ඌරගහ හිටපු ඕඅයිසීට හා ක්‍රයිම් ඕඅයිසීට ලක්‍ෂ 10 බැගින් වන්දි ගෙවීමට නියෝග සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුට කෲර වධ හිංසා සිදුකිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ ඌරගස්මන්හංදිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ 10 බැගින් එකී තරුණයාට වන්දි ගෙවන ලෙසට නියෝග කළේය.
මාස හයක කාලයක් ඇතුළත එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවට ද එමගින් නියෝග කළ එස්. තුරෙයිරාජා, දිලිප් නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල, එකී පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය පියවර ගැනීම සඳහා සිය තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යැවීමට ද නියෝග කළේය.
මාතර සඳගිරියාගම ප්‍රදේශයේ පදිංචි පී. ඒ. සී. මධුශාන් නමැත්තා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පැමිණිල්ලක් ලද සැණින් ඒ පිළිබඳව නිසි විමර්ශන සිදුකිරීමකින් තොරව එම නඩුවේ පළමු හා දෙවන වගඋත්තරකරුවන් සිදුකර ඇති එකී කෲර වධ හිංසා නිසා පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරමින් එකී වන්දි නියම කරනු ලැබීය.
පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස නම්කර තිබූ පොලිස් කොස්තාපල්වරයාගේ වෙළෙඳ සලක තිබූ රන් ආභරණ කීපයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම පෙත්සම්කරු 2019 වසරේදී අත්අඩංගුවට ගෙන තිබිණි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතිඥ අෂ්රා වෂීර්, හිරන්‍යා දමුණුපොල හා විහන්ස තිසේරා යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක