ඓතිහාසික ඡායාරූපයක්
මෙය උතුරු නැඟෙනහිර යුද ඉතිහාසයේ ජයග්‍රාහී බලවේගය -1 මෙහෙයුම අතරතුරදී ගන්නා ලද්දකි. ඡායාරූපය මැද එවකට හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, ඔහු සමග දෙපසින් සිටිමින් කතාබහේ යෙදෙන්නේ මෙරට යුද ඉතිහාසයේ වීරෝදාර සෙන්පති්ර මෙරට යුද ඉතිහාසයේ සුවිශේෂී නාමයක් සටහන් කරගත් පසුකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපතිවරුන් බවට පත්වූ ජෙනරාල් ලයනල් බලගල්ල සහ වර්තමානයේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන එදා සෙන්පතියෝය.
මෙරට 30 වසරක් පැවති උතුරු, නැගෙනහිර යුද්ධයේදී ත්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය මුදාගන්නට තීරණාත්මක කාල වකවානුවක සුවිශේෂී යුග මෙහෙවරක නිරතවූ ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයකු ද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත විය.
වසර 40කට වැඩි කාලයක් මව් බිම වෙනුවෙන් සුවිශේෂී අනර්ඝ සේවයක් කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා දිවි ගමනට සදහටම සමුදෙන විට 91 වැනි වියේ පසුවිය.
1954 වසරේ දී කෙඩෙට් නිලධාරියකු ලෙස එවක ලංකා හමුදාවට එක්වූ වනසිංහ මහතා, මූලික යුද පුහුණුව හැදෑරීම සඳහා මහ බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.
ඉන් අනතුරුව දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරියකු ලෙස පත් කරන ලදී.
ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිවර්තනීය යුගයක විවිධ තනතුරු රැසක් හොබවනු ලැබූ ඔහු, 1988 වසරේ දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්විය.

වනසිංහ මහතා 1995 යුද හමුදාවෙන් විශ්‍රාම ගත් අතර, ඉන් අනතුරුව මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබීය.
ගම්පහ, දොම්පේ මල්වාන ප්‍රදේශයේ දී උපත ලැබූ හැමිල්ටන් වනසිංහ මහතා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරීය.
දක්ෂ ක්‍රීඩකයකු වූ ඔහු පාසල් කාලයේ ශිෂ්‍ය භට බළකායේ සැරයන් මේජර් තනතුර හෙබවිය.
විද්‍යාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ වනසිංහ මහතා පාසල් කාලය තුළදී මෙන්ම ඉන් පසුව හමුදාවේ දී බොහෝ කුසලාන දිනාගැනීමට සමත් වූවෙක්ය.
ඔහු සිලෝන් ඉන්ටර් ඩොමීනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩිතැබීමේ තරගාවලියද නියෝජනය කර ඇත. මෙතෙක් ලෝක යුද හමුදා ඉතිහාසයේ පළමු මෙන්ම එකම අවස්ථාව ලෙස සඳහන් වන සිදුවීමකටද ජෙනරාල් වනසිංහ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ දායකත්වය ලැබී තිබෙන බව අද බොහෝ දෙනාට අමතකවී තිබේ.
යුද හමුදාවේ සාමාජිකයකු වී දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් විසිර ගිය මුල්ම දවසේ එවකට යුද සෙන්පතියකු වූ තම පියාගෙන් නිල අසිපත ලබාගත් පුතකු කාලාන්තරයක් කළ කැප කිරීම්වලින් පසු යුද හමුදාවේ ඉහළම නිලයට පත් වී විශ්‍රාම ලැබ සිටින ඒ තාත්තා අතින්ම ඔහු යුද හමුදාපතිව සිටි අවධියේ පරිහරණය කළ රිදී අසිපත ලබා ගැනීමයි.
මෙම සිදුවීම් දෙක අතර කාලය දැන් 35ක් පමණ ඉක්ම ගොස් තිබේ. මේ කියන්නේ වෙන කිසිවකුත් ගැන නොවේ.
ඒ සිදුවීමේ පියා වූ කලී ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් යුද හමුදාපතිවරයකු, ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපතිවරයකු මෙන්ම ආරක්ෂක ලේකම්වරයකු වූ අභාවප්‍රාප්ත ජෙනරාල් හැමිල්ටන් වනසිංහයන් ය.

පුතා පසුගිය කාලයේ මේජර් ජෙනරාල් පදවියෙන් පිදුම් ලැබූ සංජය වනසිංහය. දෙදෙනාම කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුන්ය. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ යනු 2009 මැයි මාසයේ ශ්‍රී ලංකාව ලැබූ යුද ජයග්‍රහණය පිළිබඳ ඊට වඩා බොහෝ ඈත කාලයක සිට සුබ සිහින දුටු මිනිසෙකි. ත්‍රස්තවාදී ප්‍රශ්නය යුද්ධයෙන්ම පරාජය කළ යුතු යැයි මුල පටන්ම තරයේ ඇදහූ මිනිසෙකි.
යුද හමුදාපති පදවියට පත් 1988 වැනි අවධියේ සිටම ඒ වෙනුවෙන් යුද හමුදාව තුළ නිර්මාණාත්මක, ගුණාත්මක මෙන්ම සාධනීය පියවර තැබූ මිනිසෙකි.
හමුදාවට ස්නයිපර් බළකාය හඳුන්වා දුන්නේද ජෙනරාල් හැමිල්ටන් වනසිංහයන්ය.
ස්නයිපර් වෙඩික්කරුවන් හඳුන්වා දීම 2009 අවසන් මානුෂික මෙහෙයුම සඳහා කොයි තරම් දුරට බලපෑවාදැයි කිවහොත් ජයග්‍රාහී වන්නි සටන නිමා වන විට ස්නයිපර් වෙඩික්කරුවන් විසින් එල්.ටී.ටී.ඊ. ඉලක්ක 2700 ක් වැනි විශාල ප්‍රමාණයක් සපුරා ගෙන තිබිණ. පුදුමයකට මෙන් අවසන් ජයග්‍රාහී යුද්ධයේ ඉතා වටිනා සම්පතක් වූ 90 ක් පමණ සීමිත ස්නයිපර් භට කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කර තිබුණේ එහි නිර්මාතෘ ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ පුතා වන (එවකට ලුතිනන් කර්නල්) මේජර් ජෙනරාල් සංජය වනසිංහය.
මෙරට බොහෝ දෙනකු නොදන්නා තවත් ඉතා සංවේදී කාරණාවක් ද වෙයි. එනම් ලංකාවේ මෙතෙක් කිසිදු හමුදා නායකයකුට හෝ ඔහුගේ පවුලට, ඥාති වර්ගයාට නොසිදුවූ තරමේ ජීවිත අහිමිවීම් හා පීඩා යුද්ධය නිසා වනසිංහ පවුලට සිදුව තිබීමයි. මේ පවුලේ තරුණ ඥාති පුතුන් 03 න් දෙනකුම යුද විරුවන් ලෙස උතුරු යුද බිමේදී දිවි පුදා තිබේ.
අප කිසිවකුත් නොදැන ඔවුන් අපගේ මාතෘභූමිය වෙනුවෙන් කර තිබෙන එම කැපකිරීම සුළුපටු දෙයක් නොවේ.
ඒ අලිමංකඩ සටනේදී මියගිය, භාතිය ජයතිලක හා යාල්දේවී මෙහෙයුමේදී මියගිය නලින් ජයතිලකය.
ජෙනරාල් හැමිල්ටන් වනසිංහයන් ගේ එකම සොහොයුරාගේ පුතා වූ පණ්ඩුක වනසිංහ ද පුනරින් කඳවුර බේරා ගැනීමේ සටනේදී දිවි පිදුවේය.
පසුව ඒ කීර්තිමත් පවුලේ නව පරපුරේ යුද සෙන්පතියා වූ ජෙනරාල් සංජය වනසිංහ යුද හමුදාව තුළ තවත් ජයග්‍රාහී පියවර තැබුවේය. ඒ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 22 වන කර්නල් සේනා විධායක ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ රාජකාරි කටයුතු භාර ගැනීම හේතුවෙනි.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් කෙඩෙට් නිලධාරියකු ලෙස 1987 මාර්තු 16 වැනිදා සංජය වනසිංහ යුද හමුදාවට බැඳෙන විට ඔහුගේ පියා හැමිල්ටන් වනසිංහ යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකි.
මේජර් ජෙනරාල් සංජය දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් අධිකාරියට පත් වූයේ 1988 දෙසැම්බර් 10 වැනිදාය. ඒ උත්සවයේ ආරාධිත අමුත්තා හැටියට පැමිණෙන විට මෙරට යුද හමුදාපති වූයේ ඔහුගේ තාත්තා හැමිල්ටන් වනසිංහය.
ඉහත වසර එකහමාරක කාල සීමාව ඇතුළත තාත්තා වූ හැමිල්ටන් වනසිංහ මෙරට යුද හමුදපති පදවිය දක්වා පැමිණ තිබිණි.
එදා පියා අතින් හමුදාවට පිවිසීමේ අධිකාරි ලබන නිල අසිපත පුතාට පිළිගැන්වීම විරල අවස්ථාවක් විය. එදා දියතලාවේදී තාත්තා අතින් නිල අසිපත හා අධිකාරිය ලබා ගත් පුතා මේජර් ජෙනරාල්වරයකු වී විශ්‍රාමික ජෙනරල් තාත්තා අතින් ඔහු පරිහරණය කළ නිල අසිපත ලබා ගැනීම ද සුවිශේෂී වාසනා ගුණයක් සටහන් කරන්නක් විය.
මීට අමතරව මේජර් ජෙනරල් සංජය වනසිංහ කිලිනොච්චිය හා පුනරින් ඇතුළත් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ලෙස ද පත්වීම් ලැබීය.
ජෙනරාල් වනසිංහයන් තමන් අභාවයට පත්වනතුරුම තම උපන් මාතෘ භූමිය පිළිබඳ අභිමානයකින් මෙන්ම තම පුතුගේ ජයග්‍රහණය පිළිබඳ ඇති වන ප්‍රීතිමත් පීතෘ හැඟීමෙන් යුතු හැඟීම්බර සතුටකින් පසුවෙමින් විශ්‍රාම දිවිය ගෙවූයේ රටට ණය නැති කීර්තිමත් ලංකා පුත්‍රයකු ලෙසිනි.
සටහන :- සචිත්‍ර නේරංජන ඇල්වලගේ