පසුගියදා පුවත්පත්වල පළ වූ පහත දක්වා ඇති ලිපිවලින් සඵත කර ඇති ‘තිත්ත ඇත්ත’ ආශ්‍රිතව, මෙම ප්‍රතිචාරය ලිවීමට රචකට ප්‍රවේශයක් ලැබිණ.
- 2025 පෙබරවාරි 25 වන දින, ‘පළාත් පාලන නියෝජිතයන්ගේ වෙනසක්’ යන මැයෙන්, සිංහල පුවත්පතක පළකරන ලද, ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් රචිත ලිපියෙන්, බල ලෝභී දේශපාලන පක්ෂ නායකයන් විසින් පළාත් පාලන යාන්ත්‍රණයේ සැබෑ අරමුණු දූෂණය කරමින්, තම ආත්මාර්ථකාමී, යටි දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිතා කළ ප්‍රයෝග, නිර්දය ලෙස හෙළිදරව් කරමින්, ‘සිස්ටම් චේන්ජ්’ ක්‍රම වෙනසක අවශ්‍යතාවය උද්දීපනය කිරීම.
- 2025 මැයි 19 වන දින, ‘පළාත් පාලන ආයතනවල නායකත්වය භාරගත යුත්තේ නිර්මාණාත්මක ව්‍යවසායකයන් විසින් මිස, පක්ෂග්‍රාහී අය විසින් නොවේ’ යන මැයෙන්, ඉංග්‍රීසි පුවත්පතක පළ කරන ලද, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන විසින් රචිත ලිපියෙන්ද, ‘සිස්ටම් චේන්ජ්’ ක්‍රම වෙනසක අවශ්‍යතාවය අවධාරණය කිරීම.
- පළාත් පාලන ඡන්ද විමසීම්: දෝෂ සහිත ක්‍රමයක, අවතාරවලට ඡන්දය දීම” යන මැයෙන්, ඉංග්‍රීසි පුවත්පත් කතු වැකියකින්, විපරිත මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හරහා අස්ථාවර පළාත් පාලන ආයතන බිහිකිරීම තුළ, ‘සිස්ටම් චේන්ජ්’ ක්‍රම වෙනසක අවශ්‍යතාවය සඵත කිරීම.
ඒ අතරතුර, ‘කොරේ පිටට මරේ’ මෙන් මැතිවරණය අවසානවී, දේශපාලන පක්ෂ විසින් තමන් තෝරාගත් අපේක්ෂකයන්ගේ නම් නියමිත දිනට පෙර ඉදිරිපත් කිරීමට නොහැකිවීමත්, පත්කිරීමට සිදුවී ඇති සභිකයන්ගේ මුළු සංඛ්‍යාව, පූර්ව නිශ්චිත මුළු සංඛ්‍යාව ඉක්මවා යෑමට ඇති හැකියාවත් නිසා, සංකීර්ණ මිශ්‍ර මැතිවරණ (MMV) ක්‍රමයේ අඩුපාඩු නැවතත් මතුවී ඇත.
තවද, බිම් මට්ටමේ, ඡන්දදායක සහභාගිත්වය 61% ක් වීම තුළින් ඔප්පු වන්නේ, කාලාන්තරයක් පුරා, පළාත් පාලන යාන්ත්‍රණය දැඩිව දේශපාලනීකරණය කළ, ප්‍රාදේශීය දේශපාලනඥයන්ව, පහසුකම් සපයන ජනතා නියෝජිතයන් ලෙස නොව, අතරමැදි තැරැව්කරුවන් ලෙස සැලකීමට තරම් ස්වෛරී ඡන්දදායකයන් පත්ව තිබීමය.
පළාත් පාලන යාන්ත්‍රණය හා ‘නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය’ සහේතුක කළ හැකි යෝජනාවලට අත්වූ ඉරණම. 1988 දී දේශපාලන පරිපාලන ක්‍රමයට, නව දැවැන්ත ස්ථරයක් ලෙස, පළාත් සභා මන්ත්‍රීවරුන් 455 දෙනකු සහ කුඩා පාර්ලිමේන්තු 09 කින් සමන්විත පළාත් සභා 09 ක් (එකක් දිස්ත්‍රික්ක 2 ක් හෝ 3 කින් සමන්විත) එකතු විය. ඒ සමගම, දිසාපතිවරුන් (දැන් දිස්ත්‍රික් ලේකම්වරුන්) හරහා, රාජ්‍ය පරිපාලනය සිදුකිරීම සඳහා, දිස්ත්‍රික් සභා පිහිටුවීමේ යෝජනාව යටපත්විය. නව ස්ථරය එකතු කිරීමෙන් පසුව, ප්‍රමාදවී හෝ සැලකිලිමත් වූ රචක ඇතුළු ස්වෛරී ඡන්දදායක ජනතාව, දැඩි ලෙස දේශපාලනීකරණය වූ පළාත් පාලන ආයතන සහේතුක කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගත්හ. ඒ වන විට (2018 ට පෙර), පළාත් පාලන දේශපාලනඥයන් 4,500 (කුසල් පෙරේරා) ක් පමණ සිටියත්, පළාත් පාලන ආයතනවල සැබෑ අරමුණවූ , ‘ගර්භාෂයේ සිට සොහොන් ගැබ දක්වා’ වූ ප්‍රාදේශීය ජනතාවගේ එදිනෙදා කටයුතු සහ අනාගත අවශ්‍යතා ඉටු කිරීමේ කර්තව්‍යය, බලලෝභී දේශපාලන නායකයන්ගේ පටු ආත්මාර්ථකාමී උවමනාවන් නිසා, අඛණ්ඩව කඩාකප්පල් වීමද, රචක ඇතුළු සාමාන්‍ය ජනතාව විසින් කනස්සල්ලෙන් නිරීක්ෂණය කරන ලදී. අනතුරුව, පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනය කිරීමට, රචකගේ ‘රාමුවෙන් පිටත’ යෝජනාවක් ‘පළාත් පාලනය සඳහා විකල්ප ක්‍රමයක්’ යන මැයෙන්, වසර 28 කට පෙර, 1997 අප්‍රේල් මාසයේදී ජාතික පුවත්පතක (ඉංග්‍රීසි) පළ විය. සුපුරුදු පරිදි, එය තට්ටු මාරු ක්‍රමයට පත්වන ආණ්ඩුවල කුණු කූඩයට වැටුණි.
වසර 2017 දී, දෝෂ සහිත පළාත් පාලන යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණය කිරීමේ ක්‍රමවේදය සහ ප්‍රතිලාභ ඇතුළුව ‘දේශපාලන හා මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ /සිස්ටම් චේන්ජ්’ අඩංගු සර්වග්‍රාහී පැකේජයක් රචක විසින්, එවකට ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ආරාධනයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේදී, ඉදිරිපත් කරන ලදී. ඊට සහභාගි වූ දේශප්‍රිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ විවාදයෙන් තොර අවධානය ඊට යොමු විය. ඔහුගේ ඉල්ලීම වූයේ එම යෝජනා, පිලිගත් සිවිල් සංවිධානයක් තුළින් ඉදිරිපත් කරන ලෙසටයි. එතැන් සිට, රචකගේ යාවත්කාලීන කරන ලද යෝජනා අඛණ්ඩව මාධ්‍යවල පළවූ අතර, ඒවා 2017 සිට ඡන්ද දායකයන්ට කැපවූ සිවිල් සංවිධාන වන PAFFREL, Caffe සහ CMEV මෙන්ම මැතිවරණ කොමිසම, කැබිනට්ටුව, පාර්ලිමේන්තුව සහ ජනාධිපති විසින් පත් කරන ලද කමිටු, සහ අදාළ විද්වතුන් කිහිප දෙනකු වෙතද ඉදිරිපත් කරන ලදී. එලෙස, විශාල ලෙස මහජන මුදල් වැය කරමින්, පත් කරන ලද සියලුම කමිටුවල සාමාජික බහුතරයක් විසින්, නුසුදුසු, ආත්මාර්ථකාමී හා දූෂිත සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගේ පැවැත්මට අභියෝග කරන සාධනීය ‘ස්වෛරී ඡන්දදායකයන් පදනම් කරගත් යෝජනා’ කෙරෙහි ඇස් කන් පියාගෙන සිටි බවක් නිරීක්ෂණය විය. එම කමිටු වාර්තාවල අවම වශයෙන්, විධායක සාරාංශයක් හෝ මුද්‍රිත මාධ්‍ය හරහා සාමාන්‍ය මහජන වසමට නිකුත් කර ඇත්දැයි විමසීම සාධාරණය. රචකට, පුවත්පත් මගින් කියවිය හැකි වූයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව පමණි. ඔහුගේ තීරණාත්මක යෝජනා එහි ඇතුළත් කර නොතිබීම අරුමයක් නොවේ.
“බල්ලෝ බුරති, තවලම ඉදිරියට ඇදේ” යන වහර සපථ කරමින්, හුදෙක් දේශපාලනඥයන්ගේ උවමනාව සඳහා අනුමත කරගත් සංකීර්ණ MMV ක්‍රමය යටතේ, 2018 දී පැවැත්වූ, පළාත් පාලන මැතිවරණයේදී, කුසල් පෙරේරා විසින් හෙළිකර ඇති පරිදි, සභික සංඛ්‍යාව නොසිතූ විරූ ලෙස 4,500 සිට 8,327 ක් දක්වා වැඩිවීම තුළ, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් තම ඡන්ද බැංකු තර කිරීම සඳහා, වඩාත් ජවයකින් යුතුව තම පළාත් පාලන සභිකයන්ව යොදා ගන්නා ලදී. 2021 වසරේදී, මංජුල ගජනායක ගේ ආරාධනය පරිදි, PAFFREL අනුග්‍රහයෙන් Zoom රැස්වීමක් තුළින් රචක විසින් තම යාවත්කාලීන කරන ලද ‘සිස්ටම් චේන්ජ්’ පැකේජය ඉදිරිපත් කරන ලදී. අවාසනාවකට මෙන්, එමි‘සිස්ටම් චේන්ජ්’ පැකේජයට ඔවුන්ගේ උමග තුළින් ආලෝකය දැකීමට නොහැකි විය.
ඒ අතරතුර, කපටි සහ දූෂිත දේශපාලනඥයන් විසින්, තම පැවැත්මට අහිතකර ස්වෛරී ඡන්දදායක යෝජනා සලකා බැලීම, මැතිවරණයක් දොර ළඟට පැමිණෙන තෙක් ප්‍රයෝගකාරී ලෙස කල් මරමින් සිට, අවසානයේදී, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ දේශපාලන හා මැතිවරණ ක්‍රමවලට අදාළ පනත්වලට වෙනස්කම් කිරීමට කාලය මෙය නොවේ!” යනුවෙන් නිදහසට කරුණු මාධ්‍ය තුළින් රට පුරා පතුරුවමින් ජනතාව ගොනාට ඇන්දවීම අඛණ්ඩව සිදු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසරණ ස්වෛරී ඡන්ද දායකයන් උග්‍ර උදාසීනත්වයකට පත්කරමින්, ‘ස්වෛරී ඡන්දදායකයින්’ ට කැපවූ සිවිල් සංවිධානයන්ට හා විද්වතුන්ට පවා මෙල්ල කළ නොහැකි දැවැන්ත බලකොටුවක් කූඨ දේශපාලනඥයන් විසින් නිර්මාණය කර ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.
එවන් පසුබිමක, ‘සිස්ටම් චේන්ජ්’ යන වහර ඇතුළුව එහි අවශ්‍යතාවය, ඓතිහාසික සාමකාමී, බුද්ධිමත් නව පරපුරේ ‘අරගලය – 2022’ තුළින්, දැඩි ලෙස කරලියට ගෙන එන ලදී, ‘අරගලය’ සෘජුව ඇමතීමට ලිපිනයක් නොතිබූ නිසා, රචකගේ ‘සිස්ටම් චේන්ජ්’ ලැයිස්තුගත කර “අනාගත මැතිවරණයකට පෙර නීතිගත කළ යුතු තීරණාත්මක ‘සිස්ටම් චේන්ජ්’ යන මැයෙන් සකස් කළ විවෘත ලිපි 02ක්, පුවත්පත් මගින් පල කරන ලදී. අවාසනාවකට මෙන්, ‘අරගලයට’ විවෘතව සහාය දුන් ආගමික හා දේශපාලන නායකයන් මෙන්ම විද්වතුන්, වෘත්තිකයන්, වෘත්තීය සමිති, ඡන්දදායකයන්ට කැප වූ සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්ගෙන් අති බහුතරයක්, එය අවසන් කිරීමෙන් පසුව, ඔවුන් පමණක් දන්නා හේතුන් නිසා, ‘සිස්ටම් චේන්ජ්’ අභියෝගය අතරමඟ අත්හැරියහ.
පසුව, 2022 වසර අග සිට මහාචාර්ය චූලා ගුණසේකර මැතිතුමාගේ ආරාධනයෙන්, එතුමා විසින් පරිපාලනය කරනු ලබන සමාජ අධ්‍යාපනික ආයතනයක් වන LEADS වේදිකාවේ, ZOOM රැස්වීම් මගින් රචකගේ සිස්ටම් චේන්ජ් යෝජනා කිහිප වතාවක් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, 2024 වසරේදී, ඡන්දදායක සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා “ස්වෛරී ඡන්දදායකයකුගෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන හා මැතිවරණ ක්‍රමවලට සිදුකළ යුතු තීරණාත්මක ‘සිස්ටම් චේන්ජ්’ ගමන්මග හා ප්‍රතිලාභ” යන මැයෙන් නිකුත් කළ රචකගේ යාවත්කාලීන කරන ලද Eපොත් පිංචට, එතුමා සැපයූ වටිනා පෙරවදනින්, විශාල වටිනාකමක් එකතු විය. විටින් විට යාවත්කාලීන කරනු ලබන එම Eපොත් පිංචෙහි සිංහල සහ/හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පිටපත්, ඡන්ද දායක ඉල්ලීම මත නොමිලේ යොමු කළ හැකි බවද එහි සඳහන් කර ඇත.
වත්මන් තත්ත්වය
අවාසනාවකට මෙන්, නව රජය ද සුපිරි බලයක් තිබියදීත්, පැරණි දෝෂ සහිත පළාත් පාලන මැතිවරණ සමග ඉදිරියට ගියේ, සමහර විට දේශපාලන අවශ්‍යතා නිසා විය හැක. කෙසේ හෝ රුපියල් බිලියන 10ක් ඉක්මවන බදු ගෙවන්නන්ගේ මුදල් ආයෝජනය කර ඇතත්, ප්‍රකාශිත ඡන්ද % අනුව ගම්‍ය වන්නේ ජනතාව සෘණ ප්‍රතිලාභයක් ලැබූ බවකි. දැන් ඉච්ඡා බංගත්වයට පත්වුවත්, පරිධියේ ජනතාවට සිදුව ඇත්තේ, විවිධ මත හා පාට නියෝජනය කරන 8,400 කට අධික තරගකාරී දේශපාලනඥයන්ගේ බලඇණි විසින් මෙතැන් සිට දේශපාලන පක්ෂග්‍රාහීත්වයට සහ දූෂණයට යොමු නොවී, පළාත් පාලන යාන්ත්‍රණයේ අරමුණු කෙලෙස ඉටුකරනවා ද යන්න විපරමින් බලාසිටීමයි !
ඊළඟට කුමක් කළ යුතුද?
නව රජය විසින් ඉහත සඳහන් ‘ඡන්දදායකයන් මත පදනම්වූ පොදු සිස්ටම් චේන්ජ්’ පැකේජයන්හි කිහිපයක් දැනටමත් නිල නියෝගයන් නොමැතිව, ජීවිතාදර්ශයෙන් අනුගමනය කරන බැවින්, රටෙහි යහපත සඳහා, ඒවා පොදු නිල පැකේජයන් ලෙස නීතිගත කර ක්‍රියාත්මක කිරීම කෙරෙහි රචක ඇතුළු ජනතාවට දැඩි විශ්වාසයක් ඇත. එනිසා, උක්ත විෂයට අදාළවන, දෝෂ සහිත පළාත් පාලන යාන්ත්‍රණයේ සැබෑ අරමුණු ඉටු කර ගැනීම සඳහාවූ රචකගේ යාවත්කාලීන කරන ලද අදාළ ‘සිස්ටම් චේන්ජ්’ යෝජනාවේ සාරාංශයක් පමණක් ක්‍රමවේදය සහ ප්‍රතිලාභ සහිතව කඩිනම් ක්‍රියාමාර්ග සඳහා පහතින් ඉදිරිපත් කෙරේ.
පළාත් පාලන යාන්ත්‍රණයේ සැබෑ අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනතා මූලක ‘සිස්ටම් චේන්ජ්’
මෙහිදී, ‘ග්‍රාම රාජ්‍ය / ගම් සභා’ සංකල්පය අනුව යමින්, පළාත් පාලන මැතිවරණවලදී ස්වාධීන අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා, ‘සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය‘ (NMSJ) විසින් මහත් පරිශ්‍රමයකින් සකස්කර ඇති ‘ජන සභා’ හෝ වෙනත් පිළිගතහැකි ‘ජන සභා’ ජනප්‍රිය, කුඩා සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ‘ග්‍රාම නිලධාරී කොට්ඨාශ’ (GND) මට්ටමින් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. මෙහිදී, ජනතා නියෝජිතයන්/පහසුකම් සපයන්නන් මෙන්ම පළාත් පාලන ආයතනවල නිලධාරීන් හා සේවකයන්ද සුදුසු පරිදි පුහුණු කිරීම සහ මඟ පෙන්වීම සඳහා, 1999 දී, පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද ‘ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය’ (SLILG) හි මෙහෙවර අනුව ක්‍රියාකාරී දායකත්වය ඉතා වැදගත්වේ.
ක්‍රමවේදය
1) ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී, සෑම ‘ජන සභාව’ කටම අදාළ GND හි පදිංචි ඉතා අවංක, අපක්ෂපාතී සහ සමාජීය වශයෙන් පිළිගත හැකි අපේක්ෂකයන් 03 දෙනකු (පිරිමි 01 ක්, කාන්තාවන් 01 ක් සහ වයස අවුරුදු 35 ට අඩු තරුණයන් 01 ක්) නම් කිරීමට ඉඩ දීම. එවිට සෑම GND මට්ටමින්ම ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා තැනැත්තා/තැනැත්තිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල (DSO) මට්ටමින් පළාත් පාලන බලධාරීන් සමග තම වසමේ අවශ්‍යතා/ගැටලු/යෝජනා ඉදිරිපත් කරන ‘ජන සභා’ නියෝජිතයා/ පහසුකම් සපයන්නා බවට පත්වනු ඇත.
2) සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුටම තම බල ප්‍රදේශයේ සියලු ‘ජන සභා’ හි ඡන්ද නියෝජිතයන් ඉදිරියේ මෙම මැතිවරණය පැවැත්වීමට බලය පැවරිය යුතුය.
3) ‘ප්‍රාදේශීය සභා’ නගර සහ මහ නගර සභා මට්ටමේ නිලධාරී මණ්ඩලය අදාළ ‘ජන සභා’ සභිකයන් විසින් රහස් ඡන්දයෙන් තෝරාපත් කරගත යුතුය.
4) දැනට දේශපාලනීකරණය වූ සාමාජිකයන් 8,653 දෙනකුගෙන් යුත් සභික සංඛ්‍යාවට ගෙවනු ලබන මුළු මාසික දීමනාවට සාපේක්ෂව අඩු මුළු වියදමක් සහතික කරන මාසික දීමනාවක් 14,000 ඉක්මවන ‘ජන සභා’ නියෝජිතයන්ට ගෙවිය හැකිය.
5) සියලු නිල කටයුතු සඳහා පද්ධතිය විධිමත් කිරීම සහ එමගින් ප්‍රායෝගිකව ජනතාවට පහසු සේවාවක් සපයනු වස්, ඊළඟ සීමා නිර්ණය කිරීමේ අභ්‍යාසය, මැතිවරණ දිස්ත්‍රික්ක 22 පරිපාලන දිස්ත්‍රික්ක 25 ට සමාන කිරීමේ අරමුණින්, ආරම්භ කළ හැක.
ප්‍රතිලාභ
i. පළාත් පාලන යාන්ත්‍රණයේ සියලු දෝෂ ඉවත්වී, එහි සැබෑ අරමුණු ඉටුකර ගැනීමට හැකිවීම තුළ, දේශපාලනඥයන්ගේ රජදහනක් වශයෙන් දැනට පවතින නාස්තිකාර හා දූෂිත පළාත් පාලන යාන්ත්‍රණයට වඩා, එය බෙහෙවින් අර්ථවත් හා ඵලදායී වනු ඇත.
ii. පරිපාලන බාධාවන්ගෙන් තොරව, පරිධියේ ජනතාවට අපක්ෂපාතී, දූෂිත නොවන සහ නිශ්චිත සේවාවන් ලැබීම තුළ, සියලු පාර්ශ්වයන්ගේ ගේ කාලය හා පිරිවැයද ඉතිරි වේ.
iii. නාස්තිකාර වියදම් කපා හැරීමෙන්, පළාත් පාලන ආයතනවල සම්පත් සුරැකී, පරිසරයද ආරක්ෂාවේ.
iv. පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනීකරණය වීමත් සමග, බදු ගෙවන්නන්ගේ මුදල් රුපියල් බිලියන ගණනින් ඉතිරි වන අතර මැතිවරණ දිනයේ පමණක් නාස්ති වන මිනිස් පැය මිලියන ගණනක්ද රටට ඉතිරි වේ.
v. දූෂිත දේශපාලනඥයන් බෝකරන වත්මන් ‘මඩගොහොරු’ වෙනුවට සැබෑ ‘රට ප්‍රථම දේශපාලන වෘත්තිකයන් සඳහා ‘තවාන්’ නිර්මාණය වේ.
vi. ‘පහළ සිට ඉහළට’ තීව්‍ර ප්‍රවේශයක් යටතේ, පරිධියේ ජනතාව සමග ඉහළ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ කරන ශක්තිමත් ‘ජනතා මූලක පාලනයක්’ නිර්මාණය වීම ඓතිහාසික යථාර්ථයක් බවට පත්වනු ඇත.
අවසන් සටහන
ඉහත සඳහන් කළ පරිදි, ‘අපක්ෂපාතිකව පහසුකම් සපයන මහජන නියෝජිතයින්’ ලෙස හැඳින්විය යුතු දේශපාලනඥයන් තවමත් ජනතාව විසින් ‘තැරැව්කාර මැදිහත්කරුවන්’ ලෙස සලකනු ලැබේ. එබැවින්, නව රජයෙන් ඉල්ලා සිටින්නේ තම සාමාජිකයන්ගේ වටිනා හා ස්වේච්ඡා ‘ජීවිතාදර්ශයන්’ ගෙන් ඔබ්බට ගොස්, පොදුවේ දේශපාලනඥයන් පිළිබඳව ජනතාවගේ මනසෙහි පැලපදියම් වී ඇති ‘දූෂිත කුට ව්‍යාපාරික’ චිත්‍රය මකා දැමීම සඳහා, පවතින දේශපාලන හා මැතිවරණ ක්‍රමවලට සාධනීය ඡන්දදායක සිස්ටම් චේන්ජ් පැකේජයන්. නීති ගත කරමින්, ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ යන සංකල්පයට අනුව, ‘රට පුරා පිරිසිදු දේශපාලන සංස්කෘතියකට මුලපුරා, කඩිනමින් ජනතා විශ්වාසය තහවුරු කර ගැනීමයි.
ඒ සඳහා, ‘යොමුකිරීම් අනුදේශ’ (Terms of reference) කාලරාමු සහිතව ‘ඡන්ද දායක ක්‍රියාකාරීන්ද ඇතුළත් කාර්යසාධන බළකායන්’ පත්කිරීම පූර්ව අවශ්‍යතාවයකි.
විශේෂ සටහන: 1. ඡන්ද දායක දේශපාලන සාක්ෂරතාවය නංවාලීම සඳහා, රචක විසින් යාවත්කාලීන කරන ලද ඉහත කරුණු ඉදිරිපත්කිරීම, බහුශ්‍රැතයකුගේ පෙරවදනක් සහිතව කොටස් 03 කින් යුත් සර්වග්‍රාහී, විද්‍යුත් පොත් පිංච, දැනට සිංහල හෝ ඉංග්‍රීසි බසින්, ඉල්ලීමක් මත නොමිලේ එවිය හැක.
- ඉහත ‘සිස්ටම් චේන්ජ්’ පැකේජයන් මෙන්ම, ‘ජනතා මූලක ව්‍යවස්ථා සම්පාදනය’ සඳහා වූ රචකගේ යෝජිත ක්‍රියා පටිපාටිය පිළිබඳ ලිපි එදා මෙදා පුවත්පත්වල පළ වී ඇත.
බර්නාඩ් ප්‍රනාන්දු
හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු – ලංකා බැංකුව
විද්‍යුත් ලිපිනය : [email protected]