නව විෂය නිර්දේශ අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළිදැක්වීමට අවශ්‍ය පියවර හා ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් 16 දා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැති අවස්ථාවේදී අගමැතිනිය මේ බව කීවාය.
2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශ හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කරන බවත් 9 වැනි ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බවත් එහිදී අගමැතිනිය පැවසුවාය.
මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීහු තම අංශ මගින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අගමැතිනිය දැනුවත් කළහ.
මෙය විෂය නිර්දේශය සංශෝධනය කිරීම, ගුරු පුහුණුව, පරිපාලන හා යටිතල පහසුකම් සැලසීම, නිසි ඇගැයීම් ක්‍රියාවලියක් ඇති කිරීම හා මේ සඳහා මහජන දායකත්වය යන කුලුනු 05ක් මත සිදු කරන ලද අධ්‍යාපන පරිවර්තනයක් බව හා මෙහිදී ආකල්පමය අතින් පොහොසත් ගුරුවරුන් නිර්මාණය කිරීම ජාතික අධ්‍යාපන ආයතනවල වගකීම බව අගමැතිනිය කීවාය. තවද මෙම ප්‍රතිසංස්කරණවලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්‍ෂා කිරීමට හා විධිමත් ඇගැයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙස ද අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය, එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීහු සහභාගි වූහ
චමින්ද සිල්වා