මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ නිවාස හා ගොඩනැඟිලි රුසක් විනාශයි
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ බුද්ධි අංශ ප්‍රධානියා මරුට
ඉරාන ජාතිකයන් 224ක් මියයති
ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරාන හමුදා විසින් ඊශ්‍රායලයේ නගර දෙකකට ඊයේ (16දා) උදෑසන එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 5 දෙනකු මියගොස් ඇති අතර 87 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉරාන හමුදා විසින් ඊයේ උදෑසන ඊශ්‍රායල නගර වන ටෙල් අවිව් හා හයිෆා නගර වෙත එල්ල කර ඇති මිසයිල ප්‍රහාර 100කින් එම නගරවල පිහිටි නිවාස හා ගොඩනැඟිලි විනාශ වී ගොස් ඇති අතර රටවල් දෙක අතර පවතින යුද්ධය මැදපෙරදිග යුද්ධයක් දක්වා වර්ධනය වනු ඇති බවට මෙම සතියේ රැස්වන ජී-7 කණ්ඩායමට අයත් ලෝක නායකයන් විසින් සැක පළකර තිබේ.

ඊශ්‍රායලයේ මේගන් ඩේවිඩ් ඇඩොම් හදිසි සේවාවට අනුව ඊයේ දිනයේ ඉරානය විසින් ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් හා හයිෆා නගරය වෙත එල්ල කර ඇති මිසයිල ප්‍රහාරවලින් ගොඩනැඟිලිවල කොන්ක්‍රීට් බිත්ති විනාශ වී ගොස් ඇති අතර, ජනේල කැඩී විසි වී ගොස් නිවාස විශාල සංඛ්‍යාවකට දැඩි හානි සිදුව තිබේ.
ඊශ්‍රායලය හා ඉරානය එකිනෙකාට එරෙහිව එල්ල කරන ප්‍රහාරයන් ඉදිරියේදී වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයෝ පවසති.
මේ අතර ඉරාන රජයේ රූපවාහිනිය පවසා ඇත්තේ ඊයේ දිනයේ ඉරාන හමුදා විසින් ඊශ්‍රායලය වෙත මිසයිල 100ක් පමණ එල්ල කර ඇත්තේ ඉකුත් සිකුරාදා දිනයේ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි න්‍යෂ්ටික හා යුද පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරවලට පලිගැනීමක් වශයෙන් බවයි. මේ හේතුවෙන් ඊශ්‍රායලය සමග හටගෙන ඇති යුද වාතාවරණය සමථයකට පත්කර ගන්නා ලෙසට ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම්වලට ඉරානය යටත් නොවන බවද එම රූපවාහිනි සේවාව වාර්තා කර තිබේ.
ඉකුත් සිකුරාදා ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉරානයේ ජනතාව භීතියටත් අනෙක් අතට තමන්ව දීර්ඝ කාලයක් යටත් කරගෙන සිටි ඉරාන හමුදා නායකයන් මියයෑම ගැන ප්‍රීතියටත් පත්ව සිටින බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති “රයිසින් ලයන්” යුද මෙහෙයුමට එරෙහිව ඉරානය විසින් දියත් කර ඇති “ටෲ ප්‍රොමිස්-3” යුද මෙහෙයුම හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් 10 දෙනකු මියගොස් ඇති අතර ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇති ඉරාන ජාතිකයන්ගේ සංඛ්‍යාව 224ක් බවද ඊයේ වාර්තා විය.
මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ බුද්ධි අංශ ප්‍රධානියා වන මොහොමඩ් කසෙමි මියගොස් ඇති බව වාර්තා විය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයෙන් මෙන්ම ඉරානයෙන් ඉල්ලා ඇත්තේ මේ මොහොතේ සාකච්ඡාමය විසඳුමකට යොමු වන ලෙසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඊශ්‍රායල අගමැති බෙන්ජිමින් නෙතන්යාහු ඉරානය සමග පවතින යුද ගැටුම්වල දරුණු බව අඩුකිරීම මෙහිදී පවතින ගැටලුව නොවන බවත්, යුද මෙහෙයුම දියත් කර ඇත්තේ ඉරානය සිය න්‍යෂ්ටික හැකියාව වර්ධනය කිරීම නැවැත්වීමට බවයි. මේ අතර ඉරාන මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සුළු හානි සිදුව ඇති බැවින් එය වසා දැමීමට පියවර ගෙන තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ