ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් 02 වැනිදා සිට ලොව පුරා සෑම රටකටම පාහේ අදාළ වන පරිදි හඳුන්වා දුන් අධික තීරුබදු වැඩපිළිවෙළ අවහිර කරමින් මැන්හැටන් ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක වීම අභියාචනයක් හරහා තාවකාලිකව නතර කරගැනීමට ඇමරිකානු රජය විසින් පියවර ගෙන තිබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ රජය විසින් මැන්හැටන් අධිකරණය විසින් ලබාදී තිබෙන අධික තීරුබදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම නතර කිරීමේ නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනයක් හරහා අදාළ නියෝගය ක්‍රියාත්මක වීම නවත්වා ඇති බව වාර්තා වේ. මේ අනුව ට්‍රම්ප් රජයේ අභියාචනය විභාග කර අවසන් වන තෙක් අධික තීරුබදු අය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අහියාචනාධිකරණය විසින් ට්‍රම්ප් හට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් රජයේ අභියාචනය පිළිගත් ඇමරිකානු අභියාචනාධිකරණය එම අභියාචනය විභාග කරන තෙක් ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
අභියාචනාධිකරණයේදී සිය අභියාචනය පරාජය වුවහොත් තමන් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. ඉකුත් බදාදා ට්‍රම්ප් රජයේ අධික තීරුබදු වැඩපිළිවෙළට එරෙහිව මැන්හැටන් ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝගයක් ලබා දී ඇත්තේ එම තීරුබදු වැඩපිළිවෙළ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇත්තේ සිය අධිකාරි බලය ඉක්මවා යමින් බවට එම වැඩපිළිවෙළට එරෙහිව පවරා තිබූ නඩු ගණනාවකින්ම තර්ක කර තිබූ නිසාය. ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ නියෝගය නිකුත් වී විනාඩි කිහිපයක් ගතවීමෙන් පසු එයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට ට්‍රම්ප් රජය විසින් පියවර ගෙන තිබිණි. ට්‍රම්ප් රජය විසින් වහාම ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ තීන්දුවට එරෙහිව හදිසි සහනයක් ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ තීන්දුවෙන් ඇති විය හැකි යළි ආපස්සට හැරවිය නොහැකි ජාතික ආරක්ෂාවට හා ආර්ථිකයට හානි සිදුවීමේ අවදානම වළක්වාගැනීම සඳහා බව ධවල මන්දිරයේ නිලධාරීහු පවසා තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවීට් පවසා ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ විනිසුරුවරුන් ජනාධිපති ට්‍රම්ප්ගේ
අධිකාරී බලය පැහැරගැනීම සඳහා ඔවුන්ගේ අධිකරණ බලය නිර්ලජ්ජි ලෙස අපයෝජනය කර ඇති බවත් එය අධිකරණයේ සීමාව ඉක්මවා යාමක් බවයි. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තත්ත්වයට තිත තැබිය යුතු බව ඇය පවසා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ