ගිලන් රථ නැති නම් කරත්ත දෙකක්වත් එවන්න – ගම්වැසියෝ
ගරාජයක ඇති ගිලන් රථ ඉක්මනින් අලුත්වැඩියා කර රෝහල්වලට එවන්නම් – පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාජ් කුමාර
බකමූණ, අත්තනකඩවල යන රෝහල්වල ගිලන් රථ තුනක් මාස දෙකක පමණ කාලයක් ගිලන් වී ඇති නිසා මෙම රොහල්වල හදිසි රෝගීන් වෙනත් රෝහල් කරා ගෙන යෑමට නොහැකිව රෝගීන් හා රෝහල් සේවකයින් අසීරුතාවට පත්ව සිටිති.
බකමූණ රෝහලේ ගිලන් රථ නිතර නිතර ගරාජයක අලුත්වැඩියා කරන බැවින් රෝගීන් ගෙන යෑමට කරත්ත දෙකක් එවන ලෙස හෝ නැතිනම් අලුත් ගිලන් රථයක් බකමුණ රෝහලට එවන මෙන් ඇලහැර ප්‍රදේශයේ ගම්වැසියෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.
බකමූණ රෝහලේ ගිලන් රථ දෙකක් ඇතත් ගිලන් රථ දෙකම ක්‍රියාවිරහිතව පොළොන්නරුව ගරාජයකට අලුත්වැඩියාව සඳහා ගෙන ගොස් මාස දෙකකට වැඩි කාලයක් ගත වුවද මේ වන තෙක් ගිලන් රථ අලුත්වැඩියා කර ගෙනැවිත් නොමැත.
අත්තනකඩවල රෝහලේ ගිලන් රථය ද අක්‍රිය වී මාස දෙකකට වැඩි කාලයක් ගත වුවද එම ගිලන් රථය ද අලුත්වැඩියා කර නැවත රෝහලට ගෙනවිත් නොමැති බව ගම්වැසියන් සහ රෝහල් සේවකයින් පවසති.
බකමූණ සහ අත්තනකඩවල යන රොහල්වල ප්‍රතිකාර ලබන හදිසි රෝගීන් පොලොන්නරුව දඹුල්ල යන රෝහල් කරා ගෙන යෑමට දියබෙදුම, ජයන්තිපුර සහ ලග්ගල යන රෝහල් වලින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය විටක විනාඩි 45ක පමණ කාලයක් ගතවන බවද රෝහල් සේවකයින් පවසයි. මෙම රෝහල්වල ඇති ගිලන් රථ ද නිතර නිතර අක්‍රියව ගරාජවල ඇති බවද පෙන්වා දෙන රෝහල් සේවකයින් වරින් වර පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ බලධාරීන්
දැනුවත් කළ ද එම පැමිණිළි බීරි අලින්ට වීණා ගයන්නා වගේ යැයි රෝහල් සේවකයින් පවසයි.
බකමූණ, අත්තනකඩවල රෝහල්වල ගිලන් රථ පිළිබඳ පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාජ් කුමාර මහතාගෙන් විමසූවිට පැවසුවේ, මෙම ගිලන් රථ තුනම පොළොන්නරුව නව නගරයේ ගරාජයක ඇති බවද රෝහල්වලට එවීමට කටයුතු කරන බවයි.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර