පුරා අඩසියවසක පමණ කාලයක් මුළුල්ලේ සිංහල භාෂාවේ අභිවෘද්ධිය පිණිස වාග් විද්‍යාත්මකව මෙන්ම පොදු ජන විඥානය අවදි කරමින් බසේ සරල සුගම බව රැක ගනු වස් මාහැඟි මෙහෙවරක් ඉටු කරන සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක සූරීන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන උපහාර සම්මානය අබිමුව කල්ගෙවන ඇසිල්ලෙහි එතුමන්ගේ මෙහෙවරින් බිඳක් සනිටුහන් කිරීමට මේ ලිපිය උපස්ථම්භක කර ගනිමි.
ජීවන තොරතුරු
1937 වසරේදී රඹුක්කන පුවක්මොටේ ගම්පියසේ උපත ලද මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා පුවක්මොටේ බෞද්ධ මිශ්‍ර පාසලෙන් ද, මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ද ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර ද්විතීක අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලබා ගත්තේය. 1957 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිය උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ එතුමා 1961 දී ප්‍රථම පෙළ ගෞරව සාමාර්ථ්‍යයක් සහිතව ශාස්ත්‍රවේදී උපාධිය සමත් විය. 1963 වසරේදී අධිශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වාග් විද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලැබ පසුව ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යායතනයෙන් න්‍යායාත්මක වාග් විද්‍යාව හා වාග් විද්‍යාවේ සිද්ධාන්ත පිළිබඳ වැඩිදුර පර්යේෂණවල නියැලෙමින් පශ්චාත් උපාධිය ලැබීය. 1980 වසරේදී ‘The word in Morden Literary Sinhala’ මැයින් තම දර්ශන විශාරද උපාධි නිබන්ධය කොළඹ විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කළේය. උසස් අධ්‍යාපනයත් සමග පර්යේෂණ කටයුතු ද සිදු කරමින් භාෂාව හා වාග් විද්‍යා ක්ෂේත්‍රයේ ඉදිරියටම පිය නැගූ එතුමා වෙත කොළඹ විශ්වවිද්‍යාලය මගින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරව පදවිය පිළිගැන්විණි.
වෘත්තීය තොරතුරු
පේරාදෙණිය සරසවියේ සහකාර කථිකාචාර්ය ධුරයෙන් ඇරඹුණු රාජකාරී ජීවිතයේ විවිධ කඩඉම් ජයගනිමින් සම්මානිත මහාචාර්ය ධුරය දක්වා පැමිණි අයුරු අපූර්ව වේ. කොළඹ සරසවි වාග් විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කිරීම, එහිම සිංහල අංශයට අනුබද්ධව අලුතින් පිහිටුවන ලද ජනමාධ්‍යය ඒකකයේ සම්බන්ධීකරණ කටයුතුවල වගකීම දැරීම, සිංහල අක්ෂර මාලාව, යුනිකේත අක්ෂර (UNICODE) ලෙස පරිගණක ලොවට හඳුන්වා දීම සඳහා විශේෂ දායකත්වයක් ලබා දීම, “අකුරු මිහිර” පොත් පෙළ හරහා පළමුවරට හෝඩි පොතකට ‘ෆ’ අකුර ඇතුළත් කිරීම, ජපානයේ වකෝ විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්ය ලෙස කටයුතු කිරීම, 2007-2011 වසරවල තායිලන්තය, කාම්බෝජය හා ලාඕසය යන රටවල් ත්‍රිත්වයේ තානාපති ධුරය හෙබවීම ආදීය එතුමන්ගේ රාජකාරී දිවියේ කටයුතු අතර සුවිශේෂී වේ. තමා කරන කවර කාර්යය වුවද දැඩි කැපවීමෙන් එහි උපරිම ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ඉටු කිරීම අප කතානායකවරයාගේ සිරිත විණි. ඒ නිසාම නොයෙක් වර තම මෙහෙවර වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන්නට ද එතුමාට හැකි විය.
රචනා කරන ලද ග්‍රන්ථ
මේ සියලු කටයුතු අතර ජීවමාන භාෂාවක් වන සිංහලයේ මහිමය කියාපෑම සඳහා ග්‍රන්ථ රාශියක් රචනා කිරීම ද කැපී පෙනේ. තම රට වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන්, තමා ලද දැනුම ඉදිරියට ගෙනයෑම සඳහා සරල බසින්, ඕනෑම පාඨකයකුට හොඳින් අවබෝධ වන සේ රචනා කිරීම ද මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ දක්ෂතාවක්ම වෙයි. එම ග්‍රන්ථ භාෂාව හා ව්‍යාකරණ, සංස්කෘතිය, ළමා සාහිත්‍යය වැනි විවිධ අංශ ඔස්සේ දිගහැරේ. බසක මහිම, රටක මහිම, සිත්තර මහිම, ජනප්‍රවාද, අකුරු මිහිර වැනි අංශ ඔස්සේ ඒවා රචනා වී තිබේ. භාෂාවක රටා සමුදාය, භාෂාවක භාවිතය හා විග්‍රහය, සමකාලීන සිංහලයේ-ශබ්ද විචාරය, නූතන සිංහල ව්‍යාකරණය: ‘අක්ෂර වින්‍යාසය’, සමකාලීන සිංහල ලේඛන ව්‍යවහාරය: ව්‍යාකරණ ප්‍රවේශය/ සන්ධි විග්‍රහය, සිංහල භාෂාවේ නව මුහුණුවර, නිවැරදි සිංහලය වැනි ග්‍රන්ථ භාෂාව හා ව්‍යාකරණ සම්බන්ධ ග්‍රන්ථ වේ. ‘බසක මහිම’ නමින් රචිත ග්‍රන්ථාවලිය මගින් සිංහල බසේ මහිමය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබී ඇත.
“‘බසක මහිම’ නම් වූ මේ පොත් පෙළේ අරමුණ ජීවමාන භාෂාවක් වන සිංහලයෙහි මහිමය කියා පෑමයි” වශයෙන් කතුවරයාම “අකුරු හා පිලි” නම් ග්‍රන්ථයේ පසුවදනෙහි සඳහන් කර ඇත.
භාෂාව වූ කලී නිරන්තර වෙනස්වීම්වලට බඳුන් වන බවත්, ඒ වෙනස්වීම් සමග අප ඉදිරියට යා යුතු බවත් මහැදුරුතුමන්ගේ අදහසයි. ඒ අරමුණ පෙරදැරි කරගෙන ඉහත සඳහන් පරිදි භාෂාවේ ව්‍යාකරණ ලක්ෂණ පැහැදිලි කරනු වස් ශාස්ත්‍රීය ලෝකයට භාෂා විද්‍යාත්මක පොත් රැසක් දායාද කර තිබේ.
එමෙන්ම සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් ද සරල බසින්, පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි කෘති රැසක් රචනා කර තිබේ. ‘රටක මහිම’ නමින් රචිත පොත් පෙළ ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන පිළිබඳ විස්තර සරලව ඉදිරිපත් කරන කෘති සමූහයකි. කවර තරාතිරමක පාඨකයකුට වුව ද ඒවා කියවා පහසුවෙන් අවබෝධ කරගත හැකිය. තවද, ‘සිංහල ජනවහර’ මගින් භාෂාවක රුව ගුණ එලෙසම රැක ගනු පිණිස බටහිරිකරණය හේතුවෙන් මැකී යන ජනවහර එක් රැස්කොට අනාගත පරපුර වෙනුවෙන් ග්‍රන්ථාරූඪ කොට තැබීම තම අරමුණ වූ බව පවසයි. ‘ගමක සුවඳ සිව් සිය ගව් ඇසේයා’, ‘හඬ වටා පද රටා’, ‘සිය ළඟ රූ සොබා’, ‘කිව්වම මොකද?’, ‘උඩරට සිංහලය’ ආදිය ජනවහරෙන් පෝෂිතව රචනා වූ කෘති වේ. සිංහල හෝඩිය, අකුරු හා පිලි, ණ කාර/ළ කාර සම්මතය, පද සාධනය, ප්‍රකෘති, උපසර්ග, තද්ධිත, ප්‍රත්‍යය, නාම පදය, ක්‍රියා පදය ආදිය ‘බසක මහිම’ කියාපාන මාහැඟි ග්‍රන්ථ වේ. සිංහල අක්ෂර මාලාව, ණ කාර / ළ කාර වින්‍යාසය, පද සන්ධි, පද නිර්මාණය, නාම පද නිර්මාණය, පද බෙදීම, අක්ෂර වින්‍යාසය, නිවැරදි සිංහලය ආදිය ‘සිංහල රීතිය’ නම් කෘති ගණයට වැටේ. සරලවත්, පැහැදිලිවත්, සනිදර්ශනවත්, මෙම ව්‍යාකරණ කෘති සියල්ල රචනා කර තිබීම ඒවායෙහි අගය වැඩිකරලීමට සමත් වේ.
‘රටක මහිම’ පොත් පෙළ මගින් රිදී විහාරෙ, දෙගල්දොරුව, මුල්කිරිගල, ජය ශ්‍රී මහා බෝධිය, අටමස්ථාන වැනි පූජනීය ස්ථාන පිළිබඳ තොරතුරු සැපයිණි. සරල බස් වහර ඒ ග්‍රන්ථයන්ට ආවේණික වූ ලක්ෂණයක්ව ඇත. ‘සිත්තර මහිම’ මගින් කැලණි විහාර සිතුවම්, දළදා මාලිගාවේ සිතුවම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි.
සිංහල භාෂාවේ වාග් විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව අවධානය යොමු කරන්නා සේම ගැමි දිවිය, ගැමි වහර පිළිබඳව ද එතුමා සිය මනස මෙහෙයවා තිබේ. සිංහල ජන වහරින් මතුවන ‘සිංහල ගමේ’ හැඩරුව මැනවින් සිත්තම් කිරීම පිණිස රචිත ‘ගමක සුවඳ සිව් සිය ගව් ඇසේයා’ කෘතිය ඒ සඳහා සාක්ෂ්‍ය දරයි. කතුවරයා කෘතියෙහි පසුවදනෙහි සඳහන් කරන පහත සඳහන් අදහස් ඒ බව සනාථ කිරීමට සමත්ය.
“සිංහල බස සඳුන් රුකක් වැන්න. එය වැඩි වැඩියෙන් විමසත්ම එයින් වඩ වඩාත් සුවඳ විහිදෙයි. සිංහල බසේ මේ සුවඳ හමා එන්නේ සිංහල ගමේ කෙතත්, කමතත්, හේනත්, මුහුදු වැල්ලත්, පන්සලත් හරහායි. සිංහල ගමේ සුවඳ ඔබටත් විඳගැනීමට අවස්ථාවක් සපයා දීම ‘ගමක සුවඳ සිව් සිය ගව් ඇසේයා’ නමැති මේ පොතේ අරමුණයි” (ගමක සුවඳ සිව් සිය ගව් ඇසේයා – පසුවදන).
ඒ යටතේ සොබාදහම, රට තොට, නම් ගම්, පන්සල, වෙදගෙදර, අත්කම් විස්කම් වැනි අංශ ඔස්සේ කරුණු සරලව මෙන්ම රසවත්ව ඉදිරිපත් කර තිබේ. අප මහැදුරුතුමන්ගේ රචනා විලාශය පාඨක සිත් ඇද බැඳ ගැනීමට සමත් වනු නොරහසකි.
ශ්‍රී ලංකා ගුවන්විදුලිය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ‘තුම්පත් රටා’ නම් වැඩසටහන සිංහල වෙහෙර විහාර, සිංහල
බුදු සමය, වශයෙන් නිර්මාණය වී තිබේ. ජේ.බී. දිසානායක සූරීන් ඒ පිළිබඳව පවසන්නේ,
“ගමක නියම හැඩරුව හඳුනාගැනීමට නම් ගැමියන් ඇසුරු කළ යුතුය. පූරුවේ වාසනාවක් නිසා මට මේ අවස්ථාව ඉබේටම මෙන් පෑදිණ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය සඳහා තුම්පත් රටා නම් වැඩසටහන නිර්මාණය කරනු පිණිස ලක්දිව සතර දිග්භාගයෙහිම ගම් දනව්වලට ගොස් එහි වෙසෙන හාමුදුරුවරුන් ද ගැමි ගැහැනුන් මෙන්ම පිරිමින් ද සමග කතාබස් කොට ඔවුන් දැන හඳුනා ගැනීමේ අවස්ථාව මට ලැබිණ.” (ගමක සුවඳ සිව් සිය ගව් ඇසේයා – පෙරවදන) වශයෙනි.
සිංහල භාෂාව පිළිබඳව ප්‍රාමාණික විද්වතකු වුවද ළමා සාහිත්‍යය කෙරෙහි ද මෙතුමන්ගේ අවධානය යොමු විණි. අකුරු මිහිර පොත් පෙළ මගින් ළමා ළපටියන්ට සිංහල හෝඩිය පිළිබඳ අවබෝධයක් ලබා
ගැනීමට අවස්ථාව සැලසිණි. වර්ණ රටා භාවිත කරමින්, චිත්‍ර සටහන් යොදාගෙන, ඇතැම් තැනක පද්‍ය ස්වරූපයෙන් එහි කරුණු සංග්‍රහ කොට ඇත. කුඩා දරුවන්ගේ සිත් ඇද බැඳ ගැනීමට ඒ රචනා විලාසය සමත් වෙයි. සිංහලට පමණක් සීමා නොවී ඉංග්‍රීසි බසින්ද පොත් රැසක් රචනා කර ඇත. ඒ අතර Language and Commonsense, National Languages of Sri Lanka, Water in Culture – The Sri Lankan Heritage, A Unique Indo-Aryan Language, Once Upon a Time ( How Gamarala went to Heven)”, ආදී කෘති රැසක් වෙයි.
ලැබූ සම්මාන
මේ සියලු කටයුතු තුළ දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වීමට ද එතුමා සමත් විය. ඒ අතර කොළඹ සරසවියෙන් පිරිනැමුණු සාහිත්‍යශූරී සම්මානය, ශ්‍රී ලංකා රජයෙන් පිරිනැමූ දේශමාන්‍ය ගෞරව නාමය, කොළඹ සරසවියෙන් පිදූ සම්මානිත මහාචාර්ය ගෞරව පදවි නාමය (2003), තායිලන්ත රජය විදේශිකයකුට පිරිනමන එරට ඉහළම සම්මානය ලෙස හැඳින්වෙන “කල්‍යාණ මිත්‍ර සම්මානය” නම් වන Friend of Thailand සම්මානයෙන් පිදුම් ලැබීම ඉන් කිහිපයකි.
දෙස් විදෙස් රටවල් රැසක සේවයෙහි
නියුතු ගෝල බාලයන් රැසක් ද අපේ කතානායකතුමාගේ භාෂා ඥානයෙන් පෝෂිතව කටයුතු කරනු දක්නට ලැබේ. එය එතුමාගේ සතුටට කරුණක්ම වනු ඇත. සැමවිටම සිනහමුසු මුහුණින්, විහිළුතහළුවලින් පිරි කතා විලාසය සැම සිත් ඇද බැඳ ගැනීමට සමත්ය. නිවසට වී ඉසිඹුලමින් පසු වුව ද ජනමාධ්‍යය තුළ ආරාධිත වැඩසටහන්වලට තවමත් සම්පත් දායකත්වය දැක්වීමට තරම් එතුමා කාරුණිකය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු වූ භාෂා සැලසුම්කරණ කටයුතු සඳහා ලබා දුන් දායකත්වය ඉමහත්ය. දැනටත් ග්‍රන්ථකරණයෙහි යෙදෙමින් සිය විවේකය ගත කිරීමට අප මහාචාර්යතුමා කටයුතු කරමින් සිටි. එමෙන්ම පැන නගින භාෂා ගැටලු ද නිරාකරණය කරමින් තම දැනුම තවමත් අන්‍යයන්ට බෙදා දීම එතුමාගේ සිරිතයි.
දිවි ගමනේ අසූඅට වන සැතපුම් කණුව පසු කළ මහාචාර්ය ජේ.බී. දිසානායක සූරීන්ට තවත් චිරාත් කාලයක් අප සිංහල භාෂාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට දිරිය, ශක්තිය ලැබේවා! යි පතමු.
සමිතා විද්‍යාසේකර
නියෝජ්‍ය කර්තෘ
සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය