ලොව පුරා බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමිවූයේ අද වන් ඇසළ පුන් පොහෝ දිනක ය. සිදුහත් කුමරා මව්කුස පිළිසිඳ ගැනීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුන් පසළොස්වක පොහොය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයකි.
කාලය, දීපය, දේශය, කුලය, මව ආදී පස්මහ බැලුම් බැලීමෙන් පසුව මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමේ අසිරිමත් තෝරා ගැනීම සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනකය. ඒ අනුව ඇසළ පෝය දිනයේදී මහමායා දේවිය සිහිනයක් දුටුවාය. සුදු ඇත් පැටවෙක් සුදු නෙළුම් මලක් හොඬින් රැගෙන සිරි යහන වටා පැදකුණු කර දකුණු ඇළයෙන් ගැබට ඇතුළු වන සිහිනයයි. මේ සිහිනය පසුදින රජතුමා විසින් විමසා බැලුවා. එහිදී අසිරිමත් පුත් කුමරුගේ බිහිවීම පූර්ණ ලක්ෂණයක් බව සිහින විචාරකයෝ සඳහන් කළේය.
මේ අනුව සිදුහත් කුමරා මව්කුස පිළිසිඳ ගත් දිනය ලෙස ඇසළ පෝය බෞද්ධ ප්‍රජාවගේ ගරු බුහුමනට හේතු වී තිබේ.
සිදුහත් කුමාරයා ගිහිගෙය හැර පියා මහණදම් පිරීම සඳහා පිටත්වීමට තෝරා ගත්තේද ඇසළ පොහෝ දිනයයි. බුද්ධ චරිතය විමසන විට ගිහිගෙය හැරයෑම නව බලාපොරොත්තුවකි. එයද ඉතා දුෂ්කර වෙන්වීමක් වන්නේ සිය කුළුඳුල් පුතණුවන් වූ රාහුල කුමාරයා හැර දමා සිදුහත් කුමරු වෙන්වීමට තිරණය කිරීමයි. මේ අනුව ඇසළ පෝය දිනයේ පෝය සඳ එළියේ කන්ථක අසුපිට චන්න ඇමති සමඟ ගිහිගෙය හැර යන්නේ නේරංජනා ගංතෙර තරණය කිරීමෙනි. එම ඓතිහාසික ගමන ලෝකවාසී බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමිකර දීමේ උදාර පියවර තැබීමට හැකි වූයේ ඇසළ පොහෝ දිනකය. එම නිසා අභිනිෂ්ක්‍රමණය කළ පෝය ලෙස බෞද්ධ ප්‍රජාව ගෞරවයෙන් පිදුම් ලබන පොහොය වන්නේ ඇසළ පොහෝ දිනයයි.
බුදුරජාණන් වහන්සේ කෘතවේදී ගුණය ප්‍රදර්ශනය කළ පෝය ලෙස ඇසළ පුන් පොහෝ දිනය හැඳින්විය හැකිය. සිද්ධාර්ථ තවුසා තපස් දම් රකින අවධියේ තමන්ට ගුරු වූ ආලාරකාලාම, උද්දකරාම, භග්ගව යන මුල් ගුරුවරුන් හෝ ධ්‍යානලාභීන් පිළිබඳව විමසා බැලීය. බුදුරදුන් එවිට ඒ සියලු ගුරුවරුන් මියගොස් ඇති බව හඳුනා ගත්තා. පසුව තමන්ට උදව් කළ ජීවමාන පිරිස කවුරුන්දැයි නුවණින් විමසා බැලීය. මේ අනුව පස්වග මහණුන් සිටින බව හඳුනා ගත්හ. ඒ අනුව තමන්ට බුද්ධත්වය ලබා ගැනීමට උදව් උපකාර කළ සියලු ගුරුවරුන්හට පෙරළා කෘතවේදිත්වය පළකිරීම බුදුරජාණන් වහන්සේගේ කෘතවේදීත්වයේ උතුම් ගුණයකි. මෙය වර්තමාන සමාජයට මහත් ආදර්ශයක් දෙන කරුණකි. අද වන විට සමාජයේ අසන්නට දකින්නට ලැබෙන බොහෝ අපරාධ අකටයුතුකම් සිදුව තිබෙන්නේ ඔවුන් තුළ දයාව, අනුකම්පාව, කෘතවේදීත්වය, අනෙකාට ගරු නොකිරීම ආදී හේතූන් නිසාය. එමනිසා බුද්ධ චරිතයෙන් ලබාදුන් මහඟු ආදර්ශ අප සමාජයේ මිනිසුන් විසින් අනුගමනය කරන්නේ නම් යහපත් සාරධර්ම ගුණ ධර්මපිරි සමාජයක් බිහිකරලීමට හැකිවනවා.
මේ අනුව බුදුරජාණන් වහන්සේ තමන්ට උදව් උපකාර සිදුකළ පස්වග මහණුන් හට ධර්මය දේශනා කිරීම සිදුවන්නේ ද ඇසළ පුන් පසළොස්වක පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේ ඉසිපතනයේ මිගදායේ දී පස්වග තවුසන් අරබයා පළමු ධර්ම දේශනාව සිදු කළහ. මෙහිදී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේය. ඒ අනුව මධ්‍යම ප්‍රතිපදාවට පිවිසීමෙන් විමුක්තිය උදාකර ගත හැකි බව පෙන්වා දුන්නා. බෞද්ධ දර්ශනයේ ආත්මය වන මැදුම් පිළිවෙත පිළිබඳව පළමු වරට ධර්මය වටහා දුන්නේ ඇසළ පුන් පොහෝ දිනකය. මෙම ධර්මය අවබෝධ කරගත් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් පලයට පත් වූයේද අද වන් පොහෝ දිනකය. එසේම බුද්ධ ශාසනයේ පළමු මාර්ග ඵල ලාභියා වන්නේ කොණ්ඩඤ්ඤ තවුසා වීමද විශේෂත්වයකි
‘චරථ භික්ඛවේ චාරිකං’ යනුවෙන් දේශනා කිරීම නිසා භික්ෂූන් වහන්සේලාද ගම් දනව් සැරිසරමින් ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළාය. ඇසළ මාසයෙන් පසුව එළඹෙන්නේ වස්සාන ඍතුවයි. මේ නිසා ධර්ම ප්‍රචාරය නිරත වන භික්ෂූන් වහන්සේලා වැස්සට ගොදුරු වෙමින් නොයෙක් පීඩාවන්ට ලක්වුණා. මේ අනුව ඇසළ මාසය උදාවන විට වස් වැසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළහ. ඒ අනුව ඇසළ පෝය පදනම් කරගෙන පෙර වස් එළඹීම සිදුවීම ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.
තීර්ථකයන්ගේ මානය බිඳීම සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. තීර්ථක ප්‍රජාව මාන්නාධිකය. ඒ නිසා බුද්ධත්වය හෝ භික්ෂූත්වය පිළිගත්තේ නැත. ඔවුන් පිළිනොගත්තා පමණක් නොව සිය මාන්නය නිසා බුද්ධත්වයට අභියෝගද කළාය. එම අභියෝගයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු සැපයූවේ යමාමහ පෙළහර පාමිනි. ඒ තුළින් තීර්ථකයන්ගේ මානය බිඳී ඔවුන් යහමඟට පිවිසියේද අද වන් ඇසළ පුන් පොහෝ දිනකය.
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවන විට ධර්ම සංගායනාව සිදුකර ශාසනය ශෝධනය කළ යුතු බවට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මහ රහතන් වහන්සේලා තීන්දු කළහ. මේ සඳහා අජාසත්ත රජතුමාගේ පූර්ණ දායකත්වයෙන් පැවති පළමු ධර්ම සංගායනාව ද ඇසළ පොහෝ දිනක සිදු කිරීම ශාසනික වශයෙන් වැදගත් සුවිශේෂී කරුණකි.
ඇසළ පෝය ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවට සුවිශේෂී වන පොහෝ දිනයකි. පොසොන් පොහෝදා මිහිඳු මහ හිමියන් ලක්දිවට වැඩම වීමෙන් පසුව මෙරට භික්ෂු ශාසනය ආරම්භ වූ බව මහාවංශයේ සඳහන් වෙයි. මේ අනුව අරිට්ඨ ඇමැති ඇතුළු සිංහල තරුණයන් 56 දෙනකු මහණ වූයේ ද ඇසළ පුන් පොහෝ දිනකය.
එසේම බු.ව 382 දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මුල්ගල තැබීම සිදුකර ඇත්තේ ද ඇසළ පොහෝදාට යෙදුන සුභ නැකතකින් බවද මහාවංශයේ සඳහන් වෙයි.
බුදුන් වහන්සේ දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කරන ලද්දේ ද අද වන් පොහෝ දිනකය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් තායිලන්තයෙන් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසළ පොහෝ දිනයකය.
දේවානම්පියතිස්ස රජු අරිට්ඨ කුමාරයා ඇතුළු පිරිසක් ධර්මාශෝක රජු වෙත යවා මෙරටට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව වැඩමවන ලෙස ආරාධනා කළේ ද අදවන් ඇසළ පුන් පොහෝ දිනක වීමද ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට සුවිශේෂී වෙයි.
හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දළදා වහන්සේ මෙරටට වැඩම කරවන්නේද ඇසළ පුන් පොහෝ දිනකය. එමනිසා ඇසළ පොහොය මුල්කර ගනිමින් දළදා පෙරහර වතාවත් සිදු කිරීමද ආරම්භ වුණා. මේ නිසා මහනුවර දළදා පෙරහැර සාම්ප්‍රදායිකව වාර්ෂිකව සිදු කරනු ලබනවා. මේ හේතුවෙන් ඇසළ පෝය පදනම් කරගෙන ලංකාව පුරා පෙරහැර සාම්ප්‍රදායක් ගොඩනැඟී තිබේ.
මෙලෙස බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව වශයෙන් අපිට සුවිශේෂී වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ජාතියක් ලෙස එම දේශනා කළ දහමට අනුව අප ජීවිත හැඩගස්වා ගත යුතුයි. බුදුන් වහන්සේ දේශනා කළ දුන් චතුරාර්ය සත්‍යය බෞද්ධයන් ලෙස අප අවබෝධ කරගත යුතුව තිබේ.
අද සමාජය දෙස බලන විට ගුණදහම්, ගුණකරුක වියැකී යන අවස්ථා දක්නට ලැබේ. මුදල් මත පදනම්ව බොහෝ දෙනා දියුණුව සතුට සොයා යනු ලබයි. මේ නිසා තම බලය ධනය වැඩිකර ගැනීම සඳහා නොයෙක් අපරාධ, සොරකම්, පුද්ගල ඝාතන සිදු කිරීම වර්තමානයේ සමාජය තුළ දක්නට ලැබේ. මේ තුළ පදනම්ව පුද්ගලයකුගේ සතුට හෝ දියුණුව නොපවතී. බුදු දහම පුද්ගලයකුගේ සතුටත් දියුණුවත් පිළිබඳව මනාව දේශනා කර තිබේ. ඒ තුළ පමණක් පුද්ගලයකුගේ සතුටත් සැනසීමත් පවතී. එනිසා උතුම් දහමට අනුව අපගේ ජීවිතය හැඩගස්වා ගනිමින් යහපත් සාරධර්ම, ගුණධර්ම පිරි සමාජයක් අනාගත දරු පරපුරට දායාද කිරීමට මෙවන් වූ උතුම් පොහෝ දිනක අරමුණු කරගත යුතුයි.

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි