තවත් කතරගම වන්දනා සමයක් ඇරඹී තිබේ. එහි දී කතරගම දෙව් බැතිය කෙරෙහි ජනතාව පොළඹවන භක්තිවාදී ආකල්ප සහිත බොහෝ දේ මේ කාලය පුරා මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වාර්ෂිකව දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයකි. අද වනවිට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ වේගයෙන් මුල් බැස ගනිමින් පවතින නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය යටතේ ශ්‍රී ලාංකේය ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකගේ නොමඳ ගෞරවාදරයට ලක්ව ඇති කතරගම පුද පිළිවෙත් හා සම්බන්ධ කටයුතු සඳහා “බැතිබර දායකත්වය” දැක්වීම කෙරෙහි ද ව්‍යාපාරික ප්‍රජාව තුළ ඇති මහත් උනන්දුවක් කැපවීමක් තිබෙනු දක්නට ලැබේ.
එහෙත් ,කතරගම ඇසළ උත්සවය නම් වන සමාජමය ප්‍රපංචය තුළින් මතු වන සැබෑ යථාර්ථය තුළ එබඳු සාධනීය තත්ත්වයනට අමතරව අතිශය නිශේධනාත්මක තත්ත්වයන් ද ඉස්මතු වී තිබෙනු දක්නට පුළුවන. නමුත් ඒ සම්බන්ධයෙන් විවෘත මට්ටමින් කරුණු ඉදිරිපත් කිරීම පවා දේව උදහසට ලක්වීමක් සේ පවසන්නෝ ද වෙති. එවන් පසුබිමක් යටතේ වුව මෙවර කතරගම ඇසළ උත්සවය හා සම්බන්ධ ඉතා බරපතළ කරුණක් පිළිබඳ අනාවරණයක් කිරීමට අපට සිදු වී තිබේ. ඒ එම කරුණ සම්බන්ධයෙන් හා කතරගම ප්‍රදේශවල ජීවත් වන සත්ව අහිංසාවාදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයන් වෙතින් ගොනු වන කරුණු පදනම් කරගනිමිනි.
එම අතිශය බරපතළ කරුණ වනුයේ මෙවර කතරගම වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා ඇතැම් කූට වෙළෙඳුන් සපයන ආහාර පාන අතරේ අලෙවි කෙරෙන කුකුළු මස් වෙනුවට මොනර මස් වෑංජන තිබීමට ඇති අවකාශයයි. එම වන්දනා චාරිකා කලාපය සම්බන්ධයෙන් අප වෙත වාර්තා වී ඇති නවතම තොරතුරකට අනුව එලෙස ප්‍රදේශයේ සැරිසරන මොනරුන් මරා කුකුළු මස් ලෙස ඇතැම් භෝජනාගාර හිමියන්ට අලෙවි කිරීමේ පිරිස් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි.
දෙවියන්ගේ වාහනය
එමෙන්ම එහි දී එම මොනර මස් ‘ගම් කුකුළු මස්’යන්න හැඳින්වුම යටතේ වැඩි මිලට අලෙවි කරන බවට ද එම සංසිද්ධිය හා සම්බන්ධ ප්‍රදේශවල තරුණ ප්‍රජාව වෙතින් තොරතුරු ලැබෙමින් තිබේ.
“අපේ මුළු සමාජයම දන්න විදිහට කතරගම දෙවියන්ගේ වාහනය තමයි මොනරා. ඒ හින්දා ඒ සතා කෙරෙහි අනික් බොහෝ සතුන් කෙරෙහි නැති විශේෂ ගෞරවනීය හැඟීමක් අපේ රටේ ජනතාව අතරේ තිබුණා. දකුණු පළාතේ විශේෂයෙන් රුහුණේ ජනතාව තුළ. නමුත් ඒ අතුරින් ඉතාම සුළු පිරිසක් හරි ඇසළ උත්සව සමයට කතරගම එන වන්දනාකරුවන්ට මොනර මස් කවනවා කියන්නේ සමාජමය වශයෙන් අතිශයින්ම බරපතළ දෙයක්” මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර පවසයි.
“ඒ වගේම මෙතැන තවත් විශේෂ දෙයක් තියනවා. 1970 දශකය විතර වෙනකම් කතරගම වන්දනා ගමන්වලදී හුඟ දෙනෙක් කුකුළු මස් වත් ආහාරයට ගන්නේ නෑ. ඒකට හේතුව කතරගම දෙවියන්ගේ කොඩියේ සැවුල් ලාංඡනයක් ඒ කියන්නේ කුකුළකුගේ රූපයක් තිබීම. නමුත් අපේ රටේ විවෘත ආර්ථික ක්‍රමය පැතිර යෑමත් එක්ක කුකුළු ගොවිපළ කර්මාන්තය තරගකාරී මට්ටමින් ව්‍යාප්ත වුණා. සැපයුම් මාර්ග බහුල වුණා. ඒ එක්කම අන් සේරම සත්ව මාංශ අබිබවා කුකුළු මස් අලෙවි වුණා. අන්න ඒ පසුබිම යටතේ තමයි කතරගම වන්දනාකරුවන් අතරේ පවා ‘චිකන් කරිය’ ජනප්‍රිය ආහාරයක් වුණේ. මේ මොනර මස් කතාව ඒකේම දිගුවක් වුණත් ඊට වඩා අතිශයින් බරපතළ තත්ත්වයක් හිටපු මහාචාර්යවරයා පවසයි.
වනසත්ත්ව සංගණනය
ඔහු පවසනුයේ යම් යම් සතුන් සම්බන්ධ ආගමික සංස්කෘතික පුරාවෘත්ත මත එම සතුන්ගේ පැවැත්ම තහවුරු වීමේ සාම්ප්‍රදායික ක්‍රියාවලිය මෙලෙස බිඳ වැටීම සමාජයේ ආධ්‍යාත්මික බව හා සබැඳුණු සදාචාරාතමක පසු බැසීම කදිමට නිරූපණය කරන්නක් බව ය.
මේ අතර මොනරුන් සහ දඬු ලේනුන් ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් වගා බිම්වලට සිදුවන හානිය ද ඉහළ ගොස් ඇති බැවින් මොනරා සහ දඬු ලේනා ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ගැනීම සම්බන්ධව රජයේ කෘෂිකර්ම අංශවල අවධානය යොමු වී ඇති බවක් පැවසෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගා බිම්, ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පසුගියදා සිදු කරන ලද බෝග වගාවන්ට හානි කරන වනසතුන් සම්බන්ධ සංගණනයේදී මොනරුන් මිලියන 4.24 ක්ද, දඬු ලේනුන් මිලියන 2.66 ක්ද සිටින බව අනාවරණය වී ඇත. එහෙත් හුදෙක් දේශපාලනික කටයුත්තක් සේ දියත් කෙරුණු එය මුළුමනින් විකෘති හා සාවද්‍ය ප්‍රතිඵල සහිත එකක් වුව එම ප්‍රතිඵල රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත් වීම මත එම සත්ව ගහනයන් සම්බන්ධ වැරදි තක්සේරුවක් සමාජ ගත වී තිබේ. එම වාර්තාවට අනුව දඬු ලේනා සහ මොනරුන් වැඩිම ගහනයක් වාර්තාවී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම කොට්ඨාසයෙන් දඬු ලේනුන් 48,748ක්ද, මොනරුන් 102,091ක්ද වාර්තා වී තිබේ. කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවී ඇති මොනරුන් සංඛ්‍යාව 12,759 කි. නමුදු සත්ව ගණනයන් සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශන ක්‍රමවේදයන් අනුව බලනවිට රාජ්‍ය අංශයේ “මොන්ටිසෝරි වැඩක්”සේ එම කාරිය ද කතරගම හා ඒ අවට මොනරුන්ට මර උගුලක් බවට පත්ව තිබේ.
කතරගම පුදබිම කේන්ද්‍ර කර ගත් මෙම කූට ජාවාරම් කාර සංස්කෘතිය මොනර මසින් පමණක් ඇරඹෙන්නක් නොවේ. කතරගම වන්දනා සමයට එහි පැමිණෙන බැතිමතුන්ට දඩ මස් මුවාවෙන් බලු මස් විකිණීම මේ වනවිට ජාතික මට්ටමින් ප්‍රසිද්ධියට පත් රහසකි. ඒ සම්බන්ධයෙන් අපි 2019 ජූලි 15 ඉරිදා ජාතික පුවත් පතක් මගින් ද අදාළ සාක්ෂි ද සමග ගවේෂණාත්මක අනාවරණයක් කළෙමු.
ජාවාරමේ හවුල්කරුවන්
මිනිසුන් ආහාරයට ගන්නා සත්ත්ව මාංශ වෙනුවට හෝ ඒ මාංශ සමග මුසු කොට සුනඛ මස් අලෙවි කිරීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු ගත වූ කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කනින් කොනින් ඇසෙමින් තිබිණි. නමුත් ගත වූ දශකය තුළ එම ජාවාරම මහා පරිමාණයෙන් සිදුවන බවට මුල්වරට අනාවරණය වූයේ කතරගම පුදබිම ආසන්නව ය. කතරගම පූජා නගරය ආශ්‍රිතව ආප්ප විකිණූ භාරතීය වීර කාව්‍යයක කතානායිකාවකගේ නමක් සහිත කාන්තාවක විසින් රහසේ අලෙවි කරමින් සිටි දඩ මස් සැබෑ දඩමස් නොව, සුනඛ මස් බව මුල්වරට අනාවරණය වූයේ මීට වසර කිහිපයකට ඉහත එම කාන්තාව සතු දඩ මස් පරීක්ෂාවට ලක් කිරීමේදී ය. අවසානයේ එය ඇය ද නොදැනුවත්වම කළ අලෙවියක් බවත්, ඇගේ දඩ මස් සැපයුම්කරු ඇය ද රවටා දඩ මස් වෙනුවට සුනඛ මස් ලබා දී ඇති බවත් අනාවරණය විය. ඒ කෙසේ හෝ පිට පළාතකින් ගොස් කතරගම රාජ්‍ය ආයතනයක සේවය කළ තරුණියක විසින් 2016 වසරේ දෙන ලද හෝඩුවාවකට අනුව කතරගම බලා ගිය අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානයේ නියෝජිත පිරිසකට කතරගම සිදුවෙමින් තිබූ එම සුනඛ මස් ජාවාරම පිළිබඳ තොරතුරු රැසක් මුල්වරට අනාවරණය කරගත හැකි විය.
සෙල්ල කතරගම, වතුරුවාරුම පාර අද්දර වනගත ස්ථානයක තිබී සුනඛ හිස් සහිත පොහොර උරයක් ප්‍රදේශවාසීන්ට නිරීක්ෂණය වීම, කතරගම කොච්චිපොතාන ප්‍රදේශයේ අධිශීතකරණයක මුවකුගේ කුර ආදී කොටස් ප්‍රදර්ශනය කෙරෙමින් කිලෝව රුපියල් දහස සිට එක්දහස් පන්සීය දක්වා මිල ගණන් යටතේ සුනඛ මස් අලෙවි කිරීම ද එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අතරේ තිබිණි. ඒ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ පවසා සිටියේ කතරගම පැමිණෙන ඇතැම් පුද්ගලයන් නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් පමණක් නොව, වැසිකිළි පවිත්‍රකරුවන්ගෙන් පවා දඩ මස් පිළිබඳව විමසා සිටින පසුබිමක නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන්හි යෙදෙන කිහිපදෙනකු මෙම ජාවාරම වෙත යොමුව ඇති බවයි. කතරගම දේවාල භූමියේ සිට කිරිවෙහෙර තෙක් වැටී ගත් මාවත අද්දර සිදුවන මල් වෙළෙඳාමේ සිට කතරගම පුදබිම පදනම් කරගනිමින් සංවර්ධනය වී ඇති ජීවන වෘත්තීන් කිහිපයකි. අද වනවිට ඒවා අතුරින් තැරැව්කාර වෘත්තිය ශීඝ්‍රයෙන් ඉහළ නැංවී ඇති අතර පූජා වට්ටිය සකස් කරදීමේ, නවාතැන් පහසුව සලසා දීමේ සිට කතරගම පැමිණෙන බැතිමතුන්ගේ සියලු යහපත්, අයහපත් අවශ්‍යතා ඉටුකර දීම මෙම තැරැව්කරුවන්ගේ රාජකාරිය වී තිබේ. එහිදී කතරගමට පැමිණෙන්නවුන් සඳහා දඩ මස්, මත්පැන් සේම අභිසාරිකාවන් සපයා දීමට ද මෙම ඇතැම් තැරැව්කරුවෝ පසුබට නොවෙති. එවැනි ක්‍රියාශීලී තැරැව්කරුවන්ට වන්දනාකරුවන්ගෙන් සැලකිය යුතු සන්තෝසමක් ලැබෙන අතර, ඔවුන්ගේ කටයුතුවලට සම්බන්ධ අනෙක් පාර්ශ්වයන්ගෙන් කොමිස් මුදලක්ද ලැබේ.
කපුවගේ ලැගුම් ගෙයි අධිශීතකරණයක මුව මස් කිලෝ විස්සක්
2018 වසරේ අප්‍රේල් 03දා රාත්‍රි 10.40ට ලුණුගම්වෙහෙර, තණමල්විල, කිතුල්කොටේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කතරගම පූජා භූමිය තුළ පිහිටි කඩවර දේවාලයේ කපුවාගේ ලැගුම් ගෙය තුළ අධිශීතකරණයක තිබී මුව මස් කිලෝ විස්සක් සමග මුවකුගේ හිසක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. එමෙන්ම ඒ මොහොතේ එම කපුවා අධික ලෙස බීමත්ව සිටි බවද පැවසෙන අතර ඔහු ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ දේව පූජාවක් සඳහා එම දඩ මස් තොගය තබාගත් බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් හම්බන්තොට උදයංගනී රාජපක්ෂ මහේස්ත්‍රාත්වරිය හමුවට පත් කළ කපුවා වරද පිළිගත් බැවින් ඔහුට රුපියල් විසි දහසක දඩයක් නියම කරන ලදී. අවසානයේ හෙළි වූයේ එසේ මස්කරන ලද මුවා ද පුදබිම සමීපයේ සැරිසැරූ ජනතාවට හීලෑ වූවකු බව ය. එමෙන්ම මුවා යනු කතරගම දෙවියන්ගේ ප්‍රියංභිකාව වන වල්ලි අම්මා දෙවඟනගේ වාහනය ලෙස ද සැලකේ. මේ අතර ඉකුත් 2014 සැප්තැම්බර් 23 වැනි දා හම්බන්තොට බඳගිරිය තම්මැන්නාව වැව් රක්ෂිතයේ තිබී වනජීවී නිලධාරීන්ට හමුවූ සින්තටික් කවරයක මුවකුගේ ශරීර කොටස් හා සුනඛයකුගේ ශරීර කොටස් ද තිබෙනු නිරීක්ෂණය වී තිබේ.
එවන් තත්ත්වයක් යටතේ කතරගම බැතිමතුන්ට එදා බලු මස් වෙනුවට දඩ මස් අද කුකුළු මස් වෙනුවට මොනර මස් අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳ නොයෙකුත් තොරතුරු මේ වනවිටත් අනාවරණය වෙමින් පවතින අතර ඒම ඛේදනීය තත්ත්වය වළකාලමින් කතරගම වන්දනාව මෙතරම් ජරා ජීර්ණ තත්ත්වයට පත් නොකිරීමේ පූර්ණ වගකීම ඔබ සතු ය.
තිලක් සේනාසිංහ