Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද්දේ ඉවරයි?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද්දේ ඉවරයි?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

යුද්දේ ඉවරයි?

June 29, 2025
215 Views

ඉරානය සහ ඊශ්‍රායලය අතර ඉතිහාසයේ මෙතෙක් ඇති වුණු වඩාත් තියුණුම යුද ගැටුමෙන් අනතුරුව දෙරටේම වැසියන් යළිත් නිදහසේ හුස්ම ගනිමින් එදිනෙදා ජීවිතයට හුරු වෙමින් සිටිති. අග සිට මුලට සකස්ව තිබුණු ජීවිත හිටිහැටියේ යළිත් මුලටම සමතලා වූ පසු ඔවුහු යළිත් මුල සිට අගට සකස් වීමට වෙර දරන්නෝය. සති දෙකක කාලයක් පුරා විටින් විට දැවෙමින්, අළු වෙමින්, විනාශ වෙමින් ක්‍රියාත්මක වුණු මෙම යුද්ධය පූර්ණ සටන් විරාමයකට එළැඹුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආනුභාවයෙන් යැයි කීවොත් වැරදි නැත. ට්‍රම්ප් ඉරාන – ඊශ්‍රායල යුද්ධය දෙස සති දෙකක කාලයක් පුරා විවිධ අනතුරු හැඟවීම් කරමින් බලා උන්නේය. ඔහු මෙම යුද්ධය හැඳින්වූයේ ‘දින 12ක යුද්ධය’ ලෙසයි. ඉරානයට කළ අනතුරු හැඟවීම් කිහිපයකින්ම අනතුරුවත් සටන නොනවැත්වූ තැන ඉරානය අවසානයේ සද්ද වසාගත්තේ ට්‍රම්ප් අප්පච්චිගෙන් හොඳ හැටි සැර පහරක් කෑ පසුය. ඊශ්‍රායලය සටන ආරම්භ කළද ඉරානය ඇමෙරිකාවේ සතුරු රටක් නිසාවෙන් සහ ඇමෙරිකාව ලොව බලවතකු නිසාවෙන් ඉරානයට කෙඳිරිගාමින් හෝ විශාල දේපළ හානි සහ ජීවිත හානි රැසකට පසුව සිය සටන නවත්වන්නට සිදුවිය.

ට්‍රම්ප්ගේ තුරුම්පුව

දෙසතියක් පුරාවට දෙරටේම පාලකයන් දෙදෙනාගේ ඝට්ටනයන් දෙස බලා සිටි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසානයේ දැමූ තුරුම්පුව ‘ඔපරේෂන් මිඩිනයිට් හැමර්’ය. සටන මුලින්ම ආරම්භ කළේ ඊශ්‍රායලයයි. ඒ නිසා ඉරානය කීවේ ඊශ්‍රායලය ප්‍රහාර නවත්වන තෙක් තමන්ද ප්‍රහාර නොනවත්වන බවයි. එක් අතකට එය සාධාරණය. නමුත් වයෝවෘද්ධ පාලකයන් දෙදෙනකුගේ හිතුවක්කාරකම් නිසා වැඩි වශයෙන් අහිමිව ගියේ අහිංසක ජීවිතය. පසුගිය දෙසතිය තුළ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයන් 627 දෙනකු ජීවිතක්ෂයට පත්වුණි. එම මියගිය පිරිස අතර ගැබිනි කාන්තාවන් දෙදෙනෙකි. ඔවුන් ඇතුළුව කාන්තාවන් 49 දෙනෙකි. මහා යුද්ධයක් මැද්දේ වුවද තුවාල ලැබූ රෝගීන්ට උවටැන් කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 05 දෙනෙකි. ඉරාන ප්‍රහාර හේතුවෙන් ද ඊශ්‍රායලයේ පුද්ගලයන් 5,332ක් තුවාල ලබා ඇති අතර 971දෙනකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති. තුවාල ලැබූවන් අතර සෞඛ්‍ය කාර්ය මණ්ලඩයේ සාමාජිකයන් 20 දෙනකි. දෙරටේම ගොඩනැඟිලි හානිය පිළිබඳ තවමත් නිශ්චිත අදහසක් නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ඉක්මණින්ම පාලනයෙන් මිදීමේ අවධානමක පැවතුණු මේ මහා සංග්‍රාමය අවසන් කිරීමට ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගය එක් අතකින් අපූරුය. ඔහු ඉරානයට ප්‍රථමව අනතුරු හැඟෙව්වේය. සටන නැවැත්වීමට සති දෙකක කාලයක් ඉරානයට දෙන බවද පැවසුවේය. ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි පහසු ඉලක්කයක් බව මුළු ලෝකයටම පැවසීමම සුළුපටු දෙයක් නොව. නමුත් සටනේ අවසායක් නොවුණි. ඒ නිසා ඇමෙරිකාව හදිසියේම එක්සත් ජනපද ගුවන් හමුදාව සහ නාවික හමුදාව යොදාගෙන ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල කළේය. ඒ, පසුගිය 22 වැනි ඉරිදායි. නමුත් එය ඉරානයත් ඊශ්‍රායලයත් අතර ඇවිලෙන ගින්නට පිදුරු මිටියක් විසි කිරීමක් බඳු විය. සති දෙකකින් ප්‍රහාරයක් එල්ල කරන බව පැවසූ ට්‍රම්ප් වේලාසනම ප්‍රහාරයක් එල්ල කළේය. එම හදිසි ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානය විසින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වළක්වා ගැනීමට ඊශ්‍රායලයට උදව් කළා මිසක ප්‍රහාර සඳහා සෘජුවම සම්බන්ධ නොවීය.

එක්සත් ජනපදය ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන වූ ෆෝර්ඩෝ, නටාන්ස්, ඉස්ෆහාන් ඉලක්ක කර ගනිමින් බන්කර් බස්ටර් බෝම්බ දාහතරක් සහ සබ්මැරීනයකින් ටොමාහෝක් මිසයිල කිහිපයක් ද මුදාහැරීය. අඩි 300ක් පමණ පහළින් භූගතව පිහිටා ඇති ෆෝර්ඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය පුපුරවා හැරීමට හැකි එකම බලගතු ආයුධය ඇමෙරිකාව සතු වූ එම බන්කර් බස්ටර් පමණය. බංකර්-බස්ටර් යනු පුපුරා යෑමට පෙර පොළොවේ ගැඹුරට හාරා ගත හැකි, ශක්තිමත් භූගත ඉලක්කවලට පහර දීම සඳහාම නිර්මාණය කර ඇති බෝම්බ විශේෂයකි. ඇමෙරිකාවේ න්‍යෂ්ටික නොවන ප්‍රභලම අවිය යොදා එල්ල කළ එම ප්‍රහාරයේ සාර්ථකත්වය ට්‍රම්ප්ට සිය ජාත්‍යන්තර ප්‍රතිරූපය සඳහා මෙන්ම දේශීය වශයෙන් ඇමෙරිකානුවන්ට වග වීම සඳහා ද වැදගත් විය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව නම් ඔවුන්ගේ මිඩ්නයිට් හැමර් මෙහෙයුම ඉතාම සාර්ථක ප්‍රහාරයකි. නමුත් ප්‍රහාරයෙන් හානි වී තිබුණේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික භූමියේ පිවිසුම් සහ පිටවීමේ උමං මාර්ග දෙකකට පමණි. කිසිදු මරණයක්ද වාර්තා වී නොමැත. කල් මරමින් සිට එක්වර එල්ල කළ ප්‍රහාර අපූරු බව හැඟෙන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් ඇමෙරිකාවේ ප්‍රහාරයන් දෙස බැලූ කල පෙනී යන්නේ නම් ඔවුන් එකසත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවකි. ඇතැම් ලෝක නායකයන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අකර්මණ්‍ය කිරීමේ පියවර පිළිගත්තා සේම තවත් සමහරු ප්‍රහාර උත්සන්න වීම පිළිබඳ කනස්සල්ල පළ කරමින් සිටියෝය. ඇමෙරිකාවේ පහනින් එළිය බලාගන්නට හැකි වූ ඊශ්‍රායලයේ අගමැති නෙතන්යාහු කියන්නේ සිය රට ඉරානයට එරෙහිව ලබාගත්තේ ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.

ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයන්ට ඉරානය ප්‍රතිචාර දැක්වූවේ කටාර්හි එක්සත් ජනපද කඳවුරකට පහර දීමෙනි. ඉරානය විසින් සිය රට තුළ ඇති ඇමෙරිකානු කඳවුරු ඉලන්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර කටාර් රාජ්‍යය උරණ කරන්නක් විය. එමෙන්ම ජාත්‍යන්තර නීතියට අනුකූලව ඉරානය එල්ල කළ ප්‍රහාරයට එරෙහිව සෘජුව ප්‍රතිචාර දැක්වීමේ අයිතියක් ද කටාර් රාජ්‍යයට ඇත. සටනේ අවසන් සතිය ආරම්භයේදී ඇමෙරිකානු ජනපති ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට සූදානම් බව පැවසුවත් ඉරානය සටන් විරාමයක් පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට හදිසි වූයේ නැත. ඒ ඔවුන් ලෙහෙසියෙන් දණ බිම නැමීමට අකමැති ජාතියක් වන නිසාය. කටාර් රාජ්‍යයට එල්ල කළ ප්‍රහාරයට පසු දින ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ප්‍රකාශ කළේය. ඒ දැඩි කොන්දේසි මතය. ඇමෙරිකාවෙන් සිය න්‍යෂ්ටික බලාගාර ත්‍රිත්වයකට ප්‍රහාර එල්ල වූ පසුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ දැඩි තීරණයකට එළඹීමට ඉරානය ලකලෑස්ති වෙමින් සිටි මොහොතක ඇමෙරිකාව කෙසේ හෝ නුවණැති තීරණයක් ගත්තේය. එසේ නොවුණානම් මෙම යුද්ධය මුළු ලොවටම බලපාන යුද්ධය නිසා බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් පැවතිණි.

ව්‍යවසනයකින් අවසන් වන්න තිබූ යුද්ධයක්…

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසු බලශක්ති වෙළෙඳපොළ අවිනිශ්චිතතාවයකට පත්වුණි. බ්‍රෙන්ට් සහ එක්සත් ජනපදයේ ප්‍රධාන බොරතෙල් සැපයීම වන WTI 4%න් සිය බොරතෙල් මිල ඉහළ දැම්මේය. එය ජනවාරියේ සිට මේ දක්වා බොරතෙල් වල මිල ලකුණු වූ ඉහළම අගයයි. දැනටද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 79.20ක් ලෙස 2% න් සහ WTI බැරලයක මිල ඩොලර් 57.98 ක් ලෙස 2.1%න්ද ඉහළ ගොසිණි. තවදුරටත් දෙරට අතර යුද්ධය පැවතුණානම්, ඉදිරි දින කිහිපය තුළ බොර තෙල් බැරලයක මිල ඇ. ඩො. 110ක් දක්වා ඉහළ යෑමේ අවදානමක් තිබුණි.

ඇමෙරිකානු ප්‍රහාරයෙන් පසුව ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඒකමතිකව තීන්දු කළේය. දිනපතා තෙල් බැරල් මිලියන 17කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය. රටවල් ගණනාවක කෙතරම් මුහුදු ගනුදෙනු සිදුවුවද ඉරානයට අයත් මෙම මුහුදු තීරය ඕනෑම මොහොතක වසා දැමීමට ඉරානයට හැකිය. නමුත් අයතුල්ලා අලි කමේනිගේ උත්තරීතර මණ්ඩලයේ අවසර නොමැතිව එය සිදු කළ නොහැකිය. මේ අතර ඕනෑම දෙයකට සූදානම් වෙමින් එක්සත් ජනපදයේ නාවික හමුදා බලඇණි හෝමූස් සමුද්‍ර සන්ධිය අවට ස්ථානගතවී සිටියේ හෝමූස් සන්ධිය වසා දැමීමේ ඕනෑම උත්සාහයකට ප්‍රතිචාර දැක්වීමේ බලාපොරොත්තුවෙනි. නමුත් ඇමෙරිකාව ද හෝමූස් සන්ධිය පිළිබඳව දක්වන්නේ දැඩි සැලකිල්ලකි. මීට පෙර වතාවකදී හෝමූස් සමුද්‍ර සන්ධියට පහර දීමට තත්පර කිහිපයක් තිබියදී එය අවලංගු කිරීමට ඇමෙරිකාව විසින්ම තීරණය කෙරිණි. එය එතරම්ම වැදගත් සමුද්‍ර සන්ධියකි. කුමන හෝ හේතුවක් මත හෝමූස් වසා දැමුවානම් මෙම සංග්‍රාමය කෙලවර වන්නට ඉඩ තිබුණේ බටහිර ප්‍රජාවේ ඒකාබද්ධ ප්‍රහාරයකින් සිදු විය හැකි ගණනය කළ නොහැකි ව්‍යසනයකිනි.

කමේනිව අත්නොහරින ට්‍රම්ප්

මේ අතර පසුගිය දින නෙදර්ලන්තයේ පැවති නේටෝ සමුළුවට සහාභාගි වූ ට්‍රම්ප් කීවේ එළැඹෙන සතිය තුළ ඉරානය සමග න්‍යෂ්ටික සාකච්ඡාවලට යළි එළැඹෙන බවයි. ඉරානය නැවතත් න්‍යෂ්ටික වැඩසටහන සඳහා යොමුවුවහොත් පෙරට වඩා මිලිටරි බලය යෙදවීමට ට්‍රම්ප් නොපසුබට වනවා නොඅනුමානය. නැවත රටක් ලෙස ප්‍රකෘතිමත් වීමට අවශ්‍යනම් ඉරානය මේ මොහොතේ යළිත් කිසිදු ආකාරයක න්‍යෂ්ටික ඉන්ධන නිස්සාරණය කිරීමකට යොමු නොවනු ඇත. ඉරානය සහ ඊශ්‍රායලය අතර සටනට මුල් වූවේද ඉරානය න්‍යෂ්ටික ඉන්ධන 60%ක් පිරිපහදු කිරීමය. න්‍යෂ්ටික අවියක් සඳහා අවශ්‍ය 90% පිරිපහදු මට්ටමට ඉරානය කඩිනමින් ළඟා වනු ඇතැයි ඔවුහු සැක පහළ කරන්නට ඇත.

ඉරානය ෆීනික්ස් කුරුල්ලෙක්…

ඉරානය යනු අළු ගසා නැවතත් නැඟීසිටින ෆීනික්ස් කුරුල්ලෙකි. ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පසුබෑමට ලක්වුවද ඔවුන්ට නැවතත් නැඟීසිටීමට අවශ්‍ය තාක්ෂණික ඥානය සහ කාර්මික ධාරිතාවය පවතී. එයද දැනගෙන මේ මොහොතේ ඉරානය සමග සහයෝගීව කටයුතු කිරීම කාගෙ කාගෙත් ඇඟට ගුණය. න්‍යෂ්ටික වැඩසටහන දියුණු කිරීමේ අධිෂ්ඨානය තවමත් ඉරානය තුළින් ගිලිහී ගොස් නැත. ඔවුන් කවදාවත් න්‍යෂ්ටික තාක්ෂණය අතහැරීමට සූදානමක් නැත. කලකට පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වීරයකු සේ බංකරයෙන් එළියට බැස යළිත් උදම් අනමින් සිටින්නේය. ඔහු පවසන්නේ ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඔවුන් තව තවත් ශක්තිමත් වූ බවය. ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය නැවත වරක් සිය රටට ප්‍රහාර එල්ල කළහොත් ඕනෑම වියදමක් දරා නැවතත් සටන මෙහෙයවන්නට සූදානම් බව ඔහු කියයි. සිය නායකයාට දෙවැනි නොවී ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය කියන්නේද ඔවුන්ගේ සියලු සටන්කාමීන් ගිවි අවිවල කොකා මත ඇඟිලි තබාගනිමින් දැනටම යළි සටනකට සූදානමින් සිටින බවකි.

න්‍යෂ්ටික සාකච්ඡා සාර්ථක වෙයිද?

මේ අතර ඉරාන න්‍යෂ්ටික ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කරන්නට පැමිණෙන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඉරානයට දන්වා සිටියේය. එයට පිළිතුරු වශයෙන් ඉරානය කළේ ඒජන්සිය සමග පැවති සහයෝගිතාවයට තිත තැබීමය. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියෙන් ඉවත් වීමට ඉරානය ගත් තීරණය අනුව යමින් එම ඒජන්සියේ පරීක්ෂකයන්ට ඉරානයට ඇතුළු වීම තහනම් වනු ඇත. නමුත් ඉරාන න්‍යෂ්ටික ගැටලුව රාජ්‍ය තාන්ත්‍රිකව විසඳීම වෙනුවෙන් ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය සමග සහයෝගිතාව නැවත ඇරඹීම ඉතාම වැදගත්ය. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකාව ප්‍රහාරයක් එල්ල කිරීමට හේතු වූවේද දෙරට අතර ඒ සම්බන්ධ සාකච්ඡා අසාර්ථක වීමයි. එළැඹෙන සතියේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඉරානය සමග න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වීමට හැකි වුවහොත් සැමටම යහපතක් වනු ඇත.

මේ වන විට ඉරානය මෙන්ම ඊශ්‍රායලය ද සිටින්නේ සටන්වලින් හෙම්බත්වය. ඔවුන් දෙපාර්ශ්වයම ඉතාම දරුණු ලෙස යුද වැදුනහ. නමුත් අවසානයේ දෙපාර්ශ්වයම ආයුධ පසෙකින් තබා සටන අත්හැරීමට තරම් සෑහීමකට පත් විය. නමුත් මෙය සටන් විරාමයක් පමණක් බව අප සිහි තබාගත යුතුය. කොයි මොහොතක හෝ සංග්‍රාමය යළි ඇවිලෙන්නට ඉඩ ඇත. එසේ වුවහොත් දින දොළහක යුද්ධයෙන් ඇවිස්සුණු දුමාර, දුහුවිලි පහව යමින් යම් යම් සුබ දසුන් පෙනෙමින් පවතින කාලයක යළිත් එම දසුන් මිනිසුන්ගේ දෑස් මතින් බොඳව යනු ඇත. ජීවිත රැසක් අහිමි වනු ඇත. පැත්තක සිටිනා ලොව අනෙකුත් රටවල්වලට ඉරාන – ඊශ්‍රායල් යුද ගිනි රස්නය හොඳින්ම දැනෙනු ඇත. නමුත් කාට අවශ්‍ය වුවද යළිත් යුද්ධයක් ඇති නොවේවායි ඉරාන – ඊශ්‍රායලයේ පමණක් නොව ඇමෙරිකාවේද ජනතාවගේ ප්‍රාර්ථනය වනවා නොඅනුමානය.

යුද්ධය හැබෑවටම අවසන්ද?

යුද්ධය යනු ඉරාන – ඊශ්‍රායල් අතර පැවති යුද්ධය පමණක් නොව, ලොව අනෙකුත් රටවල් අතර පවතින්නේ ද යුද්ධයන්ය. ඉරානයට එල්ල කරනා ප්‍රහාර නැවැත්තුවද ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරනා ප්‍රහාර තවමත් නවත්වා නැත. ඊශ්‍රායලය යුද පිපාසයෙන් වල්මත්ව සිටිනා උන්මන්තකයකු සේය. පසුගිය 26 වැනිදා ඊශ්‍රායලය නැවතත් සිය යුද බලය පලස්තීනයට පෙන්නුවේය. පැය 24 ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 72 දෙනකු මිය ගොස් ඇත. ගෙවී ගිය මාසය තුළ මානුෂීය සැපයුම් වෙත ප්‍රවේශ වීමට උත්සාහ කිරීමේදී ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින් 549 දෙනකු ඝාතනය කළහ.

ගාසා මානුෂීය පදනමේ ආධාර බෙදා හැරීමේ ස්ථානවල හෝ ඒ අසල තවත් 4,066 දෙනකු තුවාල ලබා තිබුණි. කෑමට ඇබින්දක් ලැබෙන තෙක් ආහාර පෝලිම්වල සිටිනා ගාසා තීරයේ දරුවන් සුලභ දසුනකි. එලෙස ආහාර පෝලිම්වල සිටි පලස්තීන වැසියන් සහ දරුවන් 54 දෙනකු ඝාතනය කරන්නට තරම් ඊශ්‍රායලය ම්ලේච්ඡ විය. එපමණක් ද නොව ගාසා ජන සංහාරයේ වසරක සැමරුමට ද ප්‍රහාර එල්ල කර වැසියන් 77ක් ඝාතනය කළේය. ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල වෙඩි හුවමාරු සිදුවීම දෛනිකව සිදුවන්නකි. මිනිසුන්ට යුද්ධයක් අතරවාරයේ අත්‍යවශ්‍යම දේවල් වන ආහාර, වෛද්‍ය පහසුකම් ඉලක්ක කොටගෙනම ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ මානසිකත්වය පැහැදිලිව පෙනෙන්නකි.

මසකට පමණ ඉහතදී ට්‍රම්ප් කීවේ ගාසා තීරයේ සිටින පලස්තීනු වැසියන් වෙනත් ස්ථානයක නැවත පදිංචි කිරීමෙන් පසු යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය එක්සත් ජනපදය විසින් අත්පත් කරගෙන එය ආර්ථික වශයෙන් සංවර්ධනය කරන බවය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බළලා මෙලෙස මල්ලෙන් එළියට පැන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග පැවැත්වූ ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවකදී වීම හාස්‍යජනකය. දින 12 යුද්ධය තාවකාලිකව හෝ අවසන් වුවද වසර ගණනක් පවතින ඊශ්‍රායල – පලස්තීන යුද්ධය තවමත් ඇවිලෙන්නේය.

ජීවිතයේ සැඳෑ සමය ගෙවනා බල ලෝභී පාලකයන් නිසාවෙන් අනාගතයක සුබ නිමිති දකින්නටත් පෙරම පුංචි දරුවන් පොළවට පස් වී යන්නේය. එනිසාවෙන් කෙළවරක් නැතිව දිනෙන් දින උග්‍ර වෙමින් පවතින වර්ගවාදී, ආගම්වාදී සියලුම යුද්ධයන් අවසන් විය යුතුය.

එරංදි කෞශල්‍යා මද්දුම
[email protected]

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විදෙස්

ඇමෙරිකාවේ ඉරාන ප්‍රහාරයන් ජපන් ප්‍රහාරයන්ට සසඳලා – ජපානයෙන් ට්‍රම්ප්ට විරෝධය

විදෙස්

සියදිවි නසාගැනීමට තැත් කළ 9ක් මැරූ ඝාතකයා මරා දමයි

විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් අනතුරේ විමර්ශනයට විදෙස් විමර්ශකයකු සම්බන්ධ කිරීමේ තැත වරදී

විදෙස්

ලොව ප්‍රථම දේශගුණික වීසා බලපත්‍රය සඳහා ටුවාලු රාජ්‍යයෙන් දැඩි ඉල්ලුමක්

විදෙස්

උතුරු කොරියාවට ආහාර යැවීමට තැත් කළ ඇමෙරිකානුවන් හයක් අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok