අල්ලස් කොමිසමෙන් කෙසෙල්වත්ත පොලිසියෙන් වෙන වෙනම නඩු 2ක්
සිංහල හරි හැටි බැරි ඇය කිව්වේ ‘උඹලා මරනවා නොව මම මැරෙනවා’ කියලයි
විත්තියේ නීතිඥවරු
පසුගිය 4 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදීම සිය මවට එරෙහිව ගොනු කර තිබූ නඩුව මෙහෙයවූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මියට මරණීය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛiවරියක වන මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි අනීත්ත්‍රා විජේරත්න නමැත්තිය හෙට (09දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (07දා) නියෝග කළාය.
එකී තර්ජනය සිදුකළේ යැයි කියන දිනයට අදාළව අධිකරණ පරිශ්‍රයේ සවිකර ඇති සීසීටීවී කැමරාවල දර්ශන ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට කෙසෙල්වත්ත පොලිසය කළ ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය නිකුත් කළාය. ඇයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් පනතේ 125 වගන්තියේ 2 වන උප වගන්තිය අනුව එක් නඩුවක් ගොනුකර තිබූ අතර ලැබුණු පැමිණිලි ඔස්සේ විමර්ශනය කළ කෙසෙල්වත්ත පොලිසියද වෙනම නඩුවක් පවරා තිබිණි.
21 හැවිරිදි සිය සේවාදායිකාව විදේශ රටක (ඇමරිකාවේ) උසස් අධ්‍යාපනය ලබන අයකු බවත් සිංහල භාෂාව නිසිලෙස කතා කිරීමට නොහැකි තැනැත්කියක වන ඇය පවසා ඇත්තේ “උඹලා මරනවා” කියා නොව “මම මැරෙනවා” කියා වන්නේ යැයි එම නඩු දෙක කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.
කෙසේ නමුත් සීසීටීවී දර්ශන ලබාගෙන සිදුකරන විමර්ශන අවසන් වනතෙක් සැකකාරියට ඇප ලබාදීම නුසුදුසු බවට නිගමනය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම රක්ෂිත නියෝගය නිකුත් කළාය.
නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ උදෑසන කෙසෙල්වත්ත පොලිසියට භාරවූ එම සැකකාරියගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් කෙසෙල්වත්ත පොලිසිය ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. ඇයට සිංහල භාෂාව නිවැරදිව කතා කිරීමට නොහැකි බව විත්තියේ නීතිඥවරුන් අධිකරණයට පැවැසීමෙන් අනතුරුව එකී නීතිඥවරුන් ඇමැතූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය උඹලා මරනවා යැයි පැවැසීමත් මම මැරෙනවා යැයි පැවැසීමත් අතර වෙනස් අර්ථයක් නොමැති දැයි විමසා සිටියේය.
ඒ.ජේ.ඒ. අබේනායක