Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සුනිල් සාන්ත: නැත්ත ඇත්ත හා මැද්ද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සුනිල් සාන්ත: නැත්ත ඇත්ත හා මැද්ද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

සුනිල් සාන්ත: නැත්ත ඇත්ත හා මැද්ද

2 days ago
522 Views

සුනිල් සාන්ත ගී ගැයුමට නොහැකි නිසා ඔහුට පිරිනැමූ වැඩසටහනක් භාර නොගත් බව වාණිජ රූපවාහිනි වැඩසටහන් ආදී මාධ්‍ය මගින් ප්‍රචලිත වනු දුටිමි. සියුම් ලෙස වින්දිතයාට දොස් පැවරීමක් දැකිය හැකි මෙය 1976 අවදියේ සිදුවූවක් ලෙස සඳහන්ය. එම අවදියේ මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු වූ නිසා මා නිවසේ නොවූ විටක වුණ සිදුවීමක් විය හැකිය. මෙම සිදුවීම ගැන මුලින්ම සඳහන්ව ඇති තැන ලෙස මට හමුවූයේ ඉංග්‍රීසි ලිපියක කොටසකි – ආරාධනා වැඩසටහන සහ සුනිල් සාන්ත 1976 ඈපාසිංහ මහතා හමුව-

වැඩසටහනක් පිරිනැමීම සඳහා එවන් හමුවීමක් වී නම් තාත්තා එම වැඩසටහන භාර නොගැනීමට හේතුව ගී ගැයීමට හෝ අලුත් නිර්මාණ කිරීමට නොහැකි තත්ත්වයක සිටි නිසා නොවන බව මා හොඳින්ම දනිමි. 1976 දී තාත්තාගේ වයස අවුරුදු 62ක් පමණ වූවා පමණක් නොව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන්ද පසුවිය. මෙය ගායකයන් විශ්‍රාම ගන්නා තරම් වයසක් නොවේ.

ලිපි මගින් ව්‍යාපාරිකයන්ගෙන් තාත්තාට ඒක පුද්ගල සංගීත ප්‍රසංග මාලාවන් ආදිය සඳහා ඇරයුම් ලැබුණ අවස්ථාවක් විය. තාත්තා එම ලිපියක් වරක් මට පෙන්වා ඔවුන් කලා මුදලාලීන් ලෙස හැඳින්වීය.

එම ඉංග්‍රීසි ලිපියේ සඳහන් වන එවන් හමුවීමක් 1976 සිදුවූවා යැයි මොහොතකට සිතමු. තාත්තා වචනයේ පරිසමාප්ත අරුතෙන්ම කලාකරුවෙක් වූ නිසා ඔහුගේ ප්‍රධාන ආශාව වූයේ අලංකාර කෘති නිර්මාණය කිරීම පමණක් නොව, සීමාවන් තල්ලු කිරීම, නව අදහස් ගවේෂණය කිරීම සහ අර්ථවත් බලපෑමක් ඇති කිරීම ය. “මට තියෙන්නේ සංගීතය තුළින් අමුතුම නිර්මාණ බිහිකිරීමේ ආශාව,

ගාස්තුවට සින්දු හදන්න වත් සින්දු කියන්න වත් මම කැමති නැහැ…” එම නිසා මේ කියන 1976 වැඩසටහන භාර නොගත්තේ ගී ගැයුමට නොහැකි නිසා හෝ සංගීතයට උනන්දුවක් නැති නිසා නොව තාත්තාගේ අභිලාෂයන් සම්පූර්ණයෙන් සපුරාලන අන්දමේ යෝජනාවක් ඔහු නොදුටු නිසාය. මෙම හමුවීමේ ඵලය දේශීය සංගීතය කරා යන ගමනේ සන්ධිස්ථානයක් විය හැකිව තිබුණ හෙයින් මග හැරුණු මහඟු අවස්ථාවක් සේ සැලකිය හැකිය. මීට පෙර, 1967 අවදියේදී තාත්තා ගුවන් විදුලියෙන් ලැබූ මෙවන් ආරාධනයක් පිළිගෙන කළ වැඩසටහන් මාලාව තුළින් රටට දායාද කළ කෘතීන් වැනි නව නිමැවුම් රැසක උපත දස වසකට පසුව අපට දැකිය හැකිව තිබුණා විය හැක. තවත් සැලකිය යුතු අදාළ කරුණක් නම්, 1967 එම සුවිශේෂී වැඩසටහන් පෙළ ඒකපුද්ගල ගායනයට පමණක් සීමා නොවීමයි.

පුවත්පත් වාර්තාකරුවන් සමග තාත්තා සංවාද රැසක් කර ඇත. ඒ කිසි විටෙක ගායනය අපසු නිසා සංගීතය අතහැරි බවක් සඳහන් කර නැත.

තාත්තා පුවත්පතක් සමග කළ අවසාන සංවාදය විය හැකි ලිපියකින් මේ පැහැදිලි කිරීම පටන් ගැනීම සුදුසුය.

1981 ජනවාරි 30 දෙසතිය පුවත් සඟරාවේ විජයබණ්ඩාර සමග ගාමිණි විජේතුංග නමින් පළවූ “ඉලෙක්ට්‍රොනික තත් අතර හැඬැවෙන සුනිල් ගී” යන ලිපියේ මේ වගන්ති අඩංගුය” සුනිල් සාන්ත එදා ගුවන් විදුලියට ගායනා කළ ගීත අද ඔහු විසින්ම තක්සේරු කරන්නේ කපා ඔපමට්ටම් නොකළ මැණික්වලට. ඒ ගී යළිත් එළිදක්වන්නට ඔහු තුළ ඇත්තේ දැඩි ආශාවක්”

1979 අගෝස්තු 11 Daily News පතෙහි පළවූ ජෝ සිගේරා මහතා ලිවූ ලිපි පිංචක, නැවත චිත්‍රපට ගී නිර්මාණය කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට තාත්තාට වූ උනන්දුව ගැන සඳහන්ය. ඒ වන විට අවසන් කර තිබූ සීගිරි ගී කෘතීන් ගැන ද එහි සඳහන්ය. ඒ ලිපිය අවසන් වන්නේ “ඒ ගායනා කිරීමට හා පටිගත කිරීමට ඔහු උනන්දු කරන්නේ කවුද? යනුවෙනි.

ඊට මාස කිහිපයකට පසු ගුවන් විදුලි සංස්ථාව ඒ පැතුම සපුරාලමින් සීගිරි ගී තැටිය එළිදැක්වීය. මේ ගී නිර්මාණය මෙන්ම පුහුණු කිරීමද තාත්තා කළ අතර ගායනට ද සහභාගි විය. නිරංජලා සරෝජනී එම අත්දැකීම් ගැන පසු කලෙක බර්ලින් නගරයේදී මට සඳහනක් කළේය. එම තැටියෙහි “පබැඳුම ගායනය සහ අධ්‍යක්‍ෂණය සුනිල් සාන්ත” යනුවෙන් මුද්‍රණය කර ඇත.

නිවස ළඟ වූ තාත්තා හා පසුව අප ද ගිය, ගමේ පාසලේ උත්සවයක් සඳහා තාත්තා ළමුන් පිරිසකට ගීයක් පුහුණු කළේය.

ඒ 1970 දශකය තුළ දීය. ඒ ගැන යූටියුබ් නාලිකාවේ අයෙක් මෙසේ සඳහන් කර ඇත.

“@bernardperera806
Maestro Sunil Santha taught students to sing this song at Dehiyagatha Village School for a school function and myself and my brother Renil provided accompaniment and I still remember Maestro Sunil Santha asking me to play the tune of the last verse of the song as the
interlude. I am very proud that I got the opportunity to work with this Great Artist who brought a great change for Sinhala Music”

1976 වසරේ මැයි 7 එළි බට කොළඹ සන්නිය චිත්‍රපටය සඳහා තාත්තා ගීයක් නිර්මාණය කළේය. මේ සඳහා ගෙවීමක් නොවූ බව තාත්තා පසුව මට පැවසූ බව මෙහි සඳහන් කරන්නේ ඒ කිසිසේත්ම දිරිමත් කිරීමක් නොවූ හෙයිනි.

1976 දොස්තර ඇන්තොනිස් මහතා කළ සුළු සැත්කමක් අතරතුර තාත්තා දොස්තර මහතා සමග ගීයක් ගැයීය.

1977 (මාර්තු) අවදියේ එච්. එම්. ගුණසේකර මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ගුවන්විදුලිය තුළින් නැවත සංගීත නිර්මාණයන් කරන බවට පොරොන්දු විය. මෙවන් ඇරයුමක් ගුවන්විදුලිය විස්තර කර ඇති බව තාත්තා ඒ දිනවල උනන්දුවෙන් මට සඳහන් කළේය. එම අවදියේම ප්‍රේමකීර්ති ද අල්විස්, නිව්ටන් ගුණරත්න, රිජ්වේ තිලකරත්න හා අනික් සංගීතඥයන්ද සමගින් කළ විරල ගුවන්විදුලි සාකච්ඡාවකදී ද තාත්තා නැවත ගුවන්විදුලියට පැමිණ නිර්මාණයන් කරන බව පැවසීය.

1977 මාර්තු 27 ඉරිදා ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ පළවූ “රසික සිත් අදත් සුනිලුන්ට” යන කලාදර ලියූ ලිපියේ සුනිල් සාන්ත ගුවන් විදුලියේ 6 වන මැදිරියේදී මෙසේ කී බව සඳහන්ය “ඔව් පටන් ගත් වැඩය හමාර කිරීමට නැවත ආපසු එනවා”

සුනිල් සාන්ත ගුවන් විදුලියට නැවත පැමිණීම නැවැත්වීමට, ඊට විරුද්ධව පිරිසක් හෝ අයෙක් ‘පිහිය’ නමැති පතක ලිපියක් පළ කර තාත්තාට එවා තිබුණි. ඒ රතු අකුරින් මුද්‍රණය කළ ලිපිය තාත්තා මියගිය පසු ඔහුගේ අල්මාරියෙහි තිබී මට හමුවිය. සතුරන්ගේ ඉලක්කය සපුරා ගත් ලෙසකි.

1977 මැද භාගයේදී ගුවන් විදුලියේ රිජ්වේ තිලකරත්න යුගය අවසන් විය.

1977 අවදියේ අප නිවසට පැමිණි ආබාධිත රසිකයකු කළ ඉල්ලීමක් නිසා ගෙදරදීම ගී කිහිපයක් කිසි වරදක් නොකර ගැයීය.

1978 ඔක්තෝබර් මස රුක්මනි දේවි මියගිය දිනයට පසු දිනක ගී රචක කරුණාරත්න අබේසේකරයන් සමග නිවසට පැමිණි ව්‍යාපාරිකයකුගේ කැසට් පට සඳහා ගී නිර්මාණයට හා ගායනයට කැමති විය. එදා ඒ මහත්වරුන් සමග කළ එම සංවාදයේදී තාත්තා තව නිර්මාණ කිරීමට අවස්ථාවක් ලැබීම ගැන මහත් උනන්දුවක් දැක්වීය. ඔවුන් තාත්තාගේ වර්ණ සේයාරූ කීපයක් ද ගත්හ. මුදල් ගනුදෙනු ගැන ඔවුන් කතා කළේ නැත.

1978 අවදියේ රාජමණි ඉංග්‍රීසි ගුරු මහතා පාසලේ බාලදක්‍ෂ කණ්ඩායම සඳහා ගීයක් සකසා දෙන ලෙස අප ගෙදරට පැමිණ ඉල්ලා සිටියෙන් තාත්තා “ගුණයෙන් ඉහළම තැන සිටිමින්” යන ගීය රචනා කර තනුවක් ද යොදා දුන්නේය. රාජමණි මහතා ඉතා නිහතමානී, බයිසිකලයකින් ගමන් කළ ගුරු වැටුපෙන් පවුලක් නඩත්තු කළ අයෙකි. ඒ මහතා තාත්තාගේ හිත දිනා ගත් සැටියෙකි. මෙය මුදලට කළ කෘතියක් නොවීය.

1979 ගම් උදාව සඳහා තාත්තා ‘ගැමියෝ වමු අපි’ ගීය නිර්මාණය කළ පසු අගමැති ප්‍රේමදාස මහතා ලිපියක් මගින්, එය තාත්තාගේ කටහඬින්ම පටිගත කරන සේ ඉල්ලා සිටියේය. තාත්තා ඒ ලිපිය මට පෙන්වීය. ගුවන්විදුලි සංස්ථාව ඒ සඳහා ඊළඟ පියවර ගත යුතුව තිබිණි.

1979/80 මා ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරුවකු හැටියට රැකියාවට ගිය මුල් දිනයේ තාත්තා ද පැමිණියේය. ඇන්ටන් පෙරේරා ඉංජිනේරු මහතාගේ කාමරයේ දී තාත්තා තව ඉංජිනේරුවරුන් කීපදෙනෙක් ඉදිරිපිට ගී ගණනාවක් ගැයුවේය. එය මට උදව්වක් ලෙස කළ දෙයකි.

1980 එම අවදියේම ගුවන්විදුලි සංස්ථාවට අවුරුදු 55 පිරීම නිමිත්තෙන් වූ සංගීත සංදර්ශනහි ගී ගැයීමට තාත්තා කැමැත්තක් දැක්වීය. ගුරුගේ මහතාට ඒ බව පවසා තාත්තාට ඔවුන් මගින් ඇරයුමක් නොකිරීම මගෙන් වූ අතපසුවීමක් ලෙස මම දැනටත් කනගාටු වෙමි. මේ වන විට තාත්තා නිතර ගුවන්විදුලියට පැමිණි අතර සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් සමග හොඳ සම්බන්ධතාවයක් ද විය.

1981 ජගත් මල්ලිගේ මරණ කටයුතු අවසන් කළ පසු, ඩෙනිස් අයියා ගෙදර ආ විටක තාත්තා ඩෙනිස් අයියාට මෙසේ කීවේ දර්ශක ඇඟිල්ල තම හිස වෙත යොමු කරමිනි “මේක තවමත් හොඳයි නේ, අපි නැවත යමක් කරමු” ඩෙනිස් අයියා ද ඊට එකඟ විය. තාත්තා නැති වූ පසු තාත්තාගේ කාමරයේ තිබී මට එම දිනවල සකසමින් තිබූ

ගීයක් ද හමුවිය. එය තාත්තාගේ කටහඬින්ම ගැයුම සඳහා ලියූ ගීයක් විය.

70 දශකයට පෙර වූ අදාළ සමහර සිදුවීම්:

චිත්‍රපට සංගීතයට තාත්තා හවුල්කර ගැන්මට ලෙස්ටර් මහතා ඇතුළු කලාකරුවන් නොපසුබට උත්සාහයක් දැරූ බව සඳහන් ය. එම කාර්යයට තාත්තා පෙළඹවීම සඳහා කිහිප වරක් පැමිණ ඒ මහත්වරුන් සාකච්ඡා කළේ කලාත්මක නිදහස සහ අනෙකුත් කොන්දේසි ගැන විනා මුදල් පිළිබඳව නොවේ. ලෙස්ටර් මහතා මේ ගැන සඳහන් කර ඇත. ඒ සඳහා කොන්ත්‍රාත්තු අත්සන් කිරීමක් වූයේත් නැත. ලෙස්ටර් මහතා ඔවුන් හිතුවාට වැඩි ආදායමක් සංදේශය චිත්‍රපටය ඉපැයූ නිසා අප නිවසට පැමිණ දෙවන වරටත් මුදලක් දුන් බව තාත්තා කීවේය.

තරුණ ලෝරන්ස් නමැති පියතුමෙක් ගීයක් සඳහා ඉල්ලීමක් කරමින් තාත්තා හමුවීමට ආ වගත් කතෝලික පල්ලිය හා එහි වැඩකටයුතු ගැන දිග විවේචනයක් කර එය ප්‍රතික්‍ෂේප කර ඔවුන් ආපසු යැවූ වගත් අසා ඇත්තෙමි. පසු දිනෙක ඒ පියතුමා නැවත පැමිණියේ තාත්තා කී දේ ගැන සිතා බැලූ වගත් ඒ සියල්ල හරි බවත් කීමටය. ඉන් පසුව එම ගීය නිමැවිණි. එම පියතුමා ගැන තාත්තා මහත් පැහැදීමකින් කතා කරනු අසා ඇත්තෙමි.

1964 වසරේ සිංහලෙන් දෙබස් කැවූ අම්බපාලි චිත්‍රපටය සඳහා ගීයක් නිර්මාණය කිරීමට තාත්තාට ඇරයුමක් ලැබිණ. රැපියෙල් තෙන්නකෝන් මතාගේ නිවසට ගොස් තාත්තා එම පද මාලාව කෙසේ විය යුතු දැයි ඒ මහතාට පැහැදිලි කළ සැටි මතකය. එම ගීය පටිගත කිරීමට ද තාත්තා සමග ගියෙමි. එම චිත්‍රපටය වෙනුවට සිංහල ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වන අන්දමේ, බෞද්ධ තේමාවක් ඇති වෙනත් ඉන්දියානු චිත්‍රපටයක් තෝරා ගත යුතුව තිබුණ බව තාත්තාගේ අදහස විය. එසේ වුවද, නිදහසේ නිර්මාණයක් කිරීමට ලැබුණ අවස්ථාව හා ලැබුණ සහයෝගය නිසා එය උනන්දුවෙන් නිම කළේය. තාත්තා එම චිත්‍රපටය නැරඹීමට වත් ගියේ නැත.

චිත්‍රානන්ද අබේසේකරයන් සමග පැමිණි ව්‍යාපාරිකයෙක් චිත්‍රපටයකට සංගීතය සැපයීමට තාත්තා එකඟ කරගත්තේය. පුවත්පත්වල ‘සංගීතය සුනිල් සාන්ත’ ලෙස චිත්‍රපටය පිළිබඳව දැන්වීම් ද පළ කළ පසු ඔව්හු වෙනත් අයකු ලවා සංගීතය සපයා ගත්තෝය. මා සමග ගොස්, ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට වාහනය නවත්වා, උදෑසන

නැගිට තාත්තාගේ හඬින්ම පටිගත කළ ගී තනු, කිංග්ස්ලි සේනාරත්නයන්ගේ කුඩා පටිගත කරන යන්ත්‍රය මගින් චිත්‍රානන්ද අබේසේකර ඇතුළු චිත්‍රපටයට හවුල් පුද්ගලයන්ට වාදනය කර පෙන්වූ සැටි මතකයි. තාත්තාගේ කාලයට, ශ්‍රමයට, නමට හෝ වාහන ගාස්තු සඳහා කිසිම ගෙවීමක් නොකෙරිණි. සංගීත නිර්මාණයට තාත්තා බලවත් ආසාවක් දැක්වුව ද, මෙවන් කලා මුදලාලිලාගෙන් බැට කෑම අධෛර්යමත් වීමටත් ඉන් පසුව වූ පරෙස්සම් සහගත ආකල්පයටත් හේතු විය.

මෙහි කලින් සඳහන් කළ පරිදි 1967 අවදියේ ගුවන්විදුලි සංස්ථාව මගින් වැඩසටහන් මාලාවක් එළිදැක්වීය. එම වැඩසටහනකට ලැබුණ මුදලින් වාදක මණ්ඩලයට හා අන් ගායකයන්ට ගෙවූ පසු තාත්තා අත ඉතිරි වූයේ සුළු මුදලකි. එම වැඩසටහන් පෙළ ඇතුළු එම අවදියේ කළ අන් නිර්මාණ බොහෝ දුෂ්කරත්වයන් මැද වුවද උනන්දුවෙන් හැකි තරම් ඉහළ තත්ත්වයෙන් නිම කිරීමට ප්‍රධාන හේතුව වූයේ නිදහසේ නව නිර්මාණ කිරීමට අවස්ථාවක් ලැබීමය. එම අවදියේ සිටි ගුවන් විදුලියේ සභාපතිතුමා ඇතුළු සමහර බලධාරීන්, සමහර කලාකරුවන් හා තාක්‍ෂණික කාර්ය මණ්ඩලය උනන්දුවෙන් තාත්තාට සහය දීම ඔහුට මහත් දිරිගැන්වීමක් විය. එසමයේ එම වැඩසටහන් තුළින් නව අත්හදා බැලීම් ගණනාවක් කළ අතර නව ගායක ගායිකාවන් සහය කරගැනීමෙන් ඔවුන්ට අතදීම හා මගපෙන්වීමද ඔහුගේ ප්‍රධාන අරමුණක් විය.

1969 රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටයේ ඉංග්‍රීසි ගීය ගෙදර පුහුණු නොවී ශබ්දාගාරයට ගොස් එක රැයින් පටිගත කළේය.

මීට අමතරව මෙම කාලය තුළ තාත්තා තනු නිර්මාණය කළ තවත් අවස්ථාවන් කීපයක් ද විය.

1970 දශකයේ දේශපාලන පසුබිම:

1970 අවදියේදී එම අලුත් රජය තාත්තා ට සිනාසී නිකුත් කර කොමිසමක් ඉදිරිපිට සාක්කි දීමට බල කළහ. කිහිප වරක් සිතාසි නොසලකා හැර සිටි පසු, සිතාසි ගෙන ආ මහත්මයා ඊළඟට වරෙන්තු නිකුත් කරාවි යැයි කී නිසා තාත්තා ගොස් සාක්කි දුන්නේය. තාත්තාගේ ගී ප්‍රචාරයට ද එකල රජයේ දේශපාලන සතුරන් යැයි සැලකූවන්ගේ කෘතීන්ට වන ඉරණම ම හිමි වූ බව තාත්තා හමුවීමට පැමිණි අය කියනු අසා ඇත්තෙමි. කලින් රජය බලයේ සිටි 1967 අවදියේ පටිගත කළ තාත්තාගේ ගී කොහෙත්ම ප්‍රචාරය වූයේ නැත්තේ ප්‍රචාරය සඳහා සුදුසු මාධ්‍යයකට ඒ ගී පිටපත් නොකිරීම නිසාය. ප්‍රචාරය නොවූ නිසා, ඒ ගී, නොමකා ඉතිරිව ඇත්දැයි තාත්තා දැන සිටියේ නැත. ‘වලාකුලින් බැස’ ආදී ගී මෑතක් වන තුරු ප්‍රචලිත නොවූයේ මේ නිසාය. මේ අතර ආදායම් බදු ගෙවන සේ ලිපියක් තාත්තට ලැබී තිබිණ. “ඒකට මම හොඳ උත්තරයක් යැව්වා”යි තාත්තා කීවේය. 1973 අවදියේ දී තාත්තා අනවසරයෙන් ඉලෙක්ට්‍රොනික් වැඩ හා ගුවන්විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන්නේයි කියමින් නිලධාරීන් කිහිප දෙනෙක් ඒ සොයා බැලීමට පැමිණියහ. මා පාඩම් කරමින් සිටි තැන කුකුළු දැල තුළින් සුනිල් සාන්ත කොහේ දැයි විමසූ ඔව්හු තාත්තා නාමින් සිටි ළිඳ ළඟට ගියහ. සබන් පිටින් සිටි තාත්තා ඔවුන්ව එලවා ගත්තේ “හොයන්න අවශ්‍ය නම් අග්‍රාණ්ඩුකාරයා පඩි හා නිල නිවාස ගෙන මොනවාද කරන්නේ කියල සොයා බලන්න” කියායි. එකල අගමැතිනියගේ මාමාව අග්‍රාණ්ඩුකාර පදවියට පත් කරගෙන තිබිණි. 1974 මම ඉංජිනේරු පීඨයට ඇතුළු වුණෙමි. අධ්‍යාපන වසර අවසන පේරාදෙණිය සිට මා ගෙදර පැමිණි විට තාත්තා, එම නිලධාරීන් නැවත නැවත පැමිණි බවත් අවසාන වතාවේ ගෙදර වූ ඉලෙක්ට්‍රොනික් කොටස් මා සතු බව කී විට ඔවුන් යන්නට ගිය බවත් පැවසීය. මා කලින් සඳහන් කළ 1975 සැප්තැම්බර් 8 ජී. ඒ. පියතිලක නමැත්තෙකු විසින් ‘විfiාදය යන්ත්‍රාලයෙහි මුද්‍රණය කොට නිකුත් කරන ලදැයි සඳහන් ‘පිහිය’ නමැති ලිපියේ අනෙකුත් අපහාසයන්ට අමතරව මෙසේද සඳහන් විය. “සුනිල් සාන්තට ඔය විදියෙ තනතුරක් දෙනවනම් සංගීතය පිළිබඳව ඊටත් වඩා උසස් තනතුරක් අන්ධ වේලුට දෙන්න වටිනව. සුනිල් සාන්තට වඩා ලොකු සේවයක් අන්ධ වේලු සංගීතයට කරල තියෙන නිසා.”

1976 ඈපාසිංහ මහතා පැමිණියායි කියන අවදිය වන විට මෙම අහිතකාමී වාතාවරණය සම්පූර්ණයෙන් හොඳ තත්ත්වයකට පත් වී නොතිබිණි නම් හා ඈපාසිංහ මහතා 1976 තාත්තා ගුවන් විදුලියට යැවීමට උත්සාහ කළේ නම් එය නිෂ්ඵල වීමට මෙයද සාධකයක් වීම අරුමයක් නොවේ.

රතන්ජන්කර් පරිච්ඡේදයට පසුව තාත්තා ගුවන් විදුලියට සම්බන්ධ වූයේ ඉතා පරස්සමිනි. මා දන්නා අවදියේ දී අධ්‍යක්‍ෂක ජනරාල්වරුන් කීප දෙනෙක් පමණක් තාත්තාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වූහ. තාත්තාගේ පැරණි ගී තැටි පිරිපහදු කොට, ගුවන් විදුලිය මගින් එම ගී නැවත ප්‍රචාරය කිරීම වැනි නව ප්‍රතිපත්ති නිසා 1977 වන විට රිජ්වේ තිලකරත්න මහතා තාත්තාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වූවා පමණක් නොව තාත්තා නැවත ගුවන් විදුලියේ සංගීතයට අදාළ වැඩවලට හවුල් වීමට ද පටන් ගත්තේය. ඔහුට කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් ද ලබා දී තිබිණි. තාත්තා සමග පටිගත කළ එකම සම්මුඛ සාකච්ඡා කිහිපය ද සිදුවූයේ මේ සමයේදී ගුවන් විදුලියේ ය.

ඈපාසිංහ මහතාගේ වදන්වල විශ්වසනීයත්වය ගැන ද මට සැකයක් ඇත. මේ කරුණ එළිපිට කීමට මේ තරම් කලක් ගතවූයේ ඇයි? තාත්තා මියගිය පසු තාත්තා සමග කළ සංවාදයි මුසාවාද තම කීර්තිය හා ලාබ සඳහා ජනමාධ්‍ය තුළින් පවසන්නවුන් දැක හා අසා ඇත්තෙමි. පේස්බුක් නමැති පිළිලය මෙවන් කසළ සඳහා තෝතැන්නක් බවද අසා ඇත්තෙමි. මෙවැනි තහවුරු නොකළ කරුණු නැවත නැවත අනෙක් වාණිජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම මෙවන් බොරුව රජයන යුගයක විය යුත්තක් නොවේ.

උදාහරණයක් ලෙස තාත්තා දිවියේ අවසන් මාස නවයක් පමණ පදිංචිව සිටි නිවාස දෙපාර්තමේන්තුවට අයත් නිවසේ ද සිටියේ ඊට පෙර නිවාසවල සිටියා මෙන් මාසික කුලියකටය. තාත්තා ගැන පොතක් ලියුවෙකු ද කතාවක් පැවැත්වූවෙක්ද, තාත්තා එම ගෙදර අයිතිය සඳහා කොටස් වශයෙන් ගෙවීමට ලබා ගත්තා යන අසත්‍ය ප්‍රකාශය පළ කළහ. එම පොත් කතුවරයාට එම වරද පෙන්වා, ඒ පිළිබඳව ඇත්ත අඩංගු වූ පුවත්පත් ලිපියක විස්තර ලබා දුනිමි. එම පොතේ දෙවැනි මුද්‍රණය නිකුත්ව ඇති බව නංගී පසු කලෙක සඳහන් කළ විට නිවස පිළිබඳව කරුණ නිවැරදි කර ඇති දැයි බලන්න කීවෙමි. දෙවැනි මුද්‍රණයේ ද එම වරද එසේම විය. ඔවුන් පොත් ලිවීමට හා ප්‍රසිද්ධ කතා පැවැත්වීමට පෙර නිවාස දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත්ත තහවුරු කර ගත යුතුව තිබිණ.

මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අය, විශ්වවිද්‍යාල මහා ඇදුරන්, පවා මෙසේ නොසැලකිලිමත් වීම ඛේදජනකය. කලින් සඳහන් කළ ලිපියට අමතරව, 1981 ජනවාරි 30 ‘දෙසතිය’ හි ද තාත්තාගේ කියමනක් මෙසේ සඳහන් වේ. “මට ගෙයක අයිතිකාරයෙක් වෙන්න ඕනෑ නෑ. වැටිලා ඉන්න ගෙයක් තිබ්බොත් ඇති”

මෑතකදී (2025 පෙබරවාරි) සිසුන් කිහිපදෙනකු මගෙන් සුනිල් සාන්ත ගැන විස්තර ඉල්ලූ නිසා විකිපීඩියා (wikipedia) යටතේ ඇති සුනිල් සාන්ත පිටුවේ අවශ්‍ය විස්තර ඇත්දැයි බැලීමි. එයට ද පදනම් විරහිත අසත්‍ය තොරතුරු ආදිය ඇතුළත් කර ඇති සැටි දුටිමි. එම අසත්‍ය තොරතුරු වෙනත් ඉංගිරිසි ලිපියක ද අඩංගු කර ඇති සැටි දුටිමි.

“කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි” යන කාලෝචිත කියමන අමතක කළ අය මෙවන් අසත්‍ය පළ කිරීම් මගින් නොමග යෑම අවාසනාවට කරුණකි.

ගුවන් විදුලිය 2014 අවදියේ සුනිල් සාන්ත සමරු පොතක් පළ කර අලෙවි කළේය. ඒ පොත සඳහා ගුවන් විදුලියේ කලක් වැඩ කළ, මගේ කාලය, ශ්‍රමය හා මුදල් වැය කොට, ගුවන් විදුලියේ වූ සුනිල් සාන්තයන්ගේ ගී ලැයිස්තුවක් සකසා, එම ගී තැටි පිරිසුදු කර පිටපත් කොට සංරක්‍ෂණ අංශයට භාරදුන්, මගේ අදහස් හෝ අත්දැකීම් පිළිබඳව තොරතුරු විමසීමටවත් වගකිව යුත්තන්ට අවශ්‍ය නොවූ සැටියකි. එසේ කළේ නම්, එම පොත, මිලදී ගන්නන්ට සාධාරණයක් වන වඩා පරිපූර්ණ කෘතියක් වන්නට ඉඩ තිබිණ.

1980 ගුවන් විදුලියෙහි ඉංජිනේරුවකු ලෙස මා වැඩ ඇරඹූ අවදියේ සුනිල් සාන්ත 1967 අවදියේ කළ නිර්මාණ ඉතිරිව ඇත්නම්, ඒ ප්‍රචාරය සඳහා සුදුසු මාධ්‍යයකට පිටපත් කිරීමට මට භාරකර තුබූ හෙයින් ඒ සඳහා තාත්තා සමග ගුවන්විදුලි තැටි ගබඩාවට ගියද, එකල සිටි ගබඩාවේ ප්‍රධානියාගෙන් අපට සහයෝගයක් නොලැබිණි. තාත්තා මුල්ම අවදියේ ගැයූ ගී වලින් කීපයක් හා 1967 අවදියේ කළ නිර්මාණ සමහරක් ඒ වන විටත් තැටි ගබඩාවේ ඉතිරිව තිබූ බව තාත්තා දැන සිටියා දැයි නොදනිමි.

සුනිල් සාන්ත සම්බන්ධිත මුල් ලිපි ආදිය ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ ජාතික ලේඛනාරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය අයට පහසුවෙන් ලබා දීමේ කටයුත්තට කලක සිට උදව් කරන අතර තාත්තා මියගිය පසු සුනිල් සාන්ත ගී සංරක්‍ෂණය පිළිබඳව, ගුවන් විදුලි සංස්ථාවේ හා පසුව රූපවාහිනි සංස්ථාවේ ඉංජිනේරුවකු ලෙස වැඩ කරන අතර කටයුතු කළෙමි. සුනිල් සාන්තයන්ගේ, ඒ වන තුරුත් ඉතිරිව තුබූ විශාල තැටිවල අඩංගු වූ ගී ඇතුළු අන් තැටි හා පටිවල වූ ගී, ඒ අංශවල වැඩ කළ අය ද සමග එකතුව අලුත් පටිවලට පිටපත් කර ගුවන්විදුලි සංස්ථාවේ සංරක්‍ෂණ අංශයට භාර දුන්නේ එම ගී ගුවන් විදුලිය තුළ ඉදිරියටත් සුරැකේවා යන්න තාත්තාගේ ද බලාපොරොත්තුව වූ හෙයිනි. මෙම මුල් පිටපත් මිලදී ගන්නා දේශ ද්‍රෝහී පිටස්තරයන් සිටින බව අසන්නට ලැබීම ඛේදජනකය. තැටි ගබඩාව, සංරක්‍ෂණ අංශය, ලේඛනාගාරය භාරගත් නව පරපුරේ කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් මේ කෘතීන් රැකගැනීමට උත්සුක වීම වාසනාවකි.

ආචාර්ය සුනිල් සාන්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

21 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

2 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago
Related News
විශේෂාංග

බිත්තර පරිභෝජනය ගැන දුර්මත බිඳ දැමිය යුතු ඇයි?

විශේෂාංග

අපරාධ නිවාරණය හා මරණ දඬුවම

විශේෂාංග

රිදම් ඔෆ් ද ගිටාර් 27 වැනිදා සිට තිරයට

විශේෂාංග

ලෝක පරිසර දිනය දා ජනප්‍රිය රංගන ශිල්පිණි මිෂෙල් දිල්හාරා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග ව්‍යාපෘතියක

විශේෂාංග

මිත්‍ර කපුගේ හඬින් “සබඳ අපි”

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok