ජනපති පත් කළ කමිටුව හෙළි කර ඇතැයි ඇමැති නලින්ද කියයි
රේගු පරික්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුව විසින් මීට පෙර අවස්ථා 14කදී කන්ටේනර් 1000ක් පමණ රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවට අනාවරණය කර ඇතැයි ජනමාධ්‍ය ඇමැති හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ කන්ටේනර් නිදහස් කිරිම් නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් හෝ රජයට යම් මූල්‍යමය පාඩුවක් සිදු වූවා ද යන්න සොයා බැලීම සඳහා විගණනයක් කළ යුතු බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේය.
එම විගණනයෙන් පසු ඊට අදාළව වගකිව යුතු නිලධාරීන් සිටින්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම කමිටුව නිර්දේශ කර ඇති බව ද ඇමැති නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිලධාරීන් පස්දෙනකුගෙන් යුක්තව මේ කමිටුව පත්කර තිබූ අතර එහි සභාපති ලෙස නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා කටයුතු කළේය.
මේ කමිටුව මගින් ලබාදී ඇති වාර්තාව මගින් මේ කන්ටේනර් 323 නිදහස් කිරීමේ සිදුවීම ගැන මෙන්ම මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් ද නිර්දේශ ලබාදී තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත