විදේශ රැකියා නියෝජිතායතන සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සැලැසුම්සහගත කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය බරපතළ ලෙස කඩා වැටී ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් මොහමඩ් ෆාරුක් මොහමඩ් අර්ශාඩ් පැවැසුවේ පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 20%කට ආසන්න අගයකින් පහළ ගොස් ඇති බවයි. මෙය රටේ විදේශ විනිමය ආදායමට බරපතළ බලපෑමක් ඇති කරනු ඇතැයි ඔහු පැවැසුවේය.
“සමාජ ක්‍රියාකාරීන් යැයි කියාගන්නා පිරිසක් විදේශ රැකියා ක්ෂේත්‍රය බිඳ දැමීමට කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරුන්ට විවිධ බාහිර පාර්ශ්වවලින් විශාල වශයෙන් මුදල් ලැබෙන බවට තොරතුරු තිබෙනවා.
රැකියාවක් සඳහා විදේශගත වීම පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමීම සඳහා ඔවුන් ගෙන යන වැඩපිළිවෙල කුමන්ත්‍රණයක් බව ඉතාමත් පැහැදිලියි. මෑතකදී එවැනි කණ්ඩායමක් පැමිණ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා. එයද විදේශ රැකියා ක්ෂේත්‍රයට හානි කිරීමේ එක් උත්සාහයක්.
යම් මූල්‍ය අක්‍රමිකතාවක් හෝ වෙනත් වරදක් සිදු කර ඇති ඕනෑම විදේශ රැකියා නියෝජිතායතනයකට, පුද්ගලයකුට, නිලධාරියකුට එරෙහිව අදාළ ක්‍රිමයාමාර්ග ගැනීම සඳහා අපේ සංගමය පූර්ණ සහයෝය දෙනවා. එහිදී අවශ්‍ය පියවර ගැනීම සඳහා පිළිගත් සහ විධිමත් යාන්ත්‍රණයක් තිබෙනවා. කවුරුහරි වරදක් කරලා තිබෙනවා නම් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියක් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි ආයතන වෙත ගොස් පැමිණිලි කරන්නට පුළුවන්. වසර 45කටත් වැඩි කාලයක් ඒ කටයුතු සිදු වුණේ ඒ ආකාරයටයි.
අදාළ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන්ට ක්ෂේත්‍රයට හානි කිරීමට ඉඩ දෙන්නේ නම් 2022දී රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයට සමාන තත්ත්වයක් නැවතත් රට තුළ ඇති වේවි. වසරකට 300,000කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යොමු වෙනවා. ඔවුන් වාර්ෂිකව ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් රටට එවනවා. මේ ක්ෂේත්‍රය බිඳ වැටුණොත් ඉන් රටට වෙන්නේ හානියක්.”
ප්‍රභාත් විතාන