දෙවියන් ගැන සාහිත්‍ය
බැතිමතුන්ගේ වන්දනාවට ලක් වූ මේ කොස් රුප්පය අදත් ජීවමානව පවතින්නේ උග්ගල් අලුත්නුවර දේවාල භූමියේ. භාරතයේ මධ්‍ය දේශයෙන් මෙහි පැමිණ පදිංචි වී සිටි සංඝ නාථ නමැති බමුණා අපූරු සිහිනයක් දුටුවා කඳ සුරිඳුගේ හස්තයෙන් ස්වර්ණමය ආයුධයක් පහළ වන හැටි. පහුවදා උදේ මේ බමුණා වැව්තාවුලට ගියා ස්නානය කරන්න. ඔහු පෙර දිනයේ සිහිනෙන් දුටු ස්වර්ණමය ආයුධය අන්දර ගසක වැඩ සිටින හැටි දැක්කලු. ඔහු වහාම එතනින් පිටවෙලා ගිහින් ඔහුගේ සහෝදරයා වන මංගල නාථටත් නාගර දේවියටත් මේ අනුහස ගැන කිව්වා. ඊට පස්සේ මැදගම බණ්ඩාර, පරවරදාස, වන්නිරාළ, බඩහැල වන්නියා, කදිරසිංගා යන අයත් එකතු කරගෙන අන්දර ගහ ළඟට ඇවිත් ඒ ස්ථානය පිරිසිදු කරගෙන මල් යහන් තනාගෙන දින හතක් පුද පූජා පැවැත්තුවා.
සත්වැනි දවසේ රාත්‍රියේ සිහිනෙන් පැවසුවලු එම ස්ථානයට නුදුරින් තියෙන ‘ගැට නෙටුල’ කියන ගල්ලෙනට මේ දේව ආභරණය වැඩම කරවන හැටියට. ඊට පසුව උත්සවාකාරයෙන් එම ගල්ලෙනට දේවාභරණය වඩම්මවලා පුද පූජා පැවැත්වීම ආරම්භ කළා. උග්ගල් අලුත්නුවර – කතරගම දේවාලය සමීපයේ ඇති මේ ඓතිහාසික ගල්ලෙන සහ ‘කොස් රුප්පය’ අදටත් දැක බලා ගන්න පුළුවන්. ප්‍රාදේශීය රජකු වන පරාක්‍රමබාහු රජතුමා මෙම ස්ථානයේ දේවාලයක් කරවලා ස්වර්ණමය දේවාභරණය තැන්පත් කළා කියලා තමයි උග්ගල් අලුත්නුවර කතරගම දේවාල ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. පැරකුම් රජුගේ ඇවෑමෙන් අවුරුදු දෙසීයකට පසුව රජතුමාගේ මුණුපුරෙකු වන යාපා මහ රජුගේ නියමයෙන් වර්තමානයේ දකින්නට ලැබෙන මෙම දේවාලය ඉදිකර ඇති බව තමයි දැනගන්නට ලැබුණේ. මේ යාපා රජු සීතාවක රාජසිංහ රජු සමග යුද්ධයකට සූදානම් වෙලා දේවාල භූමියේ ඇති කොස් ගහේ පඬුරක් බැන්දාලු, මා හට ජයක් ලැබේ නම් කඳ සුරිඳු උදෙසා අලුත් දේව මාලිගාවක් හදනවා කියලා. ඉතින් මේ යාපා රජතුමා යුද්ධයෙන් ජය ලැබුවාට මොකද දෙවියන්ට වුණු බාරය මතකයෙන් ඉවත් වෙලා. ඊට පස්සේ මොකද වුණේ කියනවා නම් උගුරේ හැදිච්ච ගෙඩියක් නිසා රජතුමා දුකට පත්වුණා. රජතුමාගේ ඇමැතිවරු මතක් කරලා දුන්නලු දෙවියන්ට වෙච්ච බාරය. රජතුමා එදාම මයුර වාහන කොඩිය සිටුවලා දේව මන්දිරයක් සෑදීමේ වැඩ පටන් ගත්තලු. ගොඩ මඩ ඉඩම් දේවාලයට පූජා කළාලු. දැන් මේ රජතුමා ඇසළ මාසයට නැකැත් හදවාගෙන පෙරහැර උත්සවය පවත්වලා දිය කැපීමේ මංගල්‍යයෙන් අවසන් කළාලු. මේ දේවාලයට පූජා කළ අක්කර හතළිහක වෙල් යායට කියන්නේ වරකා වෙල. අන්න ඒ නිසා මේ පළාතේ ජනතාව වසර දහස් ගණනක් තිස්සේ වැඩිපුර කොස් අනුභව කරන්නට ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි වාර්ෂික ඇසළ උත්සවය ආරම්භ කරන්නේ වරකා ගසකින් කපා ගත්තු ලීයක් ගෞරවාන්විතව වැඩමවා කප් සිටුවීමෙන්.

නිමල් කුඩාතිහි
කතරගම