ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අයහපත් කාලගුණ තත්ත්වය නිසා නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 484ක් ලබා ඉතා ප්‍රභල තත්ත්වයක පසුවිය.

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වූයේ බංග්ලාදේශය ඉතා ඉහළ මට්ටමක සිටය. ඒ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 292ක් දක්වා ඔසවා තබමිනි. ඒ වනවිට බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ගොස් තිබිණි.
දෙවැනි දිනයේ නජිමුල් හුසේන්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අසිත ප්‍රනාන්දු ඉඩ ලබා නොදුන් අතර නජිමුල් ලකුණු 148 ලබා සිටියදී සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. නජිමුල් මුෂ්ෆිකර් සමග ලකුණු 264ක සබඳතාවය ද ඒ අනුව බිඳ වැටුණේය.
නජිමුල්ගේ ඉනිම අවසන් කරන්නට ඇන්ජලෝ මැතිව්ස්ගේ අගනා පන්දු රැකීමත් විශේෂත්වයකි.
නජිමුල්ගේ දැවී යෑමත් සමග පිටියට පිවිසියේ ලිටන් දාස්ය. මුෂ්ෆිකර්ට එක්වූ ලිටන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වෙමින් පන්දුවට පහර දීමක නිරත වෙමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ස්ථාවර සබඳතාවක් පවත්වාගෙන යමින් දිවා ආහාරය දක්වා ඉතා හොඳින් ක්‍රීඩා කළේය. නමුත් ලිටන් දාස්ගේ රැකගත යුතුව තිබූ උඩ පන්දුවක් පැතුම් නිස්සංකට ගිලිහී ගියේ ක්‍රීඩාපිටියේ රැඳී සිටීමට වාසනාව උදාකරමිනි.
දිවා ආහාරයෙන් පසු පැයක පමණ කාලයක් තරගය පැවැත්වූ අතර ඉන් පසු ගාල්ල ක්‍රීඩාංගණයට ඇදහැලුණු වර්ෂාව නිසා අතරමඟ තරගය නවතා දැමීමට සිදුවිය. වර්ෂාව නිසා තරගය නවතා දමන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 432ක් ලබා සිටියේය.
අයහපත් කාලගුණය නිසා තරගය නවතා දමන විට මුෂ්ෆිකර් රහීම් ලකුණු 159ක් ද ලිටන් දාස් ලකුණු 61ක් ද ලබා සිටියහ.
වර්ෂාවෙන් පසු බංග්ලාදේශයට සිතූ තරම් දස්කම් පෑමට ශ්‍රී ලංකා පන්දු යවන බළඇණිය ඉඩ ලබා දුන්නේ නැත. මන්දයත් මුල් රිද්මයට පන්දුවට පහර දීමට දාස්ට නොහැකිවීම නිසාය.
මුෂ්ෆිකර් ලකුණු 163ක් ලබා සිටියදී දැවී ගිය අතර ඉන්පසු බංග්ලාදේශ ඉනිමට ලකුණු 26ක් එක්වද්දී කඩුලු 4ක් උදුරා ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය. ඒ වනවිට ශ්‍රී ලංකා පන්දු යවන අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක, තරිඳු රත්නායක බංග්ලාදේශය අසරණ කරමින් දිනය අවසානයේදී කඩුලු 09ක් දක්වා ලබාගැනීමට හැකියාව ලැබිණි.
දෙවැනි දිනයේ බංග්ලාදේශ කණ්ඩායම තරගය නවතා දමන විට කඩුලු 09ක් දැවී ලකුණු 484ක් ලබා සිටියේය.

සුසිල් ජයකොඩි