කැලණිය (විදුලකර) සරසවිය අරඹා ජුනි 17 වැනි දිනට වසර 66ක් සම්පූර්ණවීම නිමිත්තෙනි.
හෙළයන් සතුවූ මහාසම්ප්‍රදායට නව ජීවයක්
අනුරාධපුර යුගයෙන් ආරම්භ වුණ දේශීය අධ්‍යාපන රටාව දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරා ගුණ නැණ බෙලෙන් හෙබි පූර්ණ පෞරුෂ සංවර්ධනයෙන් සුපෝෂිත මානව ප්‍රජාවක් දැයට බිහි කරමින් පැවැත ආ බවට ඉතිහාසගත තොරතුරු සාක්ෂ්‍ය දරයි. දේශීය හා විදේශීය ආක්‍රමණවලට සාර්ථකව මුහුණදී ජයග්‍රහණ අත්පත් කරගනිමින් පැමිණි එකී මාවත, ව්‍යවහාර වර්ෂ 1505 පෘතුගීසි ආක්‍රමණයෙන් පසුව හෙළයන් සතු මහාසම්ප්‍රදායන් කෙමෙන් වියැකී ගොස් මහනුවර යුගය වන විට විශාල පරිහානියකට පත්වූ බව නොරහසකි. ජාතියේ පිනට පහළවූ වැලිවිට අසරණසරණ සරණංකර මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ නැවත ඒ විනාශ මුඛයට ගිය දේශීය අධ්‍යාපනයත් සම්‍යක් සම්බුද්ධ ශාසනයත් නඟාසිටුවන්නට ගත් උත්සාහය අතිශයින්ම ප්‍රශංසාත්මකය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බිහිවූ රත්මලානේ පරමධම්ම චේතිය පිරුවනෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල මහාස්වාමීන්ද්‍රයෝ ව්‍යවහාර වර්ෂ 1873 දී කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරුවනත්, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහාස්වාමීන්ද්‍රයෝ ව්‍යවහාර වර්ෂ 1875 නොවැම්බර් 01 වැනි දින පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන (විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව) ත් ආරම්භ කළහ. වර්තමාන පිරුවන් අධ්‍යාපනයේ මූලස්ථාන ලෙස හඳුන්වනු ලබන මෙම පිරුවන් දෙක නිසා නැවත හෙළයන් සතු මහාසම්ප්‍රදාය සුරක්‍ෂා කොට ප්‍රතිපෝෂණය කිරීමට සමත් විය.

බටහිර ආක්‍රමණ නිසා ලක්දිව පැළපැදියම් වුණු මිෂනාරී අධ්‍යාපනය හේතුවෙන්, මෙරට උසස් අධ්‍යාපනය සඳහා අවකාශය හිමිව තිබුණේ ඉංග්‍රීසි භාෂාව දැන උගත් පිරිසකටය. බටහිර අධ්‍යාපන ක්‍රමවේදයනට අනුව උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් දේශීය චින්තනය වෙනුවට විදේශීය චින්තනයන් මත හැඩ ගැසුණු මානව ප්‍රජාවක් ජාතියට බිහිවීමේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලාංකේය ජාතියට, ආගමට, භාෂා ශාස්ත්‍රාදියට මෙන්ම අපේකමටත් සැබවින්ම ආදරය කරන, ගෞරව කරන පිරිසක් නිර්මාණය නොවී අපේකමට වින කරන බටහිරට ගැති පරපුරක් බිහිවීමයි.

දේශීය අධ්‍යාපනයට මුල් තැන දෙමින් විද්‍යෝදය විද්‍යාලංකාර පිරුවන් බිහිවීමෙන් අනතුරුව යළිත් සියවස් ගණනාවක් රැකගෙන ආ දේශීය අධ්‍යාපනයට නව පණක් ලැබිණි. ඉන්දියාවේ නාලන්දා, වික්‍රමශීලා වැනි අධ්‍යාපන ආයතන මට්ටමටම දියුණුව තිබුණු විද්‍යෝදය, විද්‍යාලංකාර පිරුවන් මූලික කොටගත් ප්‍රාචීන අධ්‍යාපනය නූතන විශ්වවිද්‍යාලය යැයි හඳුන්වනු ලැබූ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන විෂය නිර්දේශ හා සසඳන කල, ඉතා ඉහළ තත්ත්වයක පැවැතීම දේශීය අධ්‍යාපනයෙහි තරම මැනවින් අවබෝධ කරගත හැකිය. සිංහලය රාජ්‍යය භාෂාව කිරීමත් සමගම සිංහල භාෂාවෙන් වැඩ කළ හැකි පිරිසකගේ අවශ්‍යතාව දැඩි විය. ඒ සඳහා අවශ්‍ය පිරිස නිර්මාණය කරගැනීම රජය සතු වගකීම විය. වගකිවයුත්තෝ නොයෙක් නොයෙක් යෝජනා, සාකච්ඡා ගොඩනගන්නට වූහ. ඒ සැම දෙයකම අවසාන ප්‍රතිඵලය වූයේ විද්‍යෝදය, විද්‍යාලංකාර පිරුවන් මූලස්ථාන දෙක විශ්වවිද්‍යාලය මට්ටමට උසස් කරවීමයි. ඒ අනුව ව්‍යවහාර වර්ෂ 1959 දී මෙම පිරුවන් දෙක විශ්වවිද්‍යාලය මට්ටමට උසස් කෙරිණි. සිංහල භාෂාව මාධ්‍යය කොටගෙන දේශීය වශයෙන් උසස් අධ්‍යාපනයට දොර කවුළු විවෘත කරමින් විශ්වවිද්‍යාලය දෙකක් ජාතියට ජනිත වීම නිසා 1959 වසර මෙරට ඉතිහාසයේ සුවිශේෂ වසරක් බවට පත් වී ඇත. ජාතික විශ්වවිද්‍යාලයන් දෙකක් වශයෙන් ලංකාවේ පමණක් නොව ලෝකය හමුවේද විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීම් අතර කැපීපෙනෙන ස්ථානයන්හි රැඳෙමින් අද එකී මහාවිද්‍යාස්ථාන දෙකම ස්වකීය අභිමානවත් 66 වැනි වසර පසුකරමින් සිටියි.

කථානායකවරයාගේ ප්‍රකාශය නිවැරදි විය යුතුයි.
“සරසවි අධ්‍යාපනය පොදු ජනතාවට විවර වුණේ විදුදය සරසවියෙන්” යන මැයෙන් 2025 අප්‍රේල් මස 03වෙනි දින ලංකාදීප පුවත්පතෙහි පළවූ වාර්තාවෙහි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධානය කළ ‘ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප 2025 විද්වත් අභිනන්දන සම්මාන” ප්‍රදානෝත්සවයේදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් සිදුකළ දේශනයෙහි එකී අදහස නිවැරදි විය යුතුයි. මන්ද විදුදය විදුලකර පිරුවන් දෙක සරසවි තත්ත්වයට පත්කර ගැනීමේ කාර්යයෙහි පෙරමුණ ගෙන ක්‍රියා කළෝ විද්‍යාලංකාරිකයෝය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ආරම්භයෙහි එහි අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ විද්‍යාලංකාර පස්වෙනි පරිවේණාධිපති සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරුවන් විශ්වවිද්‍යාලය තත්ත්වයට උසස් කිරීම සම්බන්ධව අපේ ගමන් මග යන කෘතියේදී සඳහන් කර ඇති ප්‍රකාශයක් පමණක් මෙහිදී ගෙනහැර දක්වන්නේ උක්ත ප්‍රකාශයෙහි සාවද්‍ය නිරවද්‍ය බව යමකුට මැනවින් අවබෝධ කරගැනීමට එයම ප්‍රමාණවත් යැයි හැඟෙන හෙයිනි.

පිලිප් ගුණවර්ධන ඇමැතිතුමා හා ඩබ්ලිව්. දහනායක ඇමැතිතුමා ඇතුළු මහජන රජයේ අමාත්‍ය මණ්ඩලයටත් උවමනා වූයේ විද්‍යාලංකාර පිරිවෙනට හා විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන්ටත් කෘතගුණ සැලකීමක් වශයෙන් විශ්වවිද්‍යාල තත්ත්වය ලබා දීමයි. ඇමැති මණ්ඩලයම සම්මත කළේ එයයි; විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් කිරීමයි. ඇමැති මණ්ඩලයේ එම තීරණය දැනගත් විද්‍යෝදය පිරිවෙන විද්‍යෝදයටත් විශ්වවිද්‍යාල තත්ත්වය ලැබිය යුතු යැයි ආදි ශිෂ්‍යයනුත් සමග එකතු වී කළ සටනට විද්‍යාලංකාර පිරිවෙනත් අපේ ආදි ශිෂ්‍යයනුත් සමග එක් වී පුවත්පත් මගින් හා රැස්වීම් ආදියෙන් ද උදා කළ බලවේගයේ බලයෙන් ඇමැති මණ්ඩලය මුල් තීරණය වෙනස් කළ නිසා මේ රටට පිරිවෙන් විශ්වවිද්‍යාල දෙකක් ලැබුණේය. විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන්වහන්සේලා වෙහෙස මහන්සි වී විවිධ දුක් ගැහැට පීඩා බාධක මාරක අභිභවාගෙන, මේ රටේ සමාජවාදී මාර්ගය එළිපෙහෙළි නොකළා නම්, උක්ත කාරණය සම්බන්ධයෙන් මේ දැක්වූ උද්ධෘත පාඨය ප්‍රමාණවත් හෙයින් ඒ හා සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට මෙහිදී අදහස් නොකෙරේ. එම නිසා විදුදය විදුලකර සරසවි ආරම්භය පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුක්තව කතාබහ කිරීම, විදුදය විදුලකර සරසවි බිහිකිරීමට ස්වකීය ජීවිත පරිත්‍යාගයෙන් පුරෝගාමීව ක්‍රියාකළ අයට කරනු ලබන ගෞරව පූර්වක කෘතගුණ සැලකීමකි.
විදුදය විදුලකර සරසවි ගමන් මග
පිරුවන් විශ්වවිද්‍යාලය මට්ටමට උසස් කිරීම සම්බන්ධ සමාජ කතිකාවතෙහි, සාකච්ඡා කමිටු මාර්ගයෙන් සිදුවුණු කරුණු කිහිපයක් කෙරෙහි පමණක් මෙහිදී අවධානය යොමුකෙරේ. 1956 වර්ෂයේ අප්‍රේල් මාසයේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව, ස්වකීය මැතිවරණ පොරොන්දුවක්වූ “අධ්‍යාපනය අතින් ඉතා උසස් තත්ත්වයක් දරන පිරිවෙන් කිහිපයක් තෝරා ගෙන ඒවා උසස් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතුය” යන නිර්දේශය ක්‍රියාත්මක කිරීමක් වශයෙන් ඒ සඳහා අවශ්‍ය කරුණු සොයා බලන ලදී. ඒ අනුව නව විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව 1956 ජුනි මස 01 වැනි දින අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක මහතා සමග මුල්වරට සාකච්ඡා කිරීමෙන් අනතුරුව විජයානන්ද ඇමැතිවරයා විසින් 1956 ජුනි 21 වැනි දින ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කාරක සභාවක් පත් කරන ලදී. එම කාරක සභාව එල්. එච්. මෙත්තානන්ද මහතා ප්‍රමුඛ තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත විය. මෙම කමිටුව ආරම්භයේදී සිංහල විශ්වවිද්‍යාල උපාධි පිළිබඳ කමිටුව ලෙස නම් කර තිබුණද පසුව එය සිංහල උපාධි හා පිරිවෙන් විශ්වවිද්‍යාල කමිටුව ලෙස වෙනස් කර ඇත. මෙම කාරක සභාව වෙත,
- විශ්වවිද්‍යාල උපාධිය සිංහල මාධ්‍යයෙන් ලබාදීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා දැයි සෙවීම. 02. ලංකාවේ පිරිවෙන්වල විශ්වවිද්‍යාල තත්ත්වය ප්‍රදානය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා දැයි සොයා බැලීම යන ප්‍රධාන වගකීම් දෙක පිළිබඳව වාර්තා කිරීමට භාර විය. ඒ අනුව,
- අලුත් විශ්වවිද්‍යාල ගොඩනැඟිලි සඳහා ලොකු පිරිවැයක් දරන්නට සිදු වීම.
- සිංහල මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලබා දිය හැකි ගුරුවරුන් හිඟවීම
- බුද්ධාගම, භික්ෂූන්ට, දේශීය සංස්කෘතියට සැලකීම යන මැතිවරණ පොරොන්දුව ක්‍රියාවට නැංවීමට හැකිවීම
යන නිර්දේශ කිහිපයක් සමඟ එකී කාරක සභාව ස්වකීය වාර්තාව 1956 ඔක්තෝම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කෙරිණි. ඒ හා සම්බන්ධ විවිධ කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරුවන් දෙකට විශ්වවිද්‍යාලය තත්ත්වය ලබාදීම සුදුසු බව මෙම කමිටුව විසින් නිර්දේශ කර ඇත.
විදුලකර සරසවි කෙටුම්පත සකසයි
විද්‍යෝදය විද්‍යාලංකාර පිරුවන් දෙක විශ්වවිද්‍යාලය මට්ටමට උසස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා හා කෙටුම්පත් සකස් කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා පිරුවන් දෙකට දන්වාලීමෙන් අනතුරුව එහි ප්‍රතිඵලයක් වශයෙන් 1942 අංක 20 දරන ලංකා විශ්වවිද්‍යාලය පනත ආශ්‍රය කර ගනිමින් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කෙටුම්පත සකස් කර ගන්නා ලදී. මෙම කෙටුම්පත නිර්මාණය කිරීමේදී,
- පෙර අපර දෙදිග උසස් අධ්‍යාපන අංශ ආරක්ෂා කිරීම.
- සිංහල සංස්කෘතියට ගැළපෙන හා සිංහල භාෂාවෙන් වැඩ කටයුතු කිරීමට කැමැති උපාධිධාරීන් පිරිසක් බිහි කිරීම.
යන අරමුණු මූලික කොටගෙන සැකසුණු එම වාර්තාව එවකට විද්‍යාලංකාර පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා විද්‍යාලංකාර සභාවේ සභාපති දොස්තර නිකලස් ආටිගල යන දෙපළගේ අත්සනින් යුතුව 1956 අගෝස්තු මස 30 වැනිදා බ්‍රහස්පතින්දා දින අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක මහතා වෙත භාරදෙන ලදී. එම අවස්ථාවට කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, කොටහේනේ ප්‍රඥාකීර්ති, බඹරැන්දේ සිරි සීවලී යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාද ජුලියස් ලැනරෝල්, ආචාර්ය නන්දදේව විජේසේකර, ඩී. ඒ. ජයතිලක සහ ඩී. සී. ජයතිලක යන මහත්වරුද සහභාගි වූහ.
විද්‍යෝදය පිරුවනද සරසවි කෙටුම්පත සකසයි
විද්‍යෝදය පිරුවන මගින්ද විද්‍යෝදය විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා පනවනු ලබන ආඥා විධි යනුවෙන් පිටු 56 කින් යුත් ආදර්ශ පනත් කෙටුම්පතක් 1956 ඔක්තෝම්බර් මස 02 වැනි දින අධ්‍යාපන ඇමැතිතුමා වෙත පිළිගන්වා ඇත. ඒ සඳහා වැලිවිටියේ සෝරත නාහිමි, පලන්නෝරුවේ විමලධම්ම, බලගල්ලේ විමලබුද්ධි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ඩී. පී. ජයසේකර යන විද්වත්හු ද සහභාගි වී ඇත.
විද්‍යාලංකාර සභාව සහ විද්‍යාධාර සභාව මගින් සකස් කොට ඉදිරිපත් කරන ලද කෙටුම්පත්වලට අනුකූලව ව්‍යවස්ථා කටයුතු සම්පාදනය කරන ලෙස ඇමැතිවරයා විසින් 1956 නොවැම්බර් 12 වැනි දින කැබිනට් සංදේශයකින් නිර්දේශ කර ඇත. ඒ අනුව සැකසුණු විද්‍යෝදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කෙටුම්පත 1958 සැප්තැම්බර් මස 16 වැනිදා විජයානන්ද දහනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
සරසවි කෙටුම්පත්හි ආදිකර්තෘවරු විද්‍යෝදය විද්‍යාලංකාර සභා දෙකයි
මෙම කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 1958 සැප්තැම්බර් මස 16-17 යන දෙදින තුළ පැවැතිණි. කෙටුම්පත් විවාදයේදී කෙටුම්පත පිළියෙල කිරීම සම්බන්ධයෙන් විජයානන්ද දහනායක මහතා මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත.
“මම මුලින්ම කියන්න කැමතියි මේ පනත මා ඉදිරිපත් කළාට කැබිනට් මණ්ඩලය මෙය අනුමත කළාට – මෙය සකස් කළේ විද්‍යාලංකාර සහ විද්‍යෝදය යන සභා දෙක බව. මෙය මා මුලින් ප්‍රකාශ නොකළත්, රටේ සියලු දෙනාම ඒ ගැන දන්නවා.
ඒ කෙටුම්පත් ඉදිරිපත් කළ පිළිවෙළ ගැන මම වචනයක් කියන්න කැමැතියි. මේ රටේ තිබෙන විශ්වවිද්‍යාල පිළිබඳ පනතත් ඉන්දියාව, එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවල ඇති විශ්වවිද්‍යාල පිළිබඳ පනතකුත් ගෙන සංසන්දනය කොට බලා, පැරණි පොත පතිනුත් කරුණු ගෙන ඉන්දියාවේ තක්ෂිලා, නාලන්දා යන විශ්වවිද්‍යාලවලත් අනුරාධපුරයේ මහාවිහාරය හා අභයගිරිය යන පිරිවෙන්වලත් පරිසරය පිළිබඳව නොයෙකුත් පොත්වලින් කරුණු ගෙන මේ සභාවල් දෙක ඒ කෙටුම්පත් ඉදිරිපත් කළ බව මා කියන්න කැමතියි. මේ කෙටුම්පතේ ආදි කර්‍තෘවරයා නීතිය අනුව අධ්‍යාපන ඇමැතිවරයා වුවත්, සත්‍යය නම් මේ කෙටුම්පතේ ආදි කර්තෘවරු විද්‍යාලංකාර සහ විද්‍යොදය සභා දෙකයි”
කෙසේ වෙතත් විවිධ තර්ක, විතර්ක, විවේචන හා වාද විවාද මධ්‍යයේ අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක, අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ අප්‍රතිහත ධෛර්යය හා උත්සාහය නිසා 1958 සැප්තැම්බර් 17 වැනි දින මෙම විශ්වවිද්‍යාලය පනත පාර්ලිමේන්තුවේදී සම්මත විණි.
විද්‍යෝදය විශ්වවිද්‍යාලය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පනත සම්මත වෙයි
මෙම පනත ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලැබුණේ 1958 දෙසැම්බර් 19 වැනි දිනදීය. එම අනුමැතියෙන් පසු මෙම පනත “1958 අංක 45 දරන විද්‍යොදය විශ්වවිද්‍යාලය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පනත” ලෙස හැඳින්විණි. මෙම පනත 1958 දෙසැම්බර් 31 වැනි දින ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලදී. නව පනත සම්මත වීමත් සමඟම 1959 ජනවාරි 01 දින සිට පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙසද මාළිගාකන්ද විද්‍යෝදය පිරුවන, විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙසද ස්ථාපනය කරන ලදී.
විද්‍යාලංකාර පිරුවන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය බවට පත්වීම නිමිත්තෙන් පවත්වනු ලැබූ උත්සවය හා ඒ හා සම්බන්ධ වාර්තා කිහිපයක් සමග සරසවියෙහි ආරම්භක අරමුණු කිහිපයකට මීළඟට අවධානය යොමු කෙරේ.
විදුලකර සරසවියෙහි සමාරම්භය උත්සවශ්‍රීයෙන්
විදුලකර සරසවියෙහි ආරම්භක උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ඉන්දීය ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහතාය. ඔහු ඇතුළු සම්භාව්‍ය පිරිස පිළිගනිමින් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම උපකුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කළ පිළිගැනීමේ කථාව ද අපහට සරසවි බිහිකරවීමෙහි අරමුණු අවබෝධ කරගැනීමට රුකුලක් සපයනු ඇත.
“විශ්වවිද්‍යාලයක් වශයෙන් මේ විද්‍යා පීඨය කෙරෙහි පැවරෙන භාරදූර වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට මේ රටේ අධ්‍යාපන සේවාව පිළිබඳව අපේ දීර්ඝ අත්දැකීම් උපයෝගී කර ගැනීමට අපි උත්සාහ ගනිමු. ඒ පිළිබඳව ධර්ම ශාස්ත්‍ර රසික සැම දෙනාගේත් සහයෝගය අපි අපේක්‍ෂා කරමු. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයත්, පුරාතන මහා විහාර, නාලන්දා, වික්‍රමශීලා, විජයබාහු ආදි කීර්තිධර විශ්වවිද්‍යාල පීඨයන් මෙන්ම ආගම් භේද, කුල භේද, ජාති භේද විරහිතව නිදහස් ආයතනයක් වශයෙන් බුද්ධිය හා විචාරය හා සේවාව හා පරිත්‍යාගය චරිතය හා ආදර්ශය මුල් තන්හිලා සලකා ගෙන පැවැත්වීමට අපි හැම විටම ප්‍රයත්න දරමු. ඉන්දියාවේ ස්වාධීනත්වය සඳහා දිවි පුදා ක්‍රියා කළ මහත්මා ගාන්ධිගේ ප්‍රතිමූර්තිය වැනි වූ රාෂ්ට්‍රපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් තුමා අපේ මේ උත්සවයට පමුණුවා ගත හැකි වූයේ ආග්‍රාණ්ඩුකාරතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උත්සාහය නිසාය. ඉන්දියාවේ රාෂ්ට්‍රපති පදවිය වැනි වගකීමක් උසුලන මෙතුමා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ මංගල උපාධි සම්මුති කථාව පවත්වන ලෙස අප කළ ආරාධනාව පිළිගැනීම ගැන අපි එතුමාට කෘතඥ වෙමු. රාහුල සාංකෘත්‍යායන ආදි කීර්තිධර භාරතීය පඬිවරුන්ගේ ගුරු භූමිය වූ මේ විද්‍යා පීඨය ථෙරවාද බුද්ධාගම පිළිබඳ අද්විතීය කේන්ද්‍රස්ථානයක්ව පවතී. එබැවින් භාරත ලංකා දෙරට අතර පවත්නා චිරන්තන සම්බන්ධය තහවුරු වීමක් මේ විද්‍යා පීඨය හා භාරතීය පඬිවරුන් අතර පවත්නා සම්බන්ධය දැඩි කරලීමත් රාෂ්ට්‍රපතිතුමාගේ පැමිණීම විශේෂ හේතුවක් වනු ඒකාන්තය.”
ශුභ මොහොතින් පොල්තෙල් පහන් සිළු දැල්වෙයි
උපකුලපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව මඟුල් බෙර හා ජයසංඛ නාද මධ්‍යයෙහි, මෙම උත්සව සභාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ඉන්දීය ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මැතිතුමාගේ සුරතින් 1959 ජුනි 17 වැනිදා බදාදා ප.ව. 4.15ට යෙදුණු ශුභ මොහොතින් පොල්තෙල් පහන් සිළු දල්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ආරම්භ කෙරිණි.
විදුලකරට ආගන්තුකයෙක් නොවුණු විදුලකර සරසවියට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සමාරම්භක උත්සවයේදී සිදු කරන ලද තවත් සුවිශේෂ කර්තව්‍යයක් ලෙස විශේෂ අමුත්තන් හයදෙනකුට සම්මාන උපාධි ප්‍රදානය කිරීම සඳහන් කළ හැකිය. මෙම උපාධි සම්මුති උත්සවයේදී ඉන්දීය ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්, අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක, දොස්තර ශ්‍රීමත් නිකලස් ආටිගල යන මහත්වරුන්ට “නීති චක්‍රවර්ති” උපාධිය ද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ට “සාහිත්‍ය චක්‍රවර්ති” උපාධිය ද ප්‍රදානය කිරීමද සුවිශේෂ සංසිද්ධියක් විය.
නීති චක්‍රවර්ති උපාධිය පිළිගැනීමෙන් අනතුරුව මෙම සමාරම්භක උත්සවයෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් ආරාධනා ලැබ සපැමිණි රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා සභාව අමතමින් මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත.
“මම විද්‍යාලංකාරයට අමුත්තකු නො වෙමි. මා මීට වසර 30 කට පෙර 1928 ජනවාරි මාසයේ දී විද්‍යාලංකාර පිරිවෙනට පැමිණ සාහිත්‍ය හා ඉතිහාසය පිළිබඳ හසල දැනුමක් ඇති ඉන්දියාව පුරා සුප්‍රකට රාහුල සාංකෘත්‍යායන පඬිතුමා සමඟ දින කිහිපයක් ගත කළේය. විද්‍යාලංකාරය වනාහි ශත වර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ බුද්ධිමත් පැවිදි ස්වාමීන් වහන්සේලා විසින් පරිහරණය කරන ලද උසස් ශාස්ත්‍රීය ආයතනයකි. වේගයෙන් ගමන් කරන ශත වර්ෂයක ඇති වන තෙහෙට්ටුවත් විඩාවත් සංහිඳවා ගැනීම සඳහා බුද්ධාගම වැනි ජීවිතයට ප්‍රයෝජනවත් දහමක ප්‍රතිපත්ති හා සිද්ධාන්ත උගන්වනවා මෙන්ම ඒවා ගැන සිත යොමු කරවන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය වැනි ක්‍ෂේම ස්ථානයක් ඉතා අගනේය. විද්‍යාලංකාරයේ මේ නිශ්චල ප්‍රශාන්ත පරිසරයේ දී, සියලු ගුණයන්ගෙන් උසස්ම ගුණය වන ප්‍රඥා සම්පත්තිය දියුණු කරගැනීම ඔබට සාර්ථකව කළ හැකිය.”
සිංහල භාෂාව රැකීම විදුදය විදුලකර සරසවිවලට බාරයි
‘සිංහල භාෂාව රැකගැනීම’ විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ ප්‍රධානතම අරමුණ බව විශ්වවිද්‍යාලය ආරම්භවීමෙන් අනතුරුව පසුදින දිනමිණ පුවත්පතෙහි පළවුණු ප්‍රධාන ශීර්ෂ පාඨයෙන්ම පැහැදිලි වේ.
“සිංහල භාෂාව රැකීම විදුදය විදුලකර සරසවිවලට බාරයි”
විශ්වවිද්‍යලය ආරම්භයේදී එහි පර්යේෂණ මහාචාර්යවරයා වූයේ සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. උන්වහන්සේ විශ්වවිද්‍යාලයෙහි අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කළහ. පරිපාලන කටයුතු මෙන්ම ඉගැන්වීමේ කාර්යය ද මැනවින් ඉටුකළ උන්වහන්සේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් අමතා කළ දේශනයක මෙසේ සඳහන් වේ.
අපේ විශ්වවිද්‍යාල ආඥා පනතේත් තියෙනවා පළමුවෙනි පරමාර්ථය හැටියටම, මේ විශ්වවිද්‍යාල දෙකෙන් සිංහල සංස්කෘතියත් බෞද්ධ සංස්කෘතියත් දෙක උසස් කිරීම දියුණු කිරීම වෙනුවෙන් ක්‍රියා කළයුතු බව. ඒ නිසා අපේ ශිෂ්‍යයන් කොයි දෙයක් ගැන වුවත් බෞද්ධ සංස්කෘතියටත් සිංහල සංස්කෘතියටත් ගැළපෙන අන්දමට කටයුතු කරන්ටත් පුරුදු පුහුණු වෙන්ට ඕනෑ. ඉගෙන ගන්ට ඕනෑ.
එමෙන්ම,
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට අපේ ශිෂ්‍යයන් පුරුදු වෙන්ට ඕනෑ මෙන්න මෙහෙමයි. සාහිත්‍යය ගැනත්, සාහිත්‍ය විචාර ගැනත් එපමණක් නෙවෙයි. අනික් කොයි කොයි විෂයක් ගැනත් ඇති නොයෙක් මත විරුද්ධ මත, අහන්ට ඉවසන්ට විමසන්ට පුරුදු වෙන්ට ඕනෑ. මතභේද ඇති කරුණු දැනගෙන, ඉගෙන ගෙන ඒ එකකටවත් අමුතු පක්‍ෂපාතකමක්, ගැතිකමක්, ලැදිකමක් නැතුව, ඒ වගේම අමුතු විරුද්ධකමක්, එදිරිවාදුවක් අපහාස කිරීමකුත් නැතුව, හේතු යුක්ති අනුව ශාස්ත්‍රානුකූලව යමක් හරියි, හොඳයි, ගැළපෙයි, කරුණු සහිතයි කියා වැටහෙනවා නම් ඒක භාරගන්ට පුරුදු වෙන්ට ඕනෑ. නිසරුයි, නුසුදුසුයි, හේතු යුක්ති විරහිතයි යනු කියා ඔප්පු වෙන එක ප්‍රතික්‍ෂේප කරන්ට පුරුදුවෙන්ට ඕනෑ. උගත්කම කියන්නේ ඒකයි. ඉගෙනීමය කියන්නේ ඒකයි. හැදීමය කියන්නේ ඒකයි. උසස් අධ්‍යාපනය කියා කියන්නේත් ඒකම විය යුතුයි. කරුණු එකින් එක සංසන්දනය කරලා, විභාග කරලා, විමසා බලා යථාතත්වය දැනගෙන හොඳ නොහොඳ තෝරා බේරාගෙන එයින් ඉතාම හොඳ එක පිළිගැනීමමයි උසස් අධ්‍යාපනයේ පරමාර්ථය වියයුතු.
එහෙම නැතුව මොන හේතුවක් නිසා හරි අගතියට ගිහින්, පැත්තක් අරගෙන, පැත්තක් බදාගෙන අනික් මතවල, අනික් පැතිවල තියෙන හොඳ දේවල් පවා බාර නොගන්නවා නම්, ඒවාට නින්දා ගර්‍හා කරනවා නම්, පිළිකුල් කරනවා නම්, තමන්නේකම, හිතවත්කම පක්‍ෂපාතකම නිසා නිසරු දේත් සරු කොට භාරගන්නවා නම්, කියාපානවා නම් ඒක උසස් අධ්‍යාපනය වෙන්ට බැහැ.
මෙම කාරණා පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපට හැඟෙනුයේ සිංහල භාෂාව හා තදනුබද්ධ සංස්කෘතියට අනුගතවූ මානවහිතවාදී, විචක්‍ෂණශීලි, උගත්, බුද්ධිමත් ශිෂ්‍ය පිරිසක් රටට දායාද කිරීම විශ්වවිද්‍යාලයේ වගකීමවූ බවයි. එම පරමාර්ථවලට වර්තමානය තුළ කෙතරම් සාධාරණයක් ඉෂ්ටවී ඇත්දැයි විමසා බැලිය යුතු නොවේද? බටහිර න්‍යායන් මුල්කරගෙන ක්‍රියාත්මක වුණු අධ්‍යාපන රටාව වෙනුවට ජාතික අවශ්‍යතාව මත බිහිකෙරුණු පිරුවන් විශ්වවිද්‍යාලය දෙක තුළිනුත් නැවත පෙර මෙන් බටහිර න්‍යායන්ට මුල්තැන දීමට යෑමෙන් සිදුවනුයේ කුමක්ද යන්න අප තේරුම් ගත යුතුව ඇත. එය විශ්වවිද්‍යාලය ආරම්භක මුඛ්‍ය අරමුණු පසෙකලා බටහිරකරණය හා මුහුව තරඟකාරි උසස් අධ්‍යාපන රටාවකට ප්‍රවේශවීමක් ලෙස පෙන්වා දිය හැකිය. අප විශ්වවිද්‍යාලය සාම්ප්‍රදායිකව පැවැතිය යුතුය යන අදහසක් මෙයින් කිසිසේත්ම අදහස් නොකෙරේ. මක්නිසාද යත් විද්‍යාලංකාරිකයන් වූකලි සම්ප්‍රදාය ආරක්‍ෂා කරමින් ප්‍රගතිශීලි නව අදහස් හා නව මතවාදයන් සැමවිටම සමාජගත කිරීමේ කාර්යයක නියැළුණු පිරිසක්වූ නිසාමය. සම්ප්‍රදාය හා මුඛ්‍ය අරමුණු සුරක්‍ෂා වන අන්දමට නූතනය හා මුහුවීම වෙනුවට වර්තමානයේ සිදුව ඇත්තේ අතීතය මුළුමනින්ම අමතක කොට විජාතික විශ්වවිද්‍යාලය හා තරඟකාරිත්වයට ප්‍රවේශවීමයි. සිංහල භාෂාව රැකගැනීමේ වගකීම ආරම්භයේදීම ස්වකීය හිසමත පැටවුණු විශ්වවිද්‍යාලයකට එම වගකීමෙන් කිසිසේත්ම බැහැර විය නොහැකිය. එසේ වෙනවා නම් හෝ එසේ කිරීමට උත්සාහ කරනවා නම් මෙම ආයතන සත් පරමාර්ථයෙන් ආරම්භ කළ, පෝෂණය කළ, ආරක්‍ෂා කළ පැවිදි ගිහි උත්තම ගණයේ චරිතවලට අප කරන ලොකුම නිග්‍රහය බවද වසර 66ක් සපිරෙන අද වැනි දිනයක සිහිපත් කළ යුතුමය.
විදුලකර සරසවියෙන් ශාස්ත්‍රඥානය ලබා නික්ම යන්නෝ
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍ර ඥානය ලබා නික්ම යන විද්‍යාර්ථීන්ගෙන් අපේක්‍ෂා කළ දෙය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේදී උපකුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අභිනව උපාධිලාභීන් අමතා කළ අනුශාසනාවෙන්ම මැනවින් අවබෝධ කරගත හැකිය.
“ඔබ හැම දෙනා අදාළ විෂයයෙහි නිපුණතාව ලබා සිටින්නාහුය. භාෂා ඥානය, ශාස්ත්‍ර ඥානය විෂයයෙහි පරතෙර පැමිණීම පහසු නොවුවත් ඔබ හැම දෙනාම අධ්‍යයන, අධ්‍යාපන, උද්ග්‍රහණ, ධාරණ, විමර්ශන, විවේචන, පර්යේෂණ වශයෙන් නිතර පුරුදු පුහුණු කිරීමෙන්, නිතර නිතර යෙදීමෙන්, තම තමන් අදාළ විෂයයන්හි පෘථුල අවබෝධය ස්වශක්තියෙන් සලස්වාගත හැකි ව්‍යක්තභාවයට, වැඩිහිටි තත්ත්වයට පැමිණියාහුය. එසේ හෙයින්ම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අද දින ශාස්ත්‍රවේදී උපාධිය ලැබුවාහුය. මෙතැන් පටන් ඔබ හැම දෙනාම මෙම විශ්වවිද්‍යාලයෙහි ගෞරවයත්, ස්වකීය භාරකාරයන්ගේ ගෞරවය හා ආත්ම ගෞරවයත් රැකගනිමින්, තම මව්පිය, ආචාර්ය, උපාධ්‍යාදී කල්‍යාණ මිත්‍රයන් ඇතුළු මහජනතාවගේ ප්‍රසාදය ලබමින්, මේ ලංකාද්වීපවාසීන්ගේ ගුණනුවණ, දියුණුව හා පොදු අභිවෘද්ධියත්, ඔබ හැම දෙනාගේ මතු වැඩි දියුණුවත් සැළසෙන අයුරින් තම තමන් හදාළ විෂයයන් නොමසුරුව, නොඅලස්ව ලෝකයාට බෙදා දීමෙන් පමණක් නොව වැඩිදුර ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල යෙදීමෙන් ද රටට, ජාතියට, ආගමට හිතවත්ව පරාර්ථගරුකව ක්‍රියාකළ යුත්තාහුය.
ගුණගරුකව, සත්‍යවාදීව, ජනප්‍රියව, ජනතාහිතෛෂිව, සිය මව්පිය ගුරුවර වැඩිහිටියන්ට සුවචව, සුපක්‍ෂව, අදීනව, අභීතව, අවංකව, නිරහංකාරව, ක්‍රියා කළ යුත්තාහ. ස්වකීය ජන්ම භූමියත්, ලංකා සංස්කෘතියේත් උන්නතිය හා උත්කර්ෂය සඳහා සතතයෙන් උනන්දු විය යුත්තාහ. මෙසේ ස්වාර්ථචර්යාවෙහි යෙදීමට නිසි සුදුසුකම් ලබාගත් ඔබ සැම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. මෙය අපගේ අවවාදය නම් මෙය අපගේ අනුශාසනාව නම් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ආශීර්වාදය ද මේ මැයි”
විදුලකර කැලණියට
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පසුකාලීනව එනම් 1972 අංක 1 දරන විශ්වවිද්‍යාලය පනත සම්මතවීමෙන් අනතුරුව එම වර්ෂයේ සිට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය වශයෙනුත් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාලය පනත සම්මතවීමෙන් පසුව 1979 ජනවාරි මස 01 වැනිදා සිට කැලණිය විශ්වවිද්‍යාලය වශයෙනුත් වෙනස් විණි. ඒ කෙසේ වුවද වර්තමානයේදී කැලණිය විශ්වවිද්‍යාලය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විශ්වවිද්‍යාලය ආරම්භයේදී භාෂා පීඨය, බෞද්ධ පීඨය, කලා පීඨය, විද්‍යා පිීඨය සහ දර්ශන හා පර්යේෂණ පීඨය යනුවෙන් පීඨ පහකින් යුක්ත වුවද පසුව පීඨ සතරක් වශයෙනුත් විශ්වවිද්‍යාලය මණ්ඩපයක් බවට පත්වීමත් සමග පීඨ දෙකක් වශයෙන්ද යම් යම් සංශෝධනයන්ට ලක්විණි. එහෙත් වර්තමානය වන විට නැවත පීඨ සතකින් සමන්විතව ලෝක ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට යමින් කැලණිය විශ්වවිද්‍යාලය, මුළු මහත් සමාජයටම භාෂාශාස්ත්‍රාදියට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරමින් අනුපමේයවූ සේවයක් සිදුකරගෙන යනු ලබත්.
අපේ ඓතිහාසික උරුමය ලොව හමුවට
විද්‍යාලංකාර පිරුවන විශ්වවිද්‍යාලය තත්ත්වයට පත් කිරීමට පෙරාතුව පෙර අපර දෙදිග අධ්‍යාපන ආයතනයක් හැටියට හිමිකරගෙන තිබුණු යශෝරාවය විද්‍යාලංකාර පිරුවනෙහි එවකට අධ්‍යාපනය ලැබූ දේශීය විදේශීය විද්වතුන්ගේ නාමලේඛනයන් සාක්ෂ්‍ය දරයි. විද්‍යාලංකාර පිරුවන ඒ වන විටත් පවත්වාගෙන ගිය අධ්‍යයන අධ්‍යාපන ක්‍රියාවලිය පෙර අපර දෙදිග ප්‍රචලිත වූයෙන් පිරුවන ශාස්ත්‍රකාමීන්ගේ තෝතැන්නවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. විද්‍යාලංකාර පිරුවනෙහි පැවැති විෂය හා විෂයානුබද්ධ නිර්දේශයන් සුපරීක්‍ෂාකාරීව විමර්ශනයක යෙදෙන ඕනෑම අයකුට එය නාමිකව සරසවියක් නොවුණ ද නිල නොලත් සරසවියක් බවට අවබෝධ කරගැනීමට වර්තමාන විශ්වවිද්‍යාලයීය ආකෘතිය හා සසඳන කල්හි මැනවින් හැකියාව තිබේ. එම අවබෝධය තේරුම්ගත් උදවිය විදුලකර නිල නොලත් විශ්වවිද්‍යාලයක් බවත් කළ යුතුව ඇත්තේ සරසවි තත්ත්වයට උසස් කිරීම පමණක් බවත් පැවැසීය. එහෙයින් අප විමසා බැලිය යුත්තේ වර්තමාන විශ්වවිද්‍යාලයීය ශ්‍රේණිගත නිර්ණායක අනුව අප ලබාගෙන ඇති ස්ථානය, එදා විශ්වවිද්‍යාලය තත්ත්වය නොලද වුවද විද්‍යාලංකාරය අධ්‍යාපන ආයතනයක් හැටියට ලෝකය තුළ දිනාගෙන සිටි තත්ත්වය කුමනාකාර වීද යන්නයි. එය කැලණිය (විදුලකර) සරසවියෙහි මාතෘභූමිය වන විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට සාඩම්බර යෙළසියක් (150) සපිරෙන මෙම වර්ෂයේ (2025) දී අපේ එකී ඓතිහාසික උරුමය ලොවට යළිත් හඬගා ප්‍රකාශ කිරීමක් වන්නේමය.
උඩගලදෙණියේ ධම්මවිමල හිමි ඉන්දියා – භාරතියාර් විශ්වවිද්‍යාලයේදීය…