ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම තුළ 2010 සිට 2025 දක්වා කාලසීමාවේ සිදුවී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇති අතර මේ සමාගම වර්තමාන තත්ත්වයට පත්වීම සඳහා බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදුවී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගැයීමක් සිදු කළ යුතුව තිබේ. එසේම ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ කටයුතු පිළීබඳව විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් විසින් රජයේ අවධානයට යොමු කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වය සැපයුවද එය පවත්වා ගෙන යෑම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති බව ද ජනාධිපතිවරයා සිය කැබිනට් පත්‍රිකාව මගින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත