්භ වීමට පෙර ජෝති පවසා තිබුණේ තම පියාට උපහාර වශයෙන් මේ ප්‍රසංගය පැවැත්වූ බවය.
කෙසේ වෙතත් අවසාන වශයෙන් ජෝති රාත්‍රිය ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ අදින් වසර 38කට පෙර එනම් 1987 ජූලි 04 වැනිදායි. නමුත් නියමිත අයුරින් එය පැවැත්වූයේ නැත. එදින පමණක් නොව ඉන්පසු කිසිම දිනක ජෝති රාත්‍රිය පැවැත්වීමට හැකියාව ලැබුණේ නැත. ආදරණීය ජෝතිපාලයන් කතරගම ගම්උදා බිමේ ගීත ගැයීමෙන් පසුව 1987 ජූලි මස 07 වැනි දින අලුයම රත්නම් රෝහලේදී සදහටම දෙනෙත් පියා ගත්තේය.
සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ – නිර්මාණ ගී ශිල්පියාණෝ
සීගිරි ලෙන්හි රූ අප්සරාවන් – ඇන්දා වූ සිත්තරාණෝ
ජූලි 07 වැනි දිනට යෙදෙන එච්. ආර්. ජෝතිපාලයන්ගේ 38 වැනි ගුණ සැමරුම නිමිත්තෙනි
ධම්මික ජයරංජන්