මේ කතාව ශ්‍රී ලංකාවේ දූෂණ වංචා චෝදනා ඉතිහාසය තුළ සැඟව ගිය අපූරු කතාවකි. කතාව කියැවීමෙන් පසු ඔබ හැකි නම් පූර්වාපර සන්ධි ගලපාගන්න. දූෂණ විරෝධයේත් අපූරු කරුණු ඔබට වැටහේවි.
පසුගිය සතියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ නමුත්, ඔහු අසනීප බව කියමින් වෙනත් දිනයක් ඉල්ලා තිබුණි. ඒ වන විටත් තතු දන්නා සියල්ලෝ දැන සිටියහ, ඒ ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බව. ඒ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සිදු වූ ගනුදෙනුවකට අදාළවයි. මේ වන විටත් ඔහුට එරෙහිව, එකී ආයතනයේම සිදු වූ මෝදර වරායේ සිදුවීමකට අදාළව අධිචෝදනා භාර දී අවසන් ය. ඒ සිදුවීමේ තතු අප මේ සටහනේ ඉදිරියේ සඳහන් කරන්නෙමු. මේ අප කතා කරන්නේ, එම ආයතනයේම වෙනත් සිදුවීමක් ගැනය.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව 1972 දී ස්ථාපිත කරපු ආයතනයකි. ධීවර වරාය ආශ්‍රිත ගුණාත්මක සේවා සැපයීම සහ ධීවර ජනතාව වෙත නවීන යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබාදෙන එක එම ආයතනයේ මූලික වගකීමය.
රාජිත සේනාරත්න ධීවර ඇමැතිවරයා විදියට කටයුතු කළේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදියට හිටපු කාලයේදීය. ඒත්, 2012 දී භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පස්සේ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න අතරතුර මතභේද එක්ක තමයි හිටියේ. 2014 නොවැම්බර් මාසයේදී එවකට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන එක්ක රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුණ කණ්ඩායමේ, මෛත්‍රිපාල සිරිසේන හැරුණාම හිටපු අනෙක් කැබිනට් ඇමැතිවරයා බවට පත් වුණි.
රාජිත සේනාරත්න එයින් පසුව ආපු යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා සහ කැබිනට් මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා විදියට කටයුතු කළේය. ඒ ආණ්ඩුවේ ප්‍රබලයෙක්ද වුණි. ඒ නිසා, රාජපක්ෂ ආණ්ඩුවේ වෙනත් ඇමැතිලා ගැන විමර්ශන කළත්, රාජිතට එරෙහි චෝදනා යහපාලන ආණ්ඩුව කාලයේ විමර්ශන කළේද නැත.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඔහුට එරෙහි චෝදනා විමර්ශනයට ලක්වුණි.
දැන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාව කැඳවූයේ, මේ සංස්ථාවේ හිටපු සභාපතිවරයාව කැඳවූ සිදුවීමකට අදාළවයි. ඔහුව කැඳවීම පිළිබඳවත්, එම විමර්ශනය ගැනත් අල්ලස් කොමිසම නිවේදනය කරලා තිබුණේ මේ විදියට.
“ඉල්ලුම් නොකරන ලද ව්‍යාපෘති යෝජනාවක් (Unsolicited Proposal) ලෙස ධීවර වරායවල වැලි කැණීම් කර එකී වැලි ශුද්ධකර දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන යෑම සඳහා Seo Woo Co.Ltd නැමැති කොරියානු සමාගමක් යොමුකළ ව්‍යාපෘති වාර්තාවක් සම්බන්ධයෙන් නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර අනුමැතිය ලබා දී අවිධිමත්ව ගිවිසුම්ගතව පසුව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ වැලිගොව්වා නමැති කැණීම් යාත්‍රාව ද එකී සමාගමට අවිධිමත් අන්දමට බදු දීම තුළින් රු. 26,230,498.62ක පාඩුවක් සිදු කිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදු කිරීම යන චෝදනාව යටතේ සිදු වන විමර්ශනවලට අදාළව ලංකා වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වශයෙන් කටයුතු කළ උපාලි ලියනගේ යන අය 2025.06.27 වැනි දින පෙ.ව 08.50 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.”

එයින් පසු, රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ජුනි 27 වැනිදා මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී. අත්අඩංගුවට ගත්ත ධීවර වරාය නීතිගත සංස්ථවේ හිටපු සභාපති උපාලි ලියනගේව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ බව කියා තිබුණි.
අප මින් ඉදිරියට ඉදිරිපත් කරන්නේ මේ සිදුවීම් පිළිබඳ මීට අවුරුදු 11කට කලින් සොයාගෙන තිබුණු කරුණු. අල්ලස් කොමිසමේ විමර්ශනයටත් පෙර, විගණකාධිපති දෙපාර්තමේන්තුවම සොයාගෙන තිබුණු කරුණු.
මේ කියන ගනුදෙනුව ගැන 2014 වර්ෂයට අදාළ විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වුණි. ඒ අනුව සංස්ථාවට අයිති වාලච්චේන, හලාවත, කිරින්ද, පානදුර, හම්බන්තොට සහ හික්කඩුව කියන ධීවර වරායවල එකතුවෙන වැලි හාරා ඉවත් කරන කොන්ත්‍රාත්තුවකට 2011 නොවැම්බර් 24 දිනැති තාක්ෂණික ඇගයුම් කමිටුව මගින් පෞද්ගලික ආයතන දෙකකට ලබා දෙන්න නිර්දේශ කර තිබුණේය.
ඒත්, 2011 දෙසැම්බර් 13 සහ 2012 ජනවාරි 09 දිනවල සියලුම ධීවර වරායවල වැලි ඉවත් කිරීමට අනුමැතියක් නැතිව එකම ආයතනයකට කොන්ත්‍රාත්තුව දීලා තිබුණි.
මෙය කර තිබුණේ කාර්යසාධනය ඇගයීම් කරන්නේ නොමැතිවය. මේකෙන් වරායවල වැලි ඉවත් කිරීම ප්‍රමාද වීද තිබුණි. ඒ කාලසීමාව තුළ ධීවර සංස්ථාවට ලැබෙන්න ඕනෑ ආදායමත් අහිමි වී ඇත.
කොහොම නමුත් මේ වැලි පෞද්ගලික ආයතනයකට විකුණා තිබුණේය. ඒකෙන් සංස්ථාවට අය වෙන්නට තිබුණු මුදල් ලබා නොදුන්න බවත් විගණන වාර්තාවේ සඳහන්වී තිබුණි.
මීට අමතරව අදාළ සමාගමට රුපියල් මිලියන 20ක අත්තිකාරමක් 2014 අගෝස්තු 01 වැනිදා ගෙවා තිබුණේය. ඒ වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබාගෙන නොතිබුණේය. මීට අමතරව කෝටි සිය ගණන් වටිනා යන්ත්‍ර සංස්ථාව සතුව තිබියදී, සංස්ථාවට කළ හැකිව තිබුණු කාර්යයක් තමයි අදාළ සමාගමට භාර දී තිබීමද එහි විශේෂත්වය විය. විගණකාධිපතිවරයා පෙන්වා දෙන ආකාරයට, ඊට අමතරව සංස්ථාවට ලැබිය යුතුව තිබුණු අදාළ වරායන්වල තිබුණු වැලි අලෙවි කිරීමෙන් ලැබෙන ලාභයත් අදාළ සමාගමටම ගොස් තිබුණි.
මේ සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මීට කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විදියට හිටපු කාලයේ, මහා පරිමාණ දූෂණ හොයන කොමිසම ඉදිරියේදී සාක්ෂි ලබාදීලා තිබුණේ 2020 වසරේදීය.
ඒ වෙලාවේ, උපාලි ලියනගේ කියා තිබුණේ, රාජිත සේනාරත්න මහතා ධීවර ඇමැති විදියට හිටපු කාලයේදී ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති සහකාරවරිය ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍රව පත් කරන්න උපදෙස් දුන් බවය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ රාජිත සේනාරත්න මහතාගේ මිතුරකුගේ දියණියක් බව සිහිතබාගත යුතුයි.
මීට අමතරව, ධීවර ඇමැති විදියට ඉන්නකොට පත්වීම් ගොඩක් ද තිබුණි. ධීවර වරාය නීතිගත සංස්ථාවට දැඩි හානි යැයි කියමින් උපාලි ලියනගේ ප්‍රකාශ කළේය. ඇත්තටම 2014 අවුරුද්දට අදාළව මේ සංස්ථාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වෙනවා වාර්ෂිකව රුපියල් මිලියන 3ක වැටුප් හා දීමනා ගෙවීම් කරනු ලබන නීතිඥ නිලධාරීන් දෙන්නෙක් ඇතුළු 07 දෙනකු නීති අංශයේ සිටියදී පිටතින් නීති උපදේශක සේවා ලබා ගැනීම සඳහා බාහිර පාර්ශ්වයක් වෙනුවෙන් රුපියල් 1,154,660ක් වැය කරපු බවය.
මීට අමතරව උපාලි ලියනගේ කීවා, කළුතර නගර සභාවේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රුපියල් 15,000 ක වැටුපක් ලබා දෙන ලෙසට ද රාජිත සේනාරත්න තමාට දැනුම් දුන් බවයි.
ඒ ඔක්කොම මැද බරපතලම දෙයක් වන්නේ, උපාලි ලියනගේ කියන විදියට රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ සුජාතා සේනාරත්නට රුපියල් 65,000ක වැටුපක් යටතේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ සම්බන්ධීකරණ තනතුරක් දෙන්න කියලා නියෝග කිරීමය.
මේ අයුරින් 24 දෙනකුට තනතුරු ලබාදෙන්න කියලා තමන්ට උපදෙස් ලැබුණ බව උපාලි ලියනගේ ඒ කොමිසම හමුවේ 2020 දී කීවේය.
මීට අමතරව 2014 අවුරුද්දේ, විගණකාධිපති වාර්තාවේ තිබුණු විදියට බඳවාගැනීමේ පටිපාටිය සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා තිබුණේ නැත. අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා 128 දෙනෙක්ව බඳවාගෙනද තිබුණේය. විගණකාධිපති වාර්තාවේ සඳහන්ව තිබෙන්නේ, සේවකයන් 17 දෙනෙක්ව වෙනත් ආයතනවල සේවයට මුදාහැරලා රුපියල් මිලියන හතක වැටුප් ගෙවමින් පාඩු කරපු බවය.
මීට අමතරව, ‘රේඛීය අමාත්‍යාංශයේ හෝ වෙනත් රජයේ ආයතනවලට අදාළ වූ වියදම් දැරීමට සංස්ථාවට අවසර නොමැති වුවද, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් 440,495ක් වියදම් කරලා තිබෙන’ බවත් එම වාර්තාවෙන් කියැවේ.
ටීෂර්ට් සහ කැප් ගහන්නත් විශාල වියදමක් දරලා තිබුණි. එක් අවස්ථාවක ටීෂර්ට් 1000ක් ගන්න රුපියල් ලක්ෂ හයක් ගෙවලා තියෙන බව වාර්තාවේ ඇත.
මීගමුව ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට, කළපු වෙරළ සංවර්ධනය කිරීම පටන්ගන්න කියමින් උත්සවයක් සැලසුම් කර තිබුණි. උත්සවයට රුපියල් මිලියන 13ක් වියදම් ඇස්තමේන්තු කර එයින් මිලියන පහක් ඇඩ්වාන්ස් එකක් විදියට ගෙවා තිබුණි. ඒත්, ඒ උත්සවය පැවැත්වූවාද නැද්ද යන්න විගණනයට සාක්ෂි ඉදිරිපත් කර නොතිබුණි.
එමෙන්ම මීගමුව කළපුවේ ව්‍යාපෘතිය වෙනුවෙනුත් ටීෂර්ට් 1500ක් සහ කැප් 2000ක් මිලදී අරන් තිබුණේය. ඒ භාණ්ඩ ලැබුණාද කියලා තහවුරු කරගන්නේත් නැතිව පුද්ගලික ආයතනයකට ගෙවීම් කරද තිබුණේය.
ඊට අමතරව මීගමුව කළපු වෙරළ සංවර්ධනය කිරීමේ උත්සවය වෙනුවෙන් සමරු ඵලකයක් ඉදිකිරීමට පෞද්ගලික ආයතනයක් වෙත රුපියල් මිලියන 1.8කට කොන්ත්‍රාත්තුවක් දී තිබුණි. එහි සමරු ඵලකය කළුගලින් අඹපු ලොකු මාළුවෙකි. ඒත්, මිලියන 1.8ක් දීලා හදපු කළුගල් මාළුවාව නිරීක්ෂණය කරන්නට විගණකාධිපති දෙපාර්තමේන්තුව 2014 පෙබරවාරි 16 යද්දී, එතැන තිබුණේ සිමෙන්තිවලින් හදපු මාළුවෙකි.
2014 වර්ෂයේදී ධීවර වරායවල් 21න් 14ක්ම අලාභ ලබා තිබුණේය. අවුරුද්ද පුරා ලබපු අලාභයේ වටිනාකම රුපියල් මිලියන 97කි. රාජිත සේනාරත්න ඇමැතිවරයා කටයුතු කරපු කාලසීමාව තුළ, ඒ කියන්නේ 2010 ඉඳන් 2014 කාලසීමාව තුළ තංගල්ල, දොඩන්දූව, හික්කඩුව, කල්පිටිය සහ හම්බන්තොට කියන වරායන් පහේ අලාභය අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවුණේය.
එහෙත්, ඒ කාලසීමාවේ ලාභ ලබපු වරාය මෝදර වරාය බව විගණකාධිපති වාර්තාවේ තියෙනවා. ඒ කාලසීමවේ ලාභයෙන් සීයට 73ක් පමණ ඉපයූ මෝදර ධීවර වරාය 2014 ඔක්තෝබර් 30 වැනිදා ඉඳන් මාසයකට රුපියල් 125,000කට බදු දීලා තිබුණා. ඒකෙන් සිදු වූ අලාභය රුපියල් මිලියන 7.6ක් බව 2014 වාර්ෂික විගණකාධිපති වාර්තාවේම සඳහන් වෙනවා. මේ වෙද්දී නඩු පවරා තිබෙන්නේ මෝදර වරාය කුණුකොල්ලෙට බදු දීමේ සිදුවීම පිළිබඳයි.
මේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා යටතේ එකල තිබුණු එක් ආයතනයක සිදු වූ සිදුවීම් ගැන වසර 11කට පමණ පෙර හෙළි වූ කරුණු. එහෙත්, ඔහු කැබිනට් ප්‍රකාශකවරයාව සිටි ආණ්ඩුවක් යටතේ ඒවා ගැන සොයනු ඇතැයි විශ්වාස කළ හැක්කේ කෙලෙසද?
ඒ නිසයි, දූෂණ විරෝධයත් ඒ ඒ ආණ්ඩු, ඒ ඒ පාලනයන්හි දේශපාලන වුවමනා හා ගැටගැසී තිබෙන බව අපට කියන්නට සිදු වන්නේ. මේ වෙද්දී හිටපු ඇමැතිවරුන් බොහෝ දෙනකුට පියවර ගැනෙනවා. එහෙත්, වැදගත් වන්නේ බලයේ සිටින ඇමැතිවරුන්ට සහ නායකයන්ටත් එරෙහිව පියවර ගැනීමට හැකි පරිදි ආයතන ස්වාධීන කරවාගැනීමයි.
තරිඳු උඩුවරගෙදර