සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා අප හැඳින සිටින්නේ කෙටිකතා විෂය පිළිබඳ ප්‍රාමාණිකයකු ලෙසින් මෙන්ම ප්‍රබුද්ධ සාහිත්‍ය නිර්මාණකරුවෙකු සහ විචාරකයකු වශයෙනි. කුමාරසිංහයන් සිංහල කෙටිකතාවේ ආරම්භයේ සිට අද දක්වා රචිත කෙටිකතා ගැඹුරින් අධ්‍යයනය කර සම්පාදනය කර ඇති කෙටිකතා විමර්ශන ගණනාවක් වන අතර, විශිෂ්ට කුසලතා දැක් වූ සිංහල කෙටිකතාකරුවන්ගේ කෙටිකතා පිළිබඳව ඔවුන්ගේ නමින් පළ කර ඇති කෙටිකතා විවරණ ද රාශියකි. කුලතිලක කුමාරසිංහයන් විසින් පරිවර්තිත “ අව්ව ඇති තැනක්” කෙටිම කෙටි කෙටිකතා සහ යොවුන් කෙටිකතා රැගත් කෙටිකතා සංග්‍රහය කෙටිකතා දහසයකින් සංගෘහිතය. කුලතිලක කුමාරසිංහට අනුව ජපානයේ ප්‍රවීණ කෙටිකතාකරුවන් රචනා කරන අල්ලක ප්‍රමාණයේ කෙටිකතා ජපන් බසින් හඳුන්වනු ලබන්නේ “තන ගොකුරු නො ෂෝසෙත්සු” යනුවෙනි. මෙම පරිවර්තිත කෙටිම කෙටි කෙටිකතා සංග්‍රහයේ කෙටිකතාකරුවන් වන්නේ නොබෙල් ත්‍යාගලාභී ජපන් ජාතික යසුනරි කවබත, ඉතොකව ක්යෝතො, අකිමොතො මිහරු, අකුතගව ර්යුනොසුකෙ, එච්.ඊ. බෙට්ස්, ඕ. හෙන්රි, ඩැනියෙල් ඩිපෝ යන ජගත් පූජිත කෙටිකතාකරුවන්ය.
යසුනරි කවබත විසින් මීට සියක් වසරකට පෙර එනම් 1924 දී රචිත “අව්ව ඇති තැනක්”, “දුර්වල යාත්‍රාව”, “කෙල්ල ගින්දරට කිට්ටුයි”, සහ “ගින්නට ළං වූ කෙල්ල” යන කෙටිකතා ප්‍රථමවරට සිංහලට පරිවර්තනය කර ඇත. “අව්ව ඇති තැනක්” කෙටිම කෙටි කෙටිකතාවට වස්තු විෂය වන්නේ විසිහතර හැවිරිදි භද්‍ර යෞවනයේ සිටි තරුණයකුට වෙරළබඩ තානායමකදී හමු වූ ගැහැනු ළමයකු සමග ඇති වූ තරුණ ප්‍රේමයක ආරම්භයකි. එම අහිංසක ප්‍රේමයේ ආරම්භය කතුවරයා හෘදයාංගම දෙබස්වලින් අරඹන අපූර්වත්වය බලනු මැනවි.
“මං ඔයා දිහා බලාගෙනයි ඉන්නේ, නැද්ද”
“ඔව්… නමුත් ඒක එහෙමත් නොවේ.”
ඇගේ කටහඬ ශාන්ත විය. ඇගේ වචන සැහැල්ලුයි. මට කිසියම් සහනයක් දැනුණා.
“ඒක ඔයාට කරදරයක්ද?… එහෙම නේද?”
“නෑ” ඒකට කමක් නෑ… නමුත්… ඇත්තටම”
“නෑ කමක් නෑ”
ගැහැනු ළමයාගෙන් බැහැරව ඇස් හරවනවාත් සමගම මුහුදු වෙරළේ සරත් සෘතුවේ සූර්යාලෝකය පැතිරී ගිය අව්රැල්ල විහිද ගිය තැනක් නිශ්චය කරගත් ඔහු ඒ අව්රැල්ලෙන් යුත් ස්ථානයේ ඈත අතීතයේ වැළලී ගිය මතකයන් සිහිපත් කළේය. ඔහුගේ මව්පියන් මියගිය පසු පිටිසර නිවසක සීයා සමග අවුරුදු දහයක් පමණ ඔහු ජීවත් විය. ඔහුගේ අන්ධ සීයා හිඳගෙන සිට ඇත්තේ එකම කාමරයේ එකම ස්ථානයකය. ඉඳහිට ඔහු දකුණු දෙසට හිස රඳවන්නට ඇති. නමුත් ඔහු කවදාවත් උතුරු දෙසට මුහුණ දුන්නේ නෑ. ඒ දවස්වල සීයාගේ මුහුණ දෙසම බලාගෙන සිටියේ උතුරට මුහුණ හරවන තෙක්ය. ඒ තුළින් මිනිසුන්ගේ මුහුණ දිහා බලාගෙන සිටීමට ඔහු පෙළඹුණි.
ගැහැනු ළමයා නැවත කථා කර, ඇගේ මුහුණ බලන විට මගේ මුහුණ දීප්තිමත් විය. ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වී ගොස් විළියෙන් මිරිකුනු බැල්මෙන් ඔහු දෙස බැලීය.
අද ඈ කතා කළේ ළමයෙක් මෙනි. ඔහු මදහසක් පෑ විට කිසියම් කුළුපග බවක් හැඟුණි. කතුවරයා මෙම කෙටිම කෙටි කතාව සමාප්ත කරන්නේ මෙබඳු වදනිනි.
“මුහුදු වෙරළේ හිරුඑළිය වැටී තිබෙන ස්ථානයකට ගැහැනු ළමයා හා මගේ සීයා පිළිබඳ මතක රැගෙන යමින් මට බැහැරට යෑමට සිදු විය.”
මෙම කෙටිම කෙටිකතාව ඉතා සියුම්ව විග්‍රහ කරන විට පෙනී යන්නේ, යම් අවස්ථාවක්, සිද්ධියක් කේන්ද්‍ර කර ගනිමින් රචිත මෙම කෙටිකතාව තුළින් කෙටිකතාව යනු ජීවිතයෙන් පෙත්තක් :ීකසජැ දf ් කසfැ* යන්න විශද කිරීමට මෙම කෙටිකතාව සමත්වන බවය. ඒ නිසාම මෙම කෙටිකතාව මනරම් කවියක් මෙන් අප සිත් සතන් ප්‍රමෝදයට පත් කරයි.
මෙහි එන ඉතාම කෙටි කෙටිකතාවක් වන ඉතොකව ක්යොකොගේ “ටැක්සි රියදුරා” සංකීර්ණ සිද්ධියක් ඇසුරෙන් විරචිත අපූර්වත්වයෙන් යුත් කෙටිකතාවකි. ටැක්සි රියදුරකු වූ කිමුර වසර විස්සකට පෙර විවාහ වී ඇතත්, මෑතක සිට ඔහුගේ සිත වික්ෂිප්ත බවට පත්ව සිය බිරිඳ දෙස නොපහන් හැඟුමෙන් යුතුව ක්‍රියා කළේය. ඔහු බිරිඳ අමතා පවසන මෙවදන් දෙසට හැරෙනු මැනවි.
“ඔබ දිහා බලාගෙන සිටින විට මහ පිළිකුල් හැඟීමක් ඇතිවන නිසා මේ ගෙදරින් පිටවී යන එක හොඳයි.”
“එහෙමද, මට තේරුණා. ඔය තරම් මං අප්‍රසන්න නම් මොනව කරන්නද? මං මගේ දෙමව්පියන්ගේ නිවසට යන්නම්”
බිරිඳ ලස්සනට ඇඳ පැළඳගෙන නිවසෙන් පිටවී යෑමට සැරසෙන කිමුරට සිතෙන්නේ “අම්මෝ, ලස්සන” කියාය.
බිරිඳ ගෙදරින් පිටවීමට සැරසුණු විට ඔහුගේ ටැක්සියෙන් ගිහින් ඇරලීමට ඉදිරිපත් විය. ගෙදරට පිවිසි විට “එහෙනම් ආයුබෝවන්, දිගු කාලයක් ඔයත් එක්ක හිටියා. බොහොම ස්තූතියි” කියා ටැක්සියෙන් බැස යෑමට සැරසුණු විට කිමුර ටැක්සියට මුදල් ගෙවන ලෙස ඇගෙන් ඉල්ලා සිටියේය. ටැක්සි කුලිය නොගෙවන්නේ නම් ටැක්සියෙන් බැසයෑම තහනම් බව කිමුර කී විට පුදුම අමාරුවක වැටුණු බැව් බිරිඳට හැඟී ගියේය.
“කුලිය ගෙවන්නේ නැත්නම් මාත් සමග එකට ආපසු මගේ ගෙදර යමු” යැයි කිමුර යෝජනා කර ඔහු සිය බිරිඳ සමග සිය නිවසට ගොස් පෙර පරිදි බිරිඳ හොඳින් රැකබලා ගත්තේය.
විවාහ සංස්ථාවේ ජටිල ප්‍රශ්නයක් ඇසුරෙන් විරචිත මෙම කෙටිකතාව තුළ ගේහසික ආදරයේ ප්‍රබලත්වය පිළිබිඹු වේ. එක් කුටුම්භයක කලක් වාසය කළ පසු වෙන්වීම සරල සුගම කාරියක් නොවන බැව් මින් පසක් වේ. මෙම කෙටිකතාව පෙදෙන් පෙද විදාරණය කිරීමේදී රචකයා දක්වා ඇති ප්‍රතිභාව හා කුසලතාව මැනවින් පිළිබිඹු වේ.
ර්යු නොසුක අකුතගවගේ දීර්ඝ කෙටිකතාවක් වන “නාසය (හන)” සංක්ෂිප්ත කෙටිකතාවක් ලෙස පරිවර්තනය කර ඇත. “ඉකොනොඔ” ගමේ නය‘ගු නමැති නායක හිමිගේ නාසය සෙන්ටිමීටර් 18ක් පමණ දිග සොසේජ් එකක් වගේ හැඩයකින් යුක්තව මුහුණ මැදට වැටී තිබුණි. පනස් හැවිරිදි නායක හිමිට දිගු නාසය දරා සිටීමත්, කෑම කෑමත් දිගු නාසය නිසා අපහසු විය. ගමේ මිනිස්සු නායක හිමි මහණවීම හොඳ බව කියන්ට පෙළඹුණේ දිගු නාසය නිසා ගැහැනු නායක හිමි සමග විවාහයට අකැමැති වීම නිසයි.
මෙම නයිගු නායක හිමි දිගු නාසය කෙටිකර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද ගැන කල්පනා කළේය.
ඉකොනොඔ පන්සල විශාල නිසා නිතරම පන්සල බැලීමට මිනිස්සු පැමිණියහ. නායක හිමියන් නාසය කොට කර ගැනීමේ විවිධ ක්‍රියාකාරකම් කළත් යහපත් ප්‍රතිඵලයක් නොවීය. එක් සරත් සෘතුවක ශිෂ්‍යයෙක් ක්යෝතෝවලට ගොස් දොස්තර කෙනෙකුගෙන් දිගු නාසය කොට කර ගන්නා ක්‍රමවේදය ඉගෙන ගෙන පන්සලට පැමිණ නායක හිමි එකඟ කරවාගෙන අත්හදා බැලීම් කරන ලදි. එය සරල ක්‍රමයක් විය. එනම් නාසය උණු වතුරෙන් තම්බා පසුව කිසිවකු විසින් පාගනු ලැබීමයි. ගෝලයාගේ බසට අවනත වූ නායක හිමිට නාසය උණු වූ නිසාම ගෝලයා පාගනු ලැබූ කල්හි අපූරු හැඟීමක් ඇති විය. ටික වේලාවක් නාසය පාගන විට හාල් ඇට වගේ දෙයක් නාසයෙන් පිට විය. දෙවරක් උණු වතුරෙන් නාසය පාගන විට නාසය කොට වීගෙන ආවේය. නාසය කොටවීම ගැන නායක හිමිගේ ප්‍රසාදයක් නොවීය. එදින රාත්‍රී සෙම්ප්‍රතිශ්‍යාව තදින් වැලඳී හුස්ම ගැනීම පවා අපහසු වූ අතර ඇඟ ද ශීතල වීගෙන ආ නිසා නිදාගත නොහැකි විය. ඒ අවස්ථාවේ නාසය මෘදු මොළොක්ව ඝන වී තිබුණි. නායක හිමි ඉක්මනින් නාසය අත ගා බැලීය. ඒ නාසය ඊයේ රෑ තිබුණු නාසය නොවේ. එය පෙර තිබූ නාසය සෙන්ටිමීටර් 18ක් පමණ වූ සොසේජස් එකක් වගේ මුහුණේ මැදට එල්ලා වැටෙමින් තිබූ නාසයම විය. මෙම විශ්මිත කතාව අවසන්වන්නේ මෙබඳු වැකියකිනි. “සරත් සෘතුව් සිසිල් සුළං පවතින අතරතුර නය‘ගු දිග නාසය අතගාමින් සිටියේය.”
මෙබඳු හාස්‍යය, කුතුහලය හා උපහාසය පිරි අද්භූත කතාවලින් ජපන් කෙටිකතාකරුවා අප රැගෙන යන්නේ මායාකාරී ලොවකටය. ජපන් සාහිත්‍යය තුළ මෙබඳු අත්දැකීම් රැගත් කථාංග දක්නට ලැබීම සුලභය.
සුප්‍රකට ඇමෙරිකානු උපහාස කෙටිකතාකරුවා ලෙස සැලකන ඕ. හෙන්රිගේ “ස්මාරකය” සංක්ෂිප්ත කෙටිකතාව අපූර්ව කතා වින්‍යාසයකින් හෙබි අසිරිමත් ප්‍රේමයක් වටා බැඳි හෘදයාංගම කෙටිකතාවකි. ඩි ආමෙන්ඩෙ නාට්‍යාංගනාව තාලියා හෝටලයේ නතරව සිටියේ කුඩා කාමරයකය. එහි නාට්‍යශාලාවේ ඇගේ සමහර මිතුරියන්ගේ පින්තූර එල්ලා තිබුණි. එහි එක් පින්තූරයක සිටියේ ඇගේ සමීපතම මිතුරියකි.
“දැන් ලී කොහේද කියලා දැනගන්න මට අවශ්‍යයි” ඩි ආමෙන්ඩෙ ඇයටම කියා ගත්තේය. ඇය රොසලීගේ පින්තූරය දෙස බලාගත්වනම සිටියේය. ඉතා කෙටි සායක් ඇඳගෙන සිටි ඇය සිය ඔංචිල්ලාවෙන් ඉහළ ගුවනෙහි සැරි සැරීය. ඇගේ දිග ලස්සන කකුල් ඉහළ ගුවනෙහි තිබුණු විට, ඇගේ කහ පැහැති මේස් පටය ගැලවී යට සිටි මිනිසුන් මත පතිත විය. ගැයුමෙන් හා නැටුමෙන් යුතු ඇගේ විවිධ ඉරියව් සමග ඈ ඔංචිල්ලාවට පතිත වූ විට මිනිස්සු නැගී සිටියහ.
කිසිවකු ඩි ආමෙන්ඩෙගේ නිවසේ දොරට තට්ටු කළ සැණින් ඈ ඉදිරියේ පාදුර්භූත වූයේ රොසලී රේය.
“ඔබ ඉන්න කාමරයට ඉහළින් කාමරයක් මා ලබාගත්තා” රොසලී රේ පැවසුවාය,
ගිම්හානය පැමිණි විට රොසලී රේ රඟහලෙන් පිට වී දිග දූපතක මුහුද ආසන්නයේ පිහිටි කුඩා ගමකට ගියේය. ඇය එම නිවසේ නතර වී සිටිනා විට රෙවෙරෙන්ඩ් ආතර් ලිලෙ හමුවිය. රොසලී ඔහුට කිසි විටකත් ඇය නිළියක්ව සිටි බැව් නොකියා ජීවිතය පිටුපසින් තබාගත්තේය.
“ප්‍රථම වතාවට මං ඔහු දුටු විට එක්වරටම මම ඔහු සමග ප්‍රේමයෙන් බැඳුණා. ඔහු අපූරු මිනිසෙක් ඔහුට අපූරු කටහඬක් තිබුණා.”
“මසකට පමණ පසු අපි විවාහ වී කුඩා දේවස්ථානයකට ගොස් ගමේ ගෑනුන්ට උදව් කළා. ආතර් සහ මං දිගු චාරිකාවල යෙදුණා. ලෝකයේ තිබෙන අනර්ඝතම ස්ථානය තමයි ඒ කුඩා ගම”
“එක් උදෑසන නිවසේ සේවය කරන ගැහැනියක් ආතර් ගැන කතා කරන්නට පටන් ගත්තා. ආතර් මීට පෙර ප්‍රේමයෙන් වෙළී සිටි බවත්, එම ප්‍රේමය අසතුටෙන් අවසන් වූ බවත් ඇය කීවා”.
“ඔහුගේ මේසයෙහි ස්මාරකයක් තිබුණා. දිවා කාලයේදී මම ඒ ගැන ආතර්ගෙන් ඇසුවා.”
“ඒ මං ඔයා ගැන දැනගන්න ඉස්සර, කවදාවත් ඈ මුණ ගැසී නෑ. එය ඔයාට තියෙන මගේ ප්‍රේමයට වඩා වෙනස්.
“ඈ ලස්සනට හිටියද?’රොසලි ලී ඇසුවාය,
“ඈ ඉතාමත් ලස්සනට හිටියා.”
‘ඔයා ඇය නිතර දැක්කද?’
‘දහ වතාවක් පමණ’
“ඇයි ඔබ කවදා හෝ ඇය මුණ නොගැසුණේ’
“ඈ මට වඩා ඉහළින් සිටියෙ”
‘නමුත් ඒක ඉවරයි. ඔබ තරහ නෑ නේද?’
එම මධ්‍යහ්නයේදී ආතර්ට එළියට යාමට සිදුවිය. ඔහුගේ මේසය අගුළුලා තිබුණේ නැති නිසා ’රොසලි ලී මේසය විවෘත කර හෙමින් පෙට්ටිය එළියට ගෙන විවෘත කළේය.
‘ලී, මොනවද පෙට්ටියෙ තිබුණේ? ඩි ආමෙන්ඩ් ඇසුවා’
‘ඒක මගේ කහ පැහැති මේස් පටවලින් එකක්” රොසලි රේ මෙනවිය හඬමින් පැවසුවා’
ආතර් ලිලෙ හදවතින්ම ආදරය කර තිබුණේ නෘත්‍යශාලාවේදී දුටු රොසලි රේ කෙරෙහි බැව් ඔහු පණමෙන් සුරැකි කහ පැහැති මේස්පටවලින් අනාවරණය විය. රසිකයින් විසින් නළු නිළියන්ට හදවතින් ප්‍රේම කිරීමත් ඔවුන් පරිහරණය කළ වස්තූන්ට අසීමිතව ආදරය කිරීමත් දක්නට හැකියි. තමන් ආදාරය කළ නළු නිළියන්, ගායක ගායිකාවන් වියෝ වූ විට රසිකයන් හඬා වැටෙමින් දක්වන අසීමිත සෙනෙහස අප්‍රමාණයි. මෙම කෙටිකතාවට වස්තු විෂය වන්නේ එවන් ප්‍රේමණීය සංසිද්ධියක්- ඕ.හෙන්රි කෙටිකතාකරුවකු ලෙස ප්‍රබන්ධකරණයෙහිලා දක්වන අපූර්ව ප්‍රතිභාව සහ ධී ශක්තිය මෙම කෙටි කතාවෙන් මනාව විශද වේ.
මෙබඳු අපූර්ව අත්දැකුමෙන් හා පරිකල්පනයෙන් යුතු කෙටිම කෙටිකතා පහළොවකින් හා ඩැනියෙල් ඩිෆේ විසින් රචිත “රොබින්සන් කෲසෝ” දිගු වෘත්තාන්තයෙන් සමන්විත මෙම විදෙස් කෙටිම කෙටි කතා හා යොවුන් කතා සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී කුලතිලක කුමාරසිංහයන් විසින් උපයුක්ත සුඛනම්‍ය බස්වහර හා රමණීය දෙබස් කාණ්ඩ නිසා මෙම විදෙස් කෙටිකතා මහත් ආස්වාදනයෙන් යුතුව පහසුවෙන් පාඨකයාට රසවිඳීමට හැකිවීම වෙසෙසින් සඳහන් කළ යුතුය. මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් මෙබඳු දුෂ්කර පරිවර්තන කාර්යයන්හි නිබඳව යෙදෙමින් සිංහල පාඨකයාට ජගත් සාහිත්‍යයේ දොර කවුළු විවර කිරීම තුළින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට සිදු කරන මහාර්ඝ සාහිත්‍ය සම්ප්‍රදානය අපගේ නොමඳ පැසසුමට බඳුන්විය යුත්තේමය.
උදේනි සරත්චන්ද්‍ර