58 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලිය
58 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව මාතලේ පාසල් කණ්ඩායම තහවුරු කර ගන්නා අතර වාරයේ දී බාලිකා ශූරතාව දිනා ගැනීමට කොළඹ පාසල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් සමත් වූහ.
බාලක අංශයේ අනු ශූරතාව කොළඹ පාසල් කණ්ඩායම තහවුරු කර ගත් අතර වාරයේ දී මාතලේ පාසල් කණ්ඩායමට බාලිකා තෙවන ස්ථානය හිමි විය.
බාලිකා අනු ශූරතාව සහ බාලක තෙවැනි ස්ථානය වයඹ පළාතට රැගෙන යෑමට පුත්තලම පාසල් කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලියේ බාලක සිව් වැනි ස්ථානය මහනුවර පාසල් පිලට ද බාලිකා සිව් වැනි තැන ගාල්ල පාසල් පිලට ද හිමි විය.
ඒ අනුව බලන විට බාලක සහ බාලිකා යන දෙඅංශයෙන්ම රන්, රිදී සහ ලෝකඩ පදක්කම් මාතලේ, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්ක යන ත්‍රිත්වය අතරේ බෙදී යෑම කැපී පෙනුණි.
කොළඹ පාසල් හොකී කමිටුවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් මෙහෙයවන ලද මෙවර තරගාවලිය කණ්ඩායම් 23 ක් අතරේ කොළඹ කෘතීම ක්‍රීඩාංගණය සහ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණි.
මෙහි බාලක අවසන් තරගය විදුලි ආලෝක ධාර මැද කෘතීම ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය පියවර ගැනීම ඉහළ අගයක් ගත්තේය. අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී අවසන් තරගයක් විදුලි ආලෝක ධාර මැද ක්‍රියාත්මක කෙරුණු පළමු අවස්ථාව ද මෙය විය.

මාතලේ සහ කොළඹ අතර පැවති බාලක අවසාන තරගයේ දී ගෝල් 03 – 02 ක තියුණු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට මාතලේ ක්‍රීඩකයෝ සමත් වූයේ පිට පිට වර්ෂ දෙකක් තම අපරාජිත බව සනාථ කර ගනිමිනි. ප්‍රබල මාතලේ පිලට එරෙහිව කොළඹ ක්‍රීඩකයන් අවසන් තරගයේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතාව ප්‍රශංසනීය මට්ටමක තිබිණි.
මෙවර බාලිකා අවසන් තරගය කොළඹ සහ පුත්තලම අතර ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ගෝල් 02-00ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සත්කාරක කොළඹ ක්‍රීඩීකාවන් හට හැකියාව ලැබිණි.
බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු මෙවර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය විෂන් කෙයා ඔෆ්ටිකල් සර්විසස් ආයතනයේ වෙළෙඳ කළමනාකාර කසුන් විජේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
සංස්කරණය – සුසිල් ජයකොඩි