මැදපෙරදිග තත්ත්වය එයට හේතුවෙලා – ධවල මන්දිරය
පෙරේදා (16දා) කැනඩාවේ ඇල්බටා පළාතේදී ඇරඹුණු කාර්මික රටවල නායකයන්ගේ ජී -7 සමුළුව නිමවීමට ප්‍රථමයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමුළුවෙන් නික්ම ගොස් ඇමරිකාවට නැවත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පෙරේදා හා ඊයේ (17) යන දෙදිනේ කැනඩාවේ පැවති ජී – 7 සමුළුවේ ආරම්භක දිනයේදීම ජනාධිපති ට්‍රම්ප් මෙසේ සමුළුවෙන් නික්ම ගොස් ඇති අතර මේ වන විට මැදපෙරදිග හටගෙන ඇති තත්ත්වය හේතුවෙන් ඔහු වහා නැවත ඇමරිකාවට පැමිණ ඇති බව ධවල මන්දිරය විසින් නිවේදනය කර තිබේ. මේ අතර ජී – 7 සමුළුවට සහභාගී වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසා ඇත්තේ දැනට යුද්ධයක නිරතව සිටින ඊශ්‍රායලය හා ඉරානය සඳහා සටන් විරාමයක් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බවයි.
පසුගියදා ඊශ්‍රායල – ඉරාන යුද්ධය ඇරඹීමෙන් පසු ඉරානයේ ටෙහෙරාන් අගනුවර වාසය කරන සියලු දෙනා නගරයෙන් වහාම ඉවත් කරගත යුතු බවත් ඉරානය ඇමරිකාව සමග න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් තැබිය යුතු බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබිණි. යෝජිත න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා ඇරඹීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය කණ්ඩායමක් යොදවා ඇති බවද වාර්තා වේ. මේ අතර ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය වන කැරොලයින් ලෙවිට් ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පවසා ඇත්තේ ජී – 7 සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන් සමග සමුළුවේ පළමු දිනයේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වීමෙන් අනතුරුව ට්‍රම්ප් ජනාධිපතිවරයා වොෂින්ටන් නගරය වෙත පිටත් වූ බවත් මැදපෙරදිග වර්තමානයේ පවතින තත්ත්වය එයට හේතු වූ බවයි. කෙසේ වුවද ට්‍රම්ප් ජනාධිපතිවරයා ජී – 7 සමුළුවෙන් කලින් නික්ම ගොස් ඇත්තේ ඊශ්‍රායල – ඉරාන යුද්ධයට සටන් විරාමයක් යෝජනා කිරීමට නොව ඔහුට ඉටු කිරීමට ඇති සුවිසල් කාර්යයන් නිසා බව ජනාධිපතිවරයා උපුටා දක්වමින් සීඑන්එන් ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ. මේ අතර ජී – 7 සමුළුවේ සාමාජික රටවලට යුක්රේන යුද්ධයට හා ඊශ්‍රායල – ඉරාන යුද්ධයට විසඳුම් සෙවීමට දැඩි උත්සාහයක් ගැනීමට සිදුව ඇත්තේ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ප්‍රසිද්ධියේ සහය දැක්වීම හා සමුළුවේ බොහෝ සාමාජික රටවලට එරෙහිව තීරු බදු පැනවීම නිසා බව විදෙස් විචාරකයන් පවසා තිබේ. කෙසේ වුවද ජී – 7 සමුළුව විසින් ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ වර්ධනය වීම අඩු කරන ලෙස ඉල්ලමින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට ට්‍රම්ප් ජනාධිපතිවරයා එකඟ වී තිබේ. එම ඒකාබද්ධ නිවේදනයට අනුව ඊශ්‍රායල – ඉරාන අර්බුදයට විසඳුම් සෙවීම හරහා ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කරගැනීම ඇතුළු මැදපෙරදිග පවතින ගැටුම් අවම කරලීමට හැකියාවක් පවතී.
සංස්කරණය – ඒමන්ති මාරඹේ