කණ්ඩායම් සංගීතය මෙරට ප්‍රචලිත කළ ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණවේදියාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද “රිදම් ඔෆ් ද ගිටාර් ක්ලැරන්ස්’ සිනමා නිර්මාණය එළැඹෙන 27 වැනිදා සිට රිද්මා මණ්ඩලය ඇතුළුව රටපුරා සිනමාහල් රැසක තිරගත කිරීමට නියමිතය.
2022 වසරේ ‘ආශාවරී’ සිනමාවට රැගෙන ආ තේජා ඉද්දමල්ගොඩගේ දෙවැනි සිනමා නිර්මාණය මෙය වේ. අලෝකෝ උදපාදි ඔබ වෙත තිළිණ කළ කැන්ඩි සිටි සෙන්ටර් හි නිර්මාතෘ තුසිත විජයසේනගේ නිෂ්පාදනයකි.

‘රිදම් ඔෆ් ද ගිටාර්’ සිනමා නිර්මාණයට රංගනයෙන් දමිත් විජේතුංග, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, ඉෂංකා ජාන්වි ද කොස්තා, ෆර්නි රෝෂනී, ශ්‍රීමාල් වෙඩිසිංහ, ඇනස්ලි මාලේවන, දුෂාන් රාජගුරු, මෞලි ෆර්නෑන්ඩු, ප්රකාශිනී නිරංජලා, ප්‍රාර්ථනා සමාධි, රුක්ෂාන් කරුණානායක, ධනුෂ්ක ඩයස්, ඉඳුවර සූරියබණ්ඩාර, ලලීන්ද්‍ර තිසේරා, හේමක ඩයස්, රැවිනි ලක්මාලි, චමිලා පීරිස් දායක වෙති.

මෙම සිනමා නිර්මාණයට කැමරාකරණයෙන් රුවන් කොස්තා, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල පුෂ්පකුමාර, සාහය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න, ඇඳුම් නිර්මාණයෙන් ලසන්ත ප්‍රදීප් උඩුකුඹුර, සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ් මාලියැද්ද, කොණ්ඩා හා වේෂ නිරූපණයෙන් ඉන්දික උදාර ලංකා, සංස්කරණයෙන් යශෝධා ධනුපමා, නිෂ්පාදන කළමනාකරණයෙන් වී.පී. කුමරන් ද එකතු වෙති.
ශ්‍රී ලාංකික සංගීත ඉතිහාසය තුළ නොමැකෙන නමක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධන හඳුන්වාදීමට පුළුවන. ඔහුගේ සංගීතමය ගමන් මග තුළ ඔහුගේ ජීවිත කතාවට සමාන්තරව ඔහුගේ අතින් ලියැවුණු ගී පද ඔහුගේ ස්වරයට හසු වූ තනු සමග එකට මුසු වූ නොමැකෙන ගීතාවලියෙන් සැදුම්ලත් රූපමය සිත්තමකි” Rhythm of the Guitar” සිනමා සිත්තම.
දිනේෂ්
