කාන්තාවක් සහ පුද්ගලයෙක් දැලේ
පුද්ගලයකුට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ හැටක මුදලක් ගෙවීමට කල් ලබා ගැනීම සඳහා එම පුද්ගලයා බන්ධනාගාරගත කරවීමේ අරමුණින් හෙරොයින් ලෙස පාර්සල් කරන ලද පිටි අඩංගු පාර්සල් දෙකක් ත්‍රිරෝද රථ දෙකක තබා පොලිසියට ඔත්තුව දුන් 36 හැවිරිදි කාන්තාවක හා ඇයට සහය දුන් පුද්ගලයකු ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිරෝද රථයක සඟවා කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගම්පොළ, ගම්පළවෙල ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රථය නවතා පරීක්ෂා කිරීමේදී ඔත්තුවට අනුව කුඩු පාර්සලයක් හමුවී තිබේ.
වැටලීම කළ නිලධාරි කණ්ඩායමේ උප පොලිස් පරීක්ෂක මහගෙදර මහතාට ඇති වූ සැකයක් මත එම පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි අඩංගුව ඇත්තේ හෙරොයින් නොවන බව හැඟී ඒවා කුරහන් පිටි හෝ සමපෝෂ පිටි බවට නිගමනය කර ඇත. ඒ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට නොගෙන මුදා හැර පරීක්ෂා කිරීමේදී පසුගිය දින කීපයේම මෙම ත්‍රිරෝද රථයේ ගිය කාන්තාවක පිළිබඳව එම පුද්ගලයා පවසා ඇත. ඇය තමාගෙන් හා බිරිඳගෙන් රුපියල් ලක්ෂ හැටක මුදලක් පොලියට ගෙන ඇති බවත් එය නොදී කල්වරන බවත් ඔහු පවසා ඇත. පසුව ගම්පොළවෙල පදිංචි ඇල්බට් නමැති හතළිස් හත් හැවිරිදි මෙම පුද්ගලයා ඒ පිළිබඳව අත්ගාල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ. එයින් බිය වූ මෙම කාන්තාව මුදල් ගත් අයගේ නිවසට පැමිණ තමා හා තවත් අයකු එක්ව සමපෝෂ අඩංගු මෙම පාර්සල් දෙක ත්‍රිරෝද රථවල සඟවා කුඩු රැගෙන යන බවට පොලිසියට ඔත්තුව දුන් බවට පිළිගෙන ඇත.
මෙම කාන්තාවගේ සහෝදරයාට ඉතාලි යෑම සඳහා මෙම මුදල මොහු හා ඔහුගේ බිරිඳගෙන් පොලියට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වසරකට අධික කාලයක් මෙම ගනුදෙනුව සඳහා ගිය ද ඉතාලි ගිය සහෝදරයා මුදල නොඑවීම මෙයට හේතු වී තිබේ.
මෙම කාන්තාව විසින් මීට පෙර බැංකුවේ ලිපි ශීර්ෂයක් සකසා ඉතාලි සිට සහෝදරයා මුදල් එවා ඇති බව පවසා එම මුදල් මාරු කිරීමට කල් යන බව කියා ඇතත් පසුව අනාවරණය වී තිබෙන්නේ එම බැංකුවේ ලිපි ශීර්ෂය ව්‍යාජව සකසා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් බැංකුවෙන් ද පරීක්ෂණ කරන බව පොලිසිය පවසයි. පොලියට මුදල් දුන් පුද්ගලයා හා බිරිඳ මීට පෙර විදේශගතව රැකියාවක් කර ලංකාවට පැමිණ එම සොයා ගත් මුදල් මෙසේ පොලියට දෙන බව ද අනාවරණය වී තිබේ. පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාව හා පුද්ගලයා ඊයේ (2 දා) ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ගම්පොළ – සුරංග දිල්හාන්