පසුගිය කාලයේ රටේ පොලිස්පති අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් දියත් විය. අවසානයේ ඔහු උසාවියට භාර විය. ඒ දිනවල එම සිදුවීම ගැන රටේ බොහෝ කතාබහට ලක්විය. එසේම මේ වන විට රටේ බන්ධනාගාර ලොක්කා (බන්ධනාගාර කොමසාරිස් ජනරාල්) සිටින්නේ ද බන්ධනාගාරගතව ය. ඒ ජනාධිපති පොදු සමාවට මුවාවී අනීතික ලෙස සිරකරුවකු මුදාහැරීමේ සිද්ධිය හේතුවෙනි. මේවා රටේ ජනතාව කවදා ඇසූ පුවත් ද? එහෙත් දැන් මෙවැනි අන් කවරදාකවත් නොවූ විරූ අරුම පුදුම පුවත් අසන්නට, දකින්නට ජනයාට සිදුව ඇත. මේ ජනාධිපති පොදු සමාවට මුවාවී අනීතිකව සිරකරුවකු නිදහස් කිරීමේ සිද්ධිය මේ වන විට රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජුනි 09 වැනිදා රාත්‍රියේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගත්තේය. ඊට පෙර මේ සිද්ධිය නිසා ඔහු වැඩ තහනමට ද ලක් විය. එසේම ඊට පෙර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජුනි 11 (ඊයේ) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබිණි. මේ සිද්ධිය ඉතා බරපතළ මහජන කැළඹීමකට තුඩු දෙන එකක් වන අතර මේවාට වගකිවයුත්තන් කවුද යන්න ඉදිරි නඩු විභාගයේ දී රටට හෙළිදරව් වනු ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉතා බරපතළ අනාවරණයක් කරමින් උසාවියට කරුණු ඉදිරිපත් කර තිබිණි. මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඔහු උසාවියට කියා ඇත්තේ, පසුගිය නත්තල් දින සහ නිදහස් දින රැඳවියන් 68 දෙනකු මේ ආකාරයෙන්ම අනීතිකව නිදහස් කර ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස ප්‍රකාශ කර ඇත.
“ස්වාමිනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී ඇති විධායක බලයක් වන ජනාධිපති පොදු සමාවට මුවාවෙලා බන්ධනාගාර නිලධාරීන් සිය අභිමතය පරිදි අපරාධකරුවන් නිදහස් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් ක්‍රියාකරලා තියෙන්නේ විනිසුරුවන් විදිහට. දඩ නොගෙවීම මත සිරගත කළ වරදකරුවන් බන්ධනාගාර අධිකාරිවරු කොහොමද ගෙදර යවන්නේ? මේක විධායක බලය අවභාවිත කිරීමක් පමණක් නෙවෙයි අධිකරණ බලයත් අවභාවිත කිරීමක්. ස්වාමිනී, මීට පෙර රටේ පොලිස්පතිවරයා තමන්ගේ හතුරෙකුට පහරදෙන්න කියලා තම නිලධාරීන් යවලා නඩුවක් දාගත්තා. ඊළඟට ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර රිමාන්ඩ් වුණා. දැන් අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනයේ ප්‍රධානියා අවිධිමත් ලෙස සිරකරුවෝ නිදහස් කිරීමකට ආධාර අනුබලදීමට අධිකරණය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේක කාලයක් තිස්සේ සිදු වූ ක්‍රියාවලියක්. මොවුන් මේ රජයේ ආයතන තුළ කුඩා අධිරාජ්‍ය හදාගන්නවා. ලොක්කෝ ඉන්නේ රාජාසනයේ. හරියට පාතාල කණ්ඩායම් වගේ. ස්වාමිනී, ප්‍රශ්නගත වෙසක් පෝය දවසේ ක්ෂේත්‍ර 04ක් යටතේ, රට වටේ තියෙන බන්ධනාගාර 28කින් ජනාධිපති පොදු සමාව දිය හැකි රැඳවියන් ගැන නිර්දේශ ඇවිල්ලා තියෙනවා. විත්තිකූඩුවේ සිටින මේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම නිර්දේශ අධිකරණ අමාත්‍යාංශයටත්, ජනාධිපති ලේකම් කර්යාලයටත් යොමුකරලා තියෙනවා. ජනාධිපතිවරයාට අනුමැතිය දුන් ලේඛනයේ තිබූ නම් 388 අතරේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිර්දේශ කරපු නම් 36ක ලැයිස්තුවක් තිබිලා තියෙනවා. නමුත් නිදහස ලැබූ ප්‍රශ්නගත රැඳවියාගේ නම මේ කිසිවක නැහැ. 2024 නත්තලට ජනාධිපති පොදු සමාවට අනුමැතිය නොලද 57 දෙනකුත් මුදාහැර තිබෙනවා. 2025 නිදහස් දිනයේ පොදු සමාවට අනුමැතිය නොලද 11ක් මුදාහැර තිබෙනවා. වෙසක් දවසේ එහෙම මුදාහැරපු ගාණ හරියටම කීයද කියලා තාම සොයනවා. මේ සියල්ල සිද්ධවෙන්නේ විනිසුරුවන්ගේ නියෝගයෙන් නොවෙයි. අර මම කියපු බන්ධනාගාර අධිරාජ්‍යයේ රජ්ජුරුවන්ගේ නියමයෙන්.”
මේ අනීතිකව සිරකරුවන් මුදා හැරීමේ සිද්ධියට වගකිවයුත්තන් කවුද යන්න සහ ඒ ගැන තවත් බොහෝ සැඟවුණු තොරතුරු මේ නඩු විභාගයේ දී අනාවරණය වනු ඇති අතර නඩු විභාගයේ අවසානයේ දී අදාළ වගකිව යුත්තන්ට එරෙහිව නිසි දඬුවම් ලැබෙනු ඇතැයි ද අපි සිතමු. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කියා තිබුණු කරුණු අනුව දැනට අපට හැඟෙන්නේ මෙය කාලයක් තිස්සේම මුදලට සිදු වූ ජාවාරමක් බවටයි. එය එසේ නම් එය ඉතා බරපතළ කරුණකි. ඒ අනුව මේ පරීක්ෂණ අතීතය දක්වා ද විහිදෙනු ඇත. මේ ආණ්ඩුවට පෙර ආණ්ඩුවල දී ද මෙවැනි දේ සිදුව තිබෙනවා විය හැකිය. එසේ නම් මේ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ හා කල්ගත වන ක්‍රියාවලියක් වීමට ද ඉඩ තිබේ. කෙසේ හෝ මේ ජාවාරම මෙහෙම හෝ අනාවරණය වීම සහ ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වීම ගැන අපට සතුටු විය හැකිය. එහෙත් අනිත් අතට මේ අනීතිකව නිදහස ලැබූ සිරකරුවන් (ඇතැම් විට අපරාධකරුවන්) සමාජගත වී කරමින් සිටින්නේ කුමක් ද? ඔවුන් තවදුරටත් අපරාධවලට සම්බන්ධ වී තිබේ ද? එසේ අනීතිකව නිදහස් වූ අය හඳුනාගෙන ඔවුන් අල්ලා නැවත සිරගත කරන්නේ ද? එසේම ඔවුන් මේ රටින් පිටව විදේශගත වී සිටින්නේ ද? එසේ නම් එවැනි අය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන නෛතික වැඩපිළිවෙළ කුමක් ද? යනාදී ප්‍රශ්න රැසක් මේ සම්බන්ධයෙන් මතු වේ. මේවාට ඉදිරි කාලය තුළ පිළිතුරු සොයාගත යුතුව ඇත. එසේම ඒ අනුව පිළියම් ද යෙදිය යුතුවනු ඇත.
අප මෙතෙක් නොයෙකුත් මූල්‍ය වංචා හා ජාවාරම් ගැන අසා තිබුණත් වැරදි ආකාරයට ජනපති පොදු සමාව පවා අවභාවිත කරමින් මෙවැනි ආකාරයේ ජාවාරමක් කාලයක් තිස්සේ කාටත් හොර රහසේ සිදුව ඇති බව මෙතෙක් අසාවත් තිබුණේ නැත. මාධ්‍යවේදීන් ලෙස අප මෙන්ම මේ රටේ ජනතාවත් මෙතෙක් අසා තිබුණේ, වෙසක් දිනය සහ නිදහස් දිනය වැනි විශේෂ අවස්ථාවලදී ජනපති පොදු සමාව ලැබී ඊට සුදුසුකම් ලබන සිරකරුවන් නිදහස් වන බව පමණකි. එහෙත් එසේ ජනපති පොදු සමාවට තෝරා නොගත් සිරකරුවන් ද චෝදනා එල්ල වී ඇති පරිදි බන්ධනාගාර නිලධාරීන්ගේ වුවමනාවට අනීතිකව නිදහස් කරන්නේ නම් එය ඉතා බරපතළ කරුණකි. ජනාධිපති පොදු සමාවට මුවාවෙලා බන්ධනාගාර නිලධාරීන් සිය අභිමතය පරිදි අපරාධකරුවන් නිදහස් කර තිබෙන බවත්, මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විනිසුරුවන් ලෙස ක්‍රියාකර තිබෙන බවටත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා උසාවියට කියා ඇත. මේ කියා ඇති කරුණු අනුව මෙය ජනපතිගේ විධායක බලය පමණක් නොව අධිකරණයේ බලයත් අවභාවිත කරමින් සිදු කළ ජාවාරමක් නොවන්නේ ද? එසේම දිලීප පීරිස් මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව දඩ නොගෙවීම මත සිරගත කළ වරදකරුවන්ද මේ ආකාරයෙන් නිදහස් කර ඇත. මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඔහු ඒ ගැන මෙසේ අධිකරණයට කරුණු දක්වා ඇත.
“ලක්ෂ 25, 20 දඩ ගෙවාගන්න නොහැකිව සිරගත වූ රැඳවියන් හොරෙන් මේ බන්ධනාගාර අධිකාරිවරුන්ගේ ලේඛනවලට ඇතුළත් වෙනවා. අපි දැන් ප්‍රධානියාගේ ඉඳලා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙන්නේ. හැමෝම පරිස්සම් වෙන්න. හැමෝගෙම වත්කම් ගැනත් සොයනවා.”
මේ දඩ මුදල් රජයට ලැබිය යුතු ඒවාය. එහෙත් එම දඩ මුදල් නොගෙවා මෙසේ ඒ අයට හොර පාරෙන් බන්ධනාගාර අධිකාරිවරුන්ගේ ලේඛනවලට ඇතුළත්ව අනීතිකව නිදහස ලැබීමට හැකියාව ලැබී ඇත්නම්, එහිදී රජයට ලැබිය යුතු දඩ මුදලට වන්නේ කුමක් ද? ඒවා ද රජයට නොලැබෙයි. එසේ නම් මේ කියන චෝදනා එල්ල වන බන්ධනාගාර නිලධාරීන් විසින් එම සිරකරුවන් රජයට ගෙවිය යුතු දඩ මුදලට වඩා අඩු යම් මුදලක් ඔවුන් විසින් අත යටින් ගෙන මේ සිරකරුවන් නිදහස් කිරීමේ ලේඛනවලට ඇතුළත් කළා ද? මේ සැකය කාටත් මතුවන්නකි. එසේ නම් මේ චෝදනා එල්ල වන නිලධාරීන් අනීතිකව සිරකරුවන් නිදහස් කිරීමට සම්බන්ධ වීමට අමතරව රජයටත් පාඩුවක් කර ඇත. එනම් රජයට එම සිරකරුවන්ගෙන් ලැබිය යුතු දඩ මුදල ලැබීම පවා අහිමි කර ඇත. ඒ අනුව මෙය පොදු දේපොළ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. අනිත් අතට සිරකරුවන් නිදහස් කිරීමේ කටයුතු මේ ආකාරයෙන් බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය පරිදි සිදුව ඇත්නම් එහිදී පොදු ජනතාවට රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන මෙන්ම අධිකරණ ක්‍රියාවලිය ගැන ඇති විශ්වාසය පවා පළුදු වනු ඇත. මේ අවිධිමත් ක්‍රියාව ගැන දැන් රටට අනාවරණය වී ඇති නිසා දැනට සිරගතව දඬුවම් විඳිමින් සිටින අනෙකුත් සිරකරුවන්ට මේ ගැන සිතෙනු ඇත්තේ කුමක් ද? එසේම එම සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ ගැන සිතෙනු ඇත්තේ කුමක්ද? සල්ලි තියෙන අයට තම මුදල් බලය මගින් මෙලෙස වරදකරුවන් වූ සිරකරුවන් හොර පාරෙන් නිදහස් කරගත හැකි බව නොවේ ද? ඒ නිසා අප විශ්වාස කරනුයේ මේ ගැන පුළුල් පරීක්ෂණ සිදුකර අදාළ වගකිවයුත්තන් හඳුනාගෙන අධිකරණ ක්‍රියාවලිය හරහා නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව, මේ අනීතික ක්‍රියාවලිය ඉදිරියට සිදු කිරීමට ඇති ඉඩකඩ ද මුළුමනින්ම ඇහිරිය යුතුව ඇති බවයි. බන්ධනාගාර ප්‍රධානියාගේ සිට සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙන බව සහ වත්කම් ගැනත් සොයන බවට ද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු කියා ඇත.
බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් ගැන මේ සොයන්නේ වෙන කිසිවකටත් නොව අනාවරණය වී ඇති පරිදි හොර පාරෙන් සිරකරුවන් නිදහස් කර ඇත්තේ මුදලට ද යන්න විය යුතුය. මේ කාරණය ගැන තවමත් පරීක්ෂණ පටන් ගත්තා පමණි. මේ අනීතික ක්‍රියාවලියේ තවත් බොහෝ තොරතුරු අනාගතයේ දී මේ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාවලීන් හරහා සහ නඩු විභාගය හරහා මේ රටේ ජනතාවට දැන ගැනීමට ලැබෙනු ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේම මේ ගැන විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරු ඇප මත මුදාහැරීමට පැමිණිල්ල විරුද්ධ වන බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ. එහෙත් මේ ගැන සැකකරුගේ පැත්තෙන් ද කීමට දෙයක් ඇත. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ එදින පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා කරුණු දක්වමින් උපුල්දෙණිය මහතාට ඇප ලබාදෙන ඉල්ලා තිබුණි. මාධ්‍ය වාර්තා කර ඇති පරිදි එම නීතිඥවරයා අධිකරණයට මෙසේ කරුණු දක්වා තිබේ.
“ස්වාමීනි ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍රලේඛයට අනුවයි මාගේ සේවාදායකයා කටයුතු කර තිබෙන්නේ. වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරනු ලබන රැඳවියන්ගේ නම් එවනු ලබන්නේ සෑහෙන කාලයකට පෙරයි. ඒ නම් ලැයිස්තු එව්වට පස්සේ ඒ කාලසීමාවේම තවත් පිරිසක් සමාව ලැබීමට සුදුසුකම් ලබනවා. අදාළ චක්‍රලේඛයට අනුව බන්ධනාගාර බලධාරීන්ට හැකියාව තිබෙනවා පසුව සුදුසුකම් ලබන පුද්ගලයින්ගේ නම් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන්න. එසේ එවනු ලබන නම් අර මුලින් එවන ලැයිස්තුවේ ඇතුළත් වන්නේ නැහැ. වැරදි පුද්ගලයෙක් නිදහස් කරලා තිබෙනව නම් මේ නඩුවට අධිකරණ අමාත්‍යාංශ ලේකම් වගේම ජනාධිපති ලේකම්වරයාත් සැකකරුවන් ලෙස නම් විය යුතුයි. අනික මේ නිදහස් කිරීම අනුරාධපුර බන්ධනාගාරය සිදුකර තිබේ නම් ඊට එම බන්ධනාගාර අධිකාරි වගකිව යුතුයි. නමුත්, මගේ සේවාදායකයා ඊට අනුබලදුන් බවට අබමල් රේණුවක සාක්ෂියක් නැහැ. මගේ සේවාදායකයාට දැනට වැඩ තහනමට ලක්වෙලා තියෙන නිසා විමර්ශනයට බලපෑම් කරන්න ඔහුට හැකියාවක් නැහැ. එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහු ඇපමත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”
මෙසේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා අතිරේක මහෙස්ත්‍රාවරයා, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවේ මේ නඩුව ඊයේ (11) දිනයේ යළි කැඳවීමට නියම කරමින් තුෂාර උපුල්දෙණිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබුණි. රටේ බන්ධනාගාර ලොක්කා බන්ධනාගාරගත වූයේ ඒ ආකාරයටය. එසේම ඊයේ (11) උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ උපුල්දෙණිය මහතා තවදුරටත් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇති බව ද මාධ්‍ය වාර්තා කර ඇත. මේ සිද්ධිය අනාවරණය වූයේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති පුද්ගලයා නිසාය. මේවන විට ඔහු පදිංචි ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර දිනයේ සඳහන් කර තිබේ. ජනපති පොදු සමාවට හොර පාරෙන් සිරකරුවන් නිදහස් කිරීම කාලයක් තිස්සේ සිදුව ඇති ජාවාරමක් නම් එය ඉතා බරපතලය. මේ සම්බන්ධ ඉදිරි අධිකරණ ක්‍රියාවලිය දෙස අපි බලා සිටිමු.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]