මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ (03දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අදහස් කරන බැවින් ඒ සඳහා කල්දෙන ලෙස ඉල්ලා සිටියාය. එම කරුණු දැක්වීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධිචෝදනා සංශෝධනය සඳහා සහ පැමිණිල්ලේ සාක්ෂි විභාගය සඳහා ලබන අගෝස්තු 29දා දක්වා නඩුව කල් තැබුවේය.
2014 වසරේ අගෝස්තු මස 01 වැනිදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වැනිදා අතර කාලසීමාව තුළදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූකේ’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹ වූ බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවට ද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබේ.
එමඟින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත. මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 17 දෙනකු නම් කර ඇත. විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාණ්ඩ ලේඛනයක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්නට අමතරව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ යන තැනැත්තන් විත්තිකරුවන් ලෙස නම්කර ඇත. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටින ලදී.
පැමිණිල්ලේ 1 හා 2 වැනි සාක්ෂිකරුවන් වන ධීවර අමාත්‍යාංශයේ නීතිඥවරු වන නයනා කුමාරී කරුණාරත්න සහ පාලිත ගුණසේකර යන මහත්ම මහත්මීන්ගේ සාක්ෂි මේ වනවිට විමසා අවසන්ව ඇත. පැමිණිලි පාර්ශ්වයේ 3 වැනි සාක්ෂිකරු වන එම අමාත්‍යාංශයේ නීතිඥ ලියනගේ ජයන්ත ලබන අගෝස්තු 29දා සාක්ෂි දීමට නියමිතය.
ඒ. ජේ. ඒ. අබේනායක