ඉරානය තාමත් සහාය ඉල්ලුවේ නෑ – පුටින් කියයි
ලෝකයම අවධානයෙන්
ආරක්ෂක මණ්ඩලය අද හදිසි රැස්වීමක් කැඳවයි
සතියක් තිස්සේ ඉරානය සහ ඊශ්‍රායලය තවදුරටත් එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මධ්‍යම ඊශ්‍රායලයේ රෝහල් කිහිපයකටම ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ලවී තිබේ. ඉරානය, රුසියාව, චීනය, පාකිස්තානය සහ ඇල්ජීරියාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (20දා) හදිසි සැසියක් කැඳවා තිබේ. එහිදී පවතින ගැටුම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, සාන්ත පීටර්ස්බර්ග්හිදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති වටමේස සාකච්ඡාවකදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම ගැන අදහස් දක්වමින් ඉරානය මේ දක්වා රුසියාවෙන් කිසිදු සහායක් ඉල්ලා නොමැති බව පවසා ඇත.
ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයට ළඟා විය හැක්කේ ඇමෙරිකාවේ ‘බංකර් බස්ටර්වලට‘ පමණක් වන නිසා ඇමරිකාව එයට ප්‍රහාර එල්ල කරයිද යන්න ලෝකයේම අවධානය යොමුව තිබේ.
මිසූරිහි වයිට්මන් ගුවන් හමුදා කඳවුරේ ඇති රහසිගතව පියාසර කළ හැකි US B-2 Spirit නම් මෙම යානාවලට අඩි 200ක් භූගත ඉලක්ක විනාශ කළ හැකි යැයි කියනු ලබන ‘බංකර් බස්ටර්ව’ බිම හෙළීමට හැකියාව පවතී. එය ලොව ඇති විශාලතම ‘බංකර් විනාශ කළ හැකි බෝම්බය’ වෙයි. රාත්තල් 30,000ක් (කිලෝග්‍රෑම් 13,600) බරින් යුතු නිරවද්‍ය මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක වන මෙම බෝම්බයට කන්දක් තුළ ගැඹුරින් භූගතව ඉදිකර ඇති ඉරානයේ න්‍යෂ්ටික යුරේනියම් බලගැන්වීමේ ෆොර්දෝ සංකීර්ණය විනිවිද යෑමට හැකියාව ඇත. මීටර් හයක් දිගැති මෙම බෝම්බය පිපිරීමට පෙර මතුපිට සිට අඩි 200ක් (මීටර් 61) පමණ ගැඹුරට කිඳා බැසීමට සමත් බව පැවසේ. එකිනෙක පිපිරීමෙන් පොළොව හාරමින් ගැඹුරට යන ආකාරයෙන් බෝම්බ රැසක් අනුපිළිවෙළින් පුපුරුවා හැරීමට එයට හැකියාව පවතී. එය 2017 වසරේදී ඇෆ්ගනිස්ථානයේ සටන්වලදී භාවිත කරන ලද ‘සියලු බෝම්බවල මව’ ලෙස හැඳින්වෙන රාත්තල් 21,600 (කිලෝග්‍රෑම් 9,800) බරැති බෝම්බවලටත් වඩා ප්‍රබලය.
මෙම බංකර් බස්ටර් බෝම්බ සීමිත තොගයක් ඇමෙරිකාව සතුවේ. මෙම බෝම්බවලින් 10ක් 20ක් පමණ මෙහෙයුම් සඳහා භාවිතයට සූදානම්ව ඔවුන් සතුව තිබෙන බව ඇමරිකන් ආරක්ෂක ප්‍රධානියකු පවසා තිබිණි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටත පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරානයට එරෙහි මැදිහත්වීම පිළිබඳ මෙසේ පවසා තිබිණි.
“මට එහෙම කියන්න බෑ. මම ඒක කරන්නත් පුළුවන්. මම ඒක නොකර ඉන්නත් පුළුවන්. මට කරන්න ඕන දේ කවුරුත් දන්නේ නැහැ. නමුත් මට මේක කියන්න පුළුවන්. ඉරානය ඉන්නේ කරදර ගොඩක් මැද සහ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවෙන්. මගේ ඉවසීම නැති වෙලා ගිහින් තියෙන්නේ.”
කවරක් නමුත් ඉරාන සටනට එළඹීම ගැන ට්‍රම්ප් මෙතෙක් අවසන් නිවේදනය නිකුත් කර නැත. ට්‍රම්ප්ගේ උපදේශකයින් මේ යුද්ධයට ඇමරිකාව මැදිහත්වීම ගැන විරෝධය පළ කර තිබේ. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට ඇමරිකාව සම්බන්ධ වුවහොත් එය විශාල විනාශයක් බව පවසා තිබේ.
චතුර පමුණුව