යහපාලන සමයේ පිහිටු වූ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ ලිපිගොනු අතුරුදන්ලු
- අගමැතිනිය කියයි
“කරුණාකරලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දේශපාලනයත් එක්ක පටලවා ගන්න එපා”
- අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක
කෝ.. හොරු ඇල්ලුවාද? මේ කතාව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ විපක්‍ෂය පැත්තෙන් නිතර නිතර ඇසෙන්නට විය. විපක්‍ෂය පමණක් නොව රටේ ජනතාව අහන්නේ ද ‘හොරු අල්ලන්න ආ අලුත් ආණ්ඩුව හොරු ඇල්ලුවාද’ යන්න ය. ඒ අල්ලපනල්ලේම වත්මන් ආණ්ඩුවට විපක්‍ෂය චෝදනා කරන්නේ හොරු බේරාගැනීමට ද ආණ්ඩුව කටයුතු කරන බවය. එහෙත් මේ කියන හොරු අල්ලන කතාවේ ඇත්ත නැත්ත බොහෝ දෙනකු හිතන දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. එය හුදෙක් ආණ්ඩුවේ රාජකාරියක් නොව රටේ නීති පද්ධතියේ රාජකාරියකි. තවත් විදිහකින් කිව්වොත් එය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැඩකි. අප මේ කියන්නේ හොරු ඇල්ලුවාද යන්න කෙසේ වෙතත් මේ වනවිටත් පසුගිය කාලය තුළ මෙරට සිදු වූ බොහෝ දූෂණ වංචාවලට සම්බන්ධ චූදිතයින්ට එරෙහිව ගරු අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පවතින බවය. එහි වැඩිමනක් චෝදනා ලබා ඇත්තේ පසුගිය රජයන්හි හිටපු ඇමැතිවරුන් හා ඔවුන්ගේ සමීපතමයන් ය.
හිටපු මැති ඇමැතිවරුන්ට ළඟදීම වැටෙන නඩු
හිටපු මැති ඇමැතිවරුන්ට එරෙහිව ඉදිරියේදී කැඳවීමට නියමිත නඩු බොහෝමයකි. ඒ අල්ලස් හෝ දූෂණ සිද්ධි හා රජයේ මුදල් අවභාවිත කිරීමේ අධිචෝදනා මත ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුය. එම නඩු මේ වනවිට ද මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. මේ විමසා බැලීම එවැනි ඉදිරියේදී කැඳවීමට නියමිත වූ නඩු කිහිපයක් ගැනය.
රාජිත සේනාරත්න
2014 වසරේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත. එම නඩුව මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන අතර අගෝස්තු මස 28 වැනිදා එය යළි කැඳවීමට නියමිතය.
ප්‍රසන්න රණවීර
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන එහි කඩකාමර ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසන්න රණවීර මහර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සිදු කළ බව කියන මෙම නීති විරෝධී ක්‍රියාවට ආධාර අනුබල ලබාදීමය.
ප්‍රසන්න රණවීර කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෙම නීති විරෝධී ඉදිකිරීම්වලට අවශ්‍ය අනුමැතිය ලබා දුන් බවටත් චෝදනා එල්ල වී ඇත.
නාමල් රාජපක්ෂ
රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව සඳහන් කරමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ලැබ ඇත.
එම නඩුවට අදාළ අධි චෝදනා පත්‍ර විත්තිකාර නාමල් රාජපක්ෂට භාරදී තිබේ. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
සරණ ගුණවර්ධන
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් මගින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35 ක සුභසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාව යටතේය.
මෙම නඩු විභාගය ආරම්භ වී ඇති අතර වැඩිදුර නඩු විභාගය අගෝස්තු මස 07 වැනිදා දක්වා කල් තබා ඇත.
රවී කරුණානායක
2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ රවී කරුණානායකය. පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අර්ජුන් ඇලෝසියස් වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා කොට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත.
අල්ලස් පනත යටතේ “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර ඇත. එකී නඩුව ලබන සැප්තැම්බර් මස 22 වැනි දා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිත ය.
මේ අතර 2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාර කිරීමට හෝ ඊට එකඟ වීම ඇතුළු චෝදනා මත පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (පසුගිය ජුනි 4 වැනිදා) ඉවත දමනු ලැබීය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව මන්ත්‍රී රවී කරුණානායක අදාළ නඩුවල විත්තිකරු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුව ඉවත දමන බවත්, එම තීන්දුවට අදාළව රවී කරුණානායක විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිකුත් කළ තීන්දුවේ සඳහන් වේ.
එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා කියා සිටියේ 2015 වසරේ ජනවාරි මස පළමුවන දා සහ 2016 වසරේ මාර්තු මස 31 වැනිදා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවලදී අවිධිමත් සහ අක්‍රමිකතා සිදු වූ බවට පැමිණිලි ඉදිරිපත් වූ අතර මේ හේතුවෙන් රටේ ආර්ථිකයට බිලියන ගණනාවක පාඩුවක් සිදු වූ බවට ප්‍රකාශ වී තිබෙන බවය.
මර්වින් සිල්වා
සිය නීත්‍යානුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යෑම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට පසුගිය ජුනි 6 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දෙනු ලැබීය. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 11 වැනිදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කර සිටියේ ය.
අල්ලස් කොමිසම විසින් විත්තිකාර මර්වින් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනාවල සඳහන් කර තිබෙන්නේ 2010 වසරේ මාර්තු මස 31 වැනිදා සහ 2012 වසරේ මාර්තු මස 31 වැනිදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවය. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වන්නේ හිටපු ඇමැතිවරයා කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි තිස්නව ලක්ෂ අනූනව දහසක මුදලක් වැය කර ඇති බවය. තවද කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් හත් කෝටි දහතුන් ලක්ෂ අනූනව දහසක මුදලක් ද ඔහු වැයකර තිබෙන බවය.
ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි විසිතුන් ලක්ෂ හත්තෑපන්දහසක මුදලක් වැය කර ඇති බවය. එමෙන්ම තවත් මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනස් පහකට අධික මුදලක්ද, ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැයකර ඇති බවය. මේ අන්දමින් සිය නීත්‍යානුකූල ආදායම අබිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. අදාළ නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව එල්ල වී ඇති චෝදනා දෙකකි.
විමල් වීරවංශ
හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කළ නඩුවක් මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
ඒ ඔහු අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පසුගිය යහපාලන රජය සමයේ ඔහුට එරෙහිව ගොනු කළ නඩුවකි.
ජෝන්ස්ටන් ප්‍රනාන්දු
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනුකර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් පිරිසක් එහි නීත්‍යානුකූල රාජකාරීවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කොට ඔහුට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩු ගොනු කොට ඇත.
එම නඩුවලට අදාළ විභාගය මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී ඇති අතර ඉන් එක් නඩුවක් (ජුනි 04) දින විභාගයට ගැණුනි. එම නඩුව නැවත ජූලි 07 යළි කැඳවීමට ද නියමිතය.
චන්ද්‍රානි බණ්ඩාර
පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නමැති අයකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව පසුගිය ජුනි 6 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේ ය.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාර දෙනු ලැබිණි.
ඉන් අනතුරුව විත්තිකාරියගේ ඇඟිලි සලකුණ ලබාගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරයා විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය.
එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන මෙම අධි චෝදනා සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මෙම නඩුකරයට අදාළ ඇමුණුම් විත්තිකාරියට භාරදීම සඳහා නඩුව නැවතත් ලබන 20 වැනිදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කර සිටියේ ය. ඒ අනුව විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබේ. 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාලසීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නමැති අයකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 08 දෙනකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25 ක් ද නඩුව සමග ඉදිරිපත් කර තිබේ.
මිලාන් ජයතිලක
2013 වසරේ දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සංවර්ධනය කර විකිණීම සඳහා තිබූ ඉඩම් කොටස්වලට නීති විරෝධී ලෙස පිඹුරුපත් සකස් කර රජයට රුපියල් තුන් ලක්ෂ හැත්තෑ තුන්දාස් අටසිය හැටක මුදලක් පාඩු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුවට අදාළව ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටියි.
කෙහෙළිය සහ රමිත් රඹුක්වැල්ල
කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයන් 15 දෙනකු නාමිකව ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප්, දීමනා හා අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට ඉදිරිපත් වූ පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම විසින් ඔවුන්ට නඩු පවරා ඇත.
එම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය (ජූනි 03දා) නියම කරන කළේය. ඔවුන්ට එරෙහිව පැමිණිලි තුන යළි විභාග කිරීම ඔක්තෝබර් මස 10 වැනිදා සිදු කිරීමට ද අධිකරණය මගින් නියෝග කර ඇත.
දැනටමත් වංචා දූෂණ සිදුකළ හිටපු ඇමැතිවරුන් කිහිපදෙනකුම සිටින්නේ හිරගෙදරය. අප මේ සඳහන් කරන්නේ ද තවත් හිටපු දේශපාලනඥයින් කිහිප දෙනෙකුට පැවැරී ඇති නඩු කිහිපයක් පමණි.
එහෙත් අල්ලස, පගාව හා මූල්‍ය වංචාවන් දේශපාලනඥයින් පමණක් නොව සමාජයේ සෑම තරාතිරමක පුද්ගලයන් දක්වා අද වනවිට පැතිර ඇති බවද රහසක් නොවේ. ඒ ගැන කීමට පසුගියදා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකදී අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක කියන කතාවම ප්‍රමාණවත් ය.
“ලංකාවේ මිනිස්සු හොරු අල්ලන්න කිව්වට කියන්නේ හොරු අල්ලන්න කියල නොවෙයි. මම කියන හොරා හැර අනිත් හොරු අල්ලන්න කියලයි. හොරු අල්ලන්න කියල හොරුත් පස්සෙන් දුවනවා. මට හිතාගන්නවත් බැරිවුණා ලංකාවේ දූෂණය අල්ලස තියෙන තැන කොහෙද කියලා. කුණු ට්‍රැක්ටරයේ මිනිහත් කුණු ගෙනියන්නේ මුදලට. සමහර පාසල්වල ටීචර්ස්ල ‘ටීචර්ස් ඩේ’ එකට සාරි 40ක් ගෙදර ගෙනියනවා. මම මේ කතා කරන්නෙ ලැබිල තියෙන පැමිණිලිත් එක්ක. කරුණාකරලා අල්ලස් දූෂණ හෝ කොමිෂන් සභාව දේශපාලනයත් එක්ක පටලවා ගන්න එපා.”
යහපාලන රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බවද වත්මන් ආණ්ඩුවේ අගමැතිවරිය පසුගියදා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නාය. ඇය කියා සිටින්නේ දූෂණ විරෝධී කමිටුව 2015 දී කැබිනට් අනුමැතිය ඇතිව පිහිටුවන ලද බවත් එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ බවය. මේ වනවිටද බොහෝ දූෂණ වංචා සම්බන්ධ නඩු කටයුතු අධිකරණයේ විභාගයට ගනිමින් පවතී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේද අදාල විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී. එහෙත් මේ අයගෙන් බොහෝ පිරිසක් තවමත් ‘සැකකරුවන්’ මිස වරදකරුවන් නොවේ. ඒ ගැන අපට පූර්ණ නිගමන ලබාදීමේ හැකියාවක් නැත. කෙසේ හෝ රටේ ආර්ථික පරිහානියට හේතු වූ, රට අගතියට පත්කලා වූ කවර දූෂිතයකු හෝ වේනම් ඔහුට දඬුවම් අත්විය යුතු බව අපගේ විශ්වාසය ය. සිහිතබාගත යුත්තේ මේ අදක ඊයේක ගොඩගැසුණු නඩුකර හෝ අල්ලස් දූෂණ චෝදනා නොවන බවයි. අප පසුකර ඇති අතීතයෙහි දූෂිතයන් සතුව තිබූ බලය කවරාකාරදැයි වටහා ගැනීමට එයම ප්‍රමාණවත් ය.
රමින්ද මාවතගේ