ඇලයාපත්තුව විහාරපාළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු සිය නිවසට යාබද නිවසක පිහිටි ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී ගවයෙකුගේ ගෙල බැඳි කඹයක් එම දරුවාගේ ගෙලෙහි එතී ගෙල සිරවීමෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙලෙස අවාසනාවන්ත ඉරණමට ගොදුරුවීමෙන් මරු මුවට පත්වූයේ ඇලයාපත්තුව විහාරපාළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි අසරප්පුලිගේ ඉමාෂ් දෙවිඳු නමැති දරුවාය.
ඉකුත් 13දා සවස් කාලයේ එම දරුවා අසල්වැසි පුද්ගලයෙකුගේ ගෙවත්තක සෙල්ලම් කරමින් සිටියදී ගෙලෙහි කඹ බැඳි ගවයින් කීප දෙනෙකු එම දරුවා අසලින් ගමන් කොට ඇත. එම දරුවා විසින්
ගවයෙකුගේ ගෙලෙහි බැඳ තිබූ කඹයක් සියතින් අල්ලාගෙන සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ එක්වරම කුලප්පු වී ඇති ගවයා දිව යෑම නිසා කඹය එම දරුවාගේ ගෙලෙහි එතී ඇත.
එම අවස්ථාවේ ගවයාත් සමග මීටර් නවසියයක් පමණ දුරට දරුවාද ඇදී ගොස් තිබේ. අනතුරුව බරපතළ ලබා සිටි එම දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (14දා) සවස මියගොස් ඇත. මේ පිළිබඳව ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු