මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඇහැලේපොළ වලව්වේ ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි පිළි රූ කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 17දා ජනගත කෙරේ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ මූලික සංකල්පය, නායකත්වය සහ මෙහෙයුම මත මෙම ඉටි පිළි රූ කෞතුකාගාරය ඉදිකර ඇත.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජ්‍ය පාලන සමයේ මහාධිකාරම් තනතුර දැරූ ඇහැලේපොළ අධිකාරම් සහ ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දූ දරු පිරිස විසූ ඇහැලේපොළ වලව්වේ තොරතුරු ද සහිතව මෙම කෞතුකාගාරය ඉදිකර තිබේ. 1592 සිට 1815 දක්වා වූ කන්ද උඩරට ඉතිහාසයේ රජවරු, සියම් දේශයෙන් මෙරට උපසම්පදාව ගෙනෙන ලද ප්‍රවර උපාලි හිමියෝ, මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහා නායක ස්වාමීන් වහන්සේලා, වැලිවිටියේ සරණංකර සංඝරාජ හිමි ඇතුළුව කන්දඋඩරට සිවිල් පරිපාලනය, ඉංග්‍රීසි පාලන සමයේ චරිත ඇතුළු ඉතිහාසය නියෝජනය කරන චරිත තිස් හයකින් සමන්විත ඉටි පිළි රූ නිර්මාණය කොට ඇති මෙම කෞතුකාගාරය මාස දාසයක් වැනි කෙටි කලකින් නිර්මාණය වූවක් බව ඇහැලේපොළ වලව්ව ඉටි පිළි රූ කෞතුකාගාරයේ ව්‍යාපෘති භාර මෙහෙයුම් ප්‍රධානී දීගායු අභයනායක මහතා පැවසීය.
දියවඩන නිළමේ නිලංග දෑල මහතාගේ මූලික සංකල්පයක් මත අදාළ ව්‍යාපෘතිය අතිරේක ජනාධිපති ලේකම් (විශ්‍රාමික) රෝහණ කීර්ති දිසානායක, හිටපු මධ්‍යම පළාත් පුරාවිද්‍යා කොමසාරිස් බී.එම්.ජේ.බී. දිසානායක යන මහත්වරුන්ගේ සහ මධ්‍යම පළාත් බෞද්ධ කොමසාරිස්වරයාගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූවකි. මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥ මහාචාර්ය රෝහිත දිසානායක, සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය (විශ්‍රාමික) එච්.එම්.ඩී.ආර්. හේරත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය අනුර මනතුංග යන මහත්වරුන්ගේ පර්යේෂණාත්මක දත්ත සහ පාරම්පරික තොරතුරු මත මෙම කෞතුකාගාරය නිර්මාණය කොට ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විරාජණී කරුණාරත්න, මහාචාර්ය ගයත්‍රී රණතුංග, ආචාර්ය ප්‍රබෝධ මුණසිංහ යන මහත්ම මහත්මීන්ගේ පාරම්පරික ඇඳුම් පිළිබඳව දත්ත විශ්ලේෂණයෙන් හා ඉතිහාසය සහ පුරාවිද්‍යා ගවේශක චාමිකර පිලපිටිය මහතාගේ ගවේෂණාත්මක දත්ත සැපයීම ඔස්සේද මේ සඳහා තොරතුරු ඒකරාශී කොට ඇත. ඔවුන්ගේ අධීක්ෂණය සහ ඉපැරණි රාජකීය ජීවදත්ත තොරතුරු සැපයීම මත ඉටි පිළි රූ නිර්මාණය කොට ඇත්තේ ස්වකීය දක්ෂතා මත නිර්මාණකරණයේ නියැළී සිටින නිර්මාණකරුවකු වන ගම්පොළ අතුල හේරත් මහතා විසිනි.
කෞතුකාගාර පරිශ්‍රයේ ඉටි පිළි රු කෞතුකාගාරයට මූලිකත්වයක් හිමිවන අතර පැරණි දේශීය ආහාර සම්ප්‍රදායන් රකිමින් රජු වළඳන ලද ආහාරවලට සමාන රාජකීය භෝජන ප්‍රතිනිර්මාණය කරමින් පැරණි ආහාර වට්ටෝරු සහිත භෝජනාගාරයක් ද, දේශීය කර්මාන්තකරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය සඳහා ඉදිකරන ලද අලෙවිසලක්ද, ශාස්ත්‍රීය කටයුතු ගෞරවාන්විත මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා මැද මිදුලක් ද මෙහි ඉදි කර ඇත.
පත පොතෙන් ඉස්මතු වූ ඉතිහාස දැනුමට වඩා ඒ ඔස්සේ නිර්මාණය වූ චිත්ත රූප නිර්මාණයක් ලෙස මෙම ඉටි පිළි රූ නිර්මාණය වී ඇති බවද, මෙය දළදා මාලිගාව ඔස්සේ සමාජගත විය යුතු ජාතික යුතුකමක් කොට සලකා බුදු දහමට අධ්‍යාපනයට ඉතිහාසයට හා සංස්කෘතියට ඉටු කළ අනර්ඝ සේවාවක් යුතුකමක් වගකීමක් ලෙස තමන් සලකන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා කියා සිටියේය.
සමන්ති වීරසේකර