පෙරඹරින් නැඟෙන පොසොන් සඳ දකිත්ම මෙයින් වසර 2333 කට පෙර සිරිලක සිදුවූ අතිශයින්ම අසිරිමත් සිදුවීම සිහිපත් වන්නේය. ඒ අන් කවරක් නොව අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ආගමනයයි.
දඹදිව ශ්‍රේෂ්ඨ නරපති ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් ඇරඹි විදෙස් ධර්මදූත වැඩපිළිවෙළහි මහඟු ඵලයක් ලෙස, බුදුන් වහන්සේගේ සඳහන් පණිවුඩය රැගෙන මිහිඳු මාහිමියන් ප්‍රමුඛ පිරිස ලක්දිවට වැඩම කරන ලද්දේ, දේවානම් පියතිස්ස නරේන්ද්‍රයා මෙරට රාජ්‍ය පාලකයාව සිටි අවධියේය. (ක්‍රි.පූ. 307 – 266)
දීපවංශය, මහාවංශය, සමන්ත පාසාදිකාව, නිකාය සංග්‍රහය ආදී ග්‍රන්ථය එහි සඳහන් පරිදි එසමය ලක් ඉතිහාසයේ සුවිශේෂතම කාල වකවානුවකි. ඒ මහින්දාගමනය සමග මෙරට ඇති වූ අනගිතම සංස්කෘතික පුබුදුව නිසාවෙනි. සිරිලකට බුදු දහම හඳුන්වා දීමත් සමගම, දඹදිව මෞර්ය සංස්කෘතියේ බොහෝ අංග ද මෙරටට හඳුන්වා දෙනු ලැබීය. එම සංස්කෘතිකාංග, හුදෙක් එවකට පැවති දේශජ අංගයන්ට වඩා බෙහෙවින්ම උසස් ඒවා වූ බැවින් ඒ තුළින් මෙරට ජාතික, ආගමික, දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයන්හි නව පෙරළියක් ඇති වූහ.
මහින්දාගමනයට පෙර, මෙරට තුළ සංවිධිත ආගමක් හෝ දර්ශනයක් නොවීය. බුදුන් වහන්සේ ඊට පෙර අවස්ථා තුනකදීම ලක්දිවට වැඩම කොට ධර්ම දේශනා සිදු කොට තිබුණි. එහෙත් බුද්ධ ධර්මය අනුගමනය කරමින් පවත්වාගෙන යා හැකි විධිමත් ශාසනික සංවිධානයක් නොතිබූයෙන් බුදු සසුන මෙහි නොපිහිටියේය.
හිරු දෙවියන් පිදීම, පර්වත, ගල් ගුහා මෙන්ම යක්ෂයන්, නාගයන් ඇදහීම සහ මළවුන් පිදීම වැනි ග්‍රාම්‍ය පිළිවෙත්, මහින්දාගමනයට පෙර අප රට තුළ වූහ.
මහාවංශයේ සඳහන් පරිදි පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 437 – 366) කාලවේල, චිත්තරාජ යන යක්ෂයන් හා වලවා මුඛී යක්ෂණියටද, පශ්චිම රාජිනී දෙවඟන උදෙසාද දේවාල ගොඩනඟා පුදපූජා පැවැත්වූ බැව් දැක්වේ.
මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම අහඹු සිදුවීමක් නොවේ. ධර්මාශෝක අධිරාජයා සහ දේවානම් පියතිස්ස රජු අදෘෂ්ඨ මිත්‍රයෝ වූහ. යම් යම් අවස්ථාවලදී දෙදෙනා අතර තෑගි බෝග හුවමාරු වූ බවද ප්‍රකටය. වරක් අශෝක රජතුමා හමුවීම සඳහා පිටත් කළ අරිට්ඨ නම් ඇමැතිවරයා අත, තමා තෙරුවන් සරණ ගිය බවත් ඔබත් එසේ කරන්න යැයි දෙවන පෑතිස් රජතුමා හට දන්වා එවීය. අහං බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ
උපාසකත්තං දෙසේසිං – සක්‍ය පුත්තස්ස සාසනෙ
නිචම්පිමානි රතනානි – උත්තමානි නරුත්තම
චිත්තං පසාදයිත්වාන – සද්ධාය සරණං ……..
(මහාවංශය ෂෂ-34, 35 ගාථා)
මෙවැනි පසුබිමක ධර්මාශෝක රජතුමා තම පුත් මිහිඳු හිමියෝත්, දියණීය වූ සංඝමිත්තා තෙරණියත් ලක්දිව බුදු සසුන පිහිටුවීම සඳහා එවන ලද්දේය. පොසොන් පෝදා දෙවැනි පෑතිස් රජතුමාට මිස්සක පව්වේදී මිහිඳු හිමියන් ඇතුළු පිරිස මුණ ගැසීමත්, රජුගේ බුද්ධිය විමසීම පිණිස අඹ සහ ඥාති පැන ඇසීමත් යන කරුණු අතිශයින්ම ප්‍රචලිත සිදුවීම් ය. මිහිඳු හිමියෝ එතැන් පටන් බුදු දහම ලක්වාසීන්ට අනුක්‍රමයෙන් වටහා දෙන්නට වූහ. බුදු දහමේ හරය සම්පිණ්ඩනය කොට වදාළ චුල්ල හත්ථි පදෝපම, දේවදූත, බාල පණ්ඩිත යන සූත්‍ර දේශනා කළහ. මේවා මගින් චතුරාර්ය සත්‍යය නිර්වානගාමී මාර්ගය සහ ආර්යයන් වහන්සේලාගේ අපිස් දිවිය පිළිබඳවත් විස්තර කෙරෙති. අවිiාවේ ගැලී අකුසල් කොට සත්වයා සුගතිගාමී වන අයුරු දැක්වෙන සේකවත්ථු දේශනාවද කුල් දහම් හි යෙදෙන සත්වයන් සුගතගාමී වන අයුරු දැක්වෙන විමානවත්ථු දේශනාවද සිදුකළ මිහිඳු හිමියෝ පසු අවස්ථාවලදී සච්ච සංයුක්තය, අග්ගික්ඛන්දෝත්ම, ආසිවිසෝපම, අතමතග්ගීය, ඛජ්ජකීයක, ධම්මචක්ක පවත්තක යන සූත්‍ර දේශනා කළහ. මෙම ධර්මයන් ඇසූ බොහෝ දෙනා මඟඵලයන්ට පත් වූ අතර ප්‍රවෘර්ජාවටද ප්‍රවිෂ්ඨ වූහ.
මිහිඳු හිමියන්ගේ අනුශාසනා මත දෙවන පෑතිස් රජතුමා ලක්දිව ශාසනාභිවෘද්ධිය පිණිස ක්‍රියා කළේය. බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිළිගැනීමත් සමග බුදු දහම සුරැකීමේ ප්‍රධාන ආරක්ෂකයා වූයේ රජුය. ඒ අනුව යමින් පසුකාලීනව රජ පැමිණි සෑම අයෙකුම බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කළේය.
“ලක්දිව බෞද්ධයන් සතු වූවකි. එහෙයින් අබෞද්ධ චෝල කේරළාදීන්ට ලංකා රාජ්‍යය හිමිනොවේ.” නිශ්ශංක මල්ල රජුගේ ගල්පොත ශිලා ලිපියේ (ක්‍රි.ව. 1198 – 1207) එලෙස සටහන් කොට ඇත. තවද හතරවන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 775 – 990) සෙල් ලිපියක සඳහන් කොට ඇත්තේ බුදු සසුන දිවි හිමි කොට රැකුම සඳහා මහ සඟන වෙතින්ම රාජාභිෂේකය සිදු කර ගතයුතු බවයි. “තුමා පයිසිවුර් රක් (නුව) න් මහ සග්හු පිළිවැයු රජ් සිරි පැමිණැ සැණැ බිංසව් වින්ද්න (ද) වස් මග (i) ග් ගම් මෙහෙයට උඩ සර්වස්” පස්වන සියවසේ ලක්දිව රජකල බුද්ධ පාරින්ද නම් ද්‍රවිඩ රජු බෞද්ධයකු ලෙස පෙනී සිටි අතර, එළාර රජු ද බුදු දහමට ලැදිව ක්‍රියා කළේය. කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ යන රජවරු බුදු දහම වැළඳගෙන බොදුනුවන් ලෙසින් කටයුතු කළහ.
බුදුදහම මෙරට ශීඝ්‍රයෙන් ප්‍රචලිතවීමට බලපෑ හේතු රැසකි. ඊට රාජානුග්‍රහය ප්‍රබල ලෙස ලැබිණි. මිහිඳු මාහිමි ඇතුළු පිරිස අශෝක රජුගේ ආසන්නතම නෑයන් වීමත්, මුල් කාලයේ සිටම පැවති ඉන්දු ලංකා සබඳතාද, ධර්මය සරල සුගම ලෙස පැහැදිලි කර දීමත්, බුදුදහම හුදෙක්ම ශිෂ්ටත්වයට මුල් තැන දුන් අවිහිංසාව පදනම් කොට ගත්තක් වීමත් ඒ අතර වේ.
බුදුදහම රට තුළ ස්ථාපිතවීමත් සමග රජු දස රාජ ධර්මයෙන් රට පාලනය කරනු ලැබීය. එය රටවැසියාගේ සුබ සිද්ධිය පිණිස විය. පසුකාලීනව දළදා වහන්සේ මෙරටට වැඩම කළෙන් එහි භාරකරුවා වූයේ ද රජුය. ශාසන අර්බුද ඇතිවී සසුන පිරිහෙනවිට යථාතත්ත්වයට පත් කිරීම රජුගේ කාර්ය භාරයක් විය. ඒ අනුව යමින් පසු කාලවල රාජ්‍යත්වයට පත්, දුටුගැමුණු, ගෝඨාභය, වෝහාරතිස්ස, පළමු වන විජයබා, දෙවන පැරකුම්බා වැනි රජවරුන් මෙම කාර්ය භාරයන් මැනවින් ඉටු කළහ.
බදුලු ටැම් ලිපියට අනුව, ජනයා ආගමික කටයුතුවල නිරත කරවීම පිණිස පෝ දිනයන්හි වෙනත් කටයතුවල යෙදීම තහනම් විය. මෙය කඩ කළහොත් දඩ පිණිස පහන් පූජාවට තෙල් අය කළ බැව් එහි දැක්වේ.
“පොහෝදා සල්කලකුගෙන් වැ පුදයට තෙල් පද්දක් ගන්නා ඉසා”
මිහිඳු හිමියන් වැඩම කොට මඳ කලකට පසුව, ජයසිරි මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද රැගෙන භික්ෂුණී ශාසනය පිහිටුවීමේ අරමුණින් සඟමිත් තෙරණිය මෙරටට වැඩම කළහ. භික්ෂුණී ශාසනය පිහිටුවීමත් සමගම ලක් වනිතා සමාජය තුළ විශාල පිබිදීමක් ඇති විය. ඔවුහු අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වූවා පමණක් නොව, සමාජයේ මහත් ගෞරවයට පාත්‍රවූ පිරිසක් බවට ද පත් වූහ. සංඝමිත්තා තෙරණිය සමග කුල හා ශ්‍රේණි දහ අටකට අයත් පිරිසක් පැමිණි බව මහා වංශයෙත්, බෝධි වංශයෙත් සඳහන් වේ. මෙම පිරිස් විවිධ කර්මාන්තයන්හි නිපුණයෝ වූහ. එය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් සියලු අංශයන්හි අභිවෘද්ධිය පිණිස හේතු විය.
මෙරට ලේඛක කලාවේ ප්‍රගමනය පිණිස මහින්දාගමනය අතිශයින්ම ඉවහල් විය. ගල්ගුහා ද්වාරයන්හි කටාරම්වලට ඉහළින් කොටන ලද ශිලා ලේඛනයන්හි ඇති බ්‍රාහ්මී අක්ෂර අශෝක යුගයට නෑකම් කියයි. ඒ අනුව පෙනී යන්නේ බ්‍රාහ්මී අක්ෂර මාලාව මෙරට ලේඛන කලාවට උපයෝජනය වූ බවයි. මෙම කෙටි සෙල්ලිපිවලට අමතරව පසුකාලීනව ලියන ලද විශාල ප්‍රමාණයේ ශිලා ලේඛන රැසක්ම දක්නට ලැබේ. ඒවා තුළින් සිංහල ලේඛන කලාව ක්‍රමිකව විකාශනය වූවේය. එමෙන්ම මිහිඳු හිමියෝ පාලි ත්‍රිපිටකයද එහි අටුවාද මෙරටට ගෙන ආහ. පසුකාලීනව මෙරට සිංහල කෘති රචනයට බලපෑවේද එම පාලි ග්‍රන්ථයන්ය. මුල් යුගයේ මෙරට පාලි හා සිංහල සාහිත්‍ය කෘති රචනා වූයේ බුදුදහම ප්‍රකාශ කිරීම පිණිසය. දම්පියා අටුවා ගැටපදයේ දැක්වෙන පරිදි “මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළ දිව අජුරො හෙළු බසින් තැබූහ.” මින් ප්‍රකාශ වන්නේ මෙරට ඇදුරන් විසින් පාලි අටුවා හෙළ බසින් ලියූ බවයි. මිහිඳු හිමියන් දීප භාෂාවෙන් දහම් දෙසූ බව මහාවංශය කියයි. “ධම්මං භසිත්වා දීපභාසාය ඒවං”
පාලි ත්‍රිපිටක සාහිත්‍යයේ එන ජාතක පාලිය හෙවත් පන්සිය පනස් ජාතක පොත එකල බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත් වූවකි. ජනයා තුළ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, පරිත්‍යාගය, පරාර්ථ සේවය වැනි උසස් ගුණාංග ඇති කරලීමට එය සමත් විය. පසුකාලීනව, කව් සිළුමිණ, සසඳාවත, මුවදෙව්දාවත, කාව්‍ය ශේඛරය, අමාවතුර, බුත්සරණ, ධර්මප්‍රදීපිකාව වැනි උසස් ගණයේ සාහිත්‍ය කෘති බිහිවූයේ ද ජාතක පාලිය ඇසුරිණි.
සිංහල සාහිත්‍යය දියුණු කිරීමෙහිලා හැඩ ගැසුණු, පාලි සාහිත්‍යයෙන් පෝෂණය ලද,
ගැඹුරු ප්‍රඥාවෙන් යුත් ගුරු පරපුරක්ද මෙරට බිහිවූයේ මහින්දාගමනය තුළිනි. දිඹුලාගල කාශ්‍යප හිමි, ශාරිපුත්ත හිමි, ශ්‍රී රාහුල හිමි වැනි සඟරජ හිමිවරුන්ද ධර්මසේන හිමි, වීදාගම මෛත්‍රය හිමි, වෑත්තෑවේ හිමි, බුද්ධපුත්‍ර හිමි, විල්ගම්මුල හිමි, ගුරුළුගෝමී, දෙවන පැරකුම්බා, විදු සක්විති වැනි මහා පඬිවරු ද වෙති. සිංහල සාහිත්‍ය වංශයට පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, ජාතක පොත, ගුත්තිලය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව, සුභාෂිතය වැනි ගi පi කෘති රැසක්ම එක් වූහ.
සිරි මහ බෝධිය කරණකොට බෝධි සාහිත්‍යයක් ඇති විය. පාලි බෝධි වංශය, සිංහල බෝධි වංශය , බෝධි වංශ ටීකාව, චූල බෝධි වංශය යන ග්‍රන්ථ අපට හිමිවූයේ එබැවිනි. තවද, බෞද්ධ පූජාර්හ වස්තූන්ගේ යටගියාව හා ප්‍රාතිහාර්යයක් පිළිබඳව වංශ කථා සාහිත්‍යයක් ගොඩනැඟිනි. ඒවා අතර ජයසිරි මහ බෝ සාහිත්‍ය වංශය, මහ දාගැබ් සාහිත්‍ය වංශය, ධාතු කතා සාහිත්‍යය වංශය පෙරහැර පිළිබඳ සාහිත්‍ය වංශයද වෙති.
මහින්දාගමනයෙන් පසු මෙරට අධ්‍යාපන සේවාව භික්ෂුන් වහන්සේලා සතු වූහ. එබැවින් බෙහෝ විහාරස්ථාන අධ්‍යාපන ආයතන බවට පත්වූහ. අනුරාධපුර මහා විහාරයට අනුබද්ධ දුරසංකර ග්‍රන්ථාකර පිරිවෙන ද දීඝ වංකමන හා දීඝ සන්ද පිරිවෙන ද ප්‍රකට විiස්ථාන වූහ.
බුදු සමයේ සම්ප්‍රාප්තියෙන් පසු බෞද්ධ ස්මාරක රැසක්ම ගොඩනඟන ලදහ. භාරතීය මෞර්ය ගෘහ නිර්මාණ ශිල්පය හා කලා සම්ප්‍රදායන්ගේ ආභාසය මත ඒවා ගොඩනඟා ඇත. චිත්‍ර මූර්ති කැටයම් ආදී වූ කලා අංගද එක් කරමින් කරන ලද එම නිර්මාණ ලොව කවර වූ විශිෂ්ට නිර්මාණයකට වුවද නොදෙවෙනිය. දෙවන පෑතිස් රජතුමා විසින් තැනවූ ථූපාරාම චෛත්‍යයේ සහ මහා විහාරයේ සැලැස්මද මිහිඳු මාහිමියන්ගේය. බෞද්ධ ආගමික අංශයන් වන උපෝසථාගාරය, බෝධි ඝරය, චෛත්‍යය ප්‍රතිමා ඝරය වැනි පූජනීය ගොඩනැඟිලි ද පසුකාලීනව අහස් කුස සිප ගන්නා ථූපයන්ද මහා වාපී කර්මාන්තයන් ද කළේ ලක්වැසියෝය.
නොදියුණු තත්ත්වයක තිබූ මෙරට සිරිත් විරිත් නවමු මඟක් ගත්හ. වංශ කථාවන්හි දැක්වෙන පරිදි බුදු දහමේ ආභාසය ලද උත්සව රැසක්ම ඇරඹිණි. ඒවා අතර ධර්ම දේශනා පැවැත්වීම, අරියවංශ දේශනා, වෙසක්, පොසොන්, ඇසළ උත්සව සහ පෙරහර, සිරිමා බෝ මඟුල් දළදා පෙරහර ආදී උතුම් කාර්යයන් උත්කර්ෂවත්ව පවත්වා ඇත. ලාංකික බෞද්ධයා තම උපතේ සිට මරණය දක්වා වූ සුවිශේෂී අවස්ථා බුදු දහමට අනුගතව සිදු කිරීමට සෑම විටම වග බලා ගත්හ.
බෞද්ධ ජනයා යහපත්ව පිළිවෙත්හි වූ නැඹුරුව දැක්වීම පිණිස සද්ධර්ම රත්නාවලියෙහි එන මෙම විස්තරයම ප්‍රමාණවත්ය. “පොහෝදා නොවරදවාම පෙහෙවස් විසුවාහුත්, දාගැබ් මහ බෝ පිහිටුවාහුත් ඵල ගන්නා සේ කොළ ලැව්වාහුත්, හේ දඬු ලැව්වාහුත්, අම්බලම් ළිං පොකුණු කැරවූ වාහුත්, පසු බස්නා ශාසනය පිහිටුවා හුත් සංග්‍රහ විඳින්නාවූන්ට සංග්‍රහ කොට බණ කියැවූවාහුත්, බුදුන් දකිම්වායි සිතා එක මල් මිටක් පමණ වූත්, එක පමණක් වූවත් පිදුවාහුත්, වඩා නැත්තේ බත් ආලේපයක් පමණ පිදුවාහුත්, තමා පින් කළ නෙනාහෙතත් අනුන් කළ පින් අනුමෝදන් වූවාහුත් බුදුන් බාධා නැතිවැම දකිත්.”
මිහිඳු මාහිමියන් ලක්වැසියනට හඳුන්වාදුන් බෞද්ධ සංස්කෘතිය බෙහෙවින්ම අරුත් බර වූහ. ඵලදායි වූහ. දේශයේ ප්‍රගමනයට අතිශයින්ම ඉවහල්වූහ. එහෙයින් එම සංස්කෘතිකාංග කාලීනව පරිණාමයට බඳුන් වෙමින් වත්මන දක්වාමත් අඛණ්ඩව පැවත එනු ලැබේ.
මේ අනුව ලක්වාසීන් ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේත්, ඔවුන් සතු විශිෂ්ට ශිෂ්ටාචාරය මුළු ලොවෙහිම සම්මානනයට ඔවුන් වූයේත්, ඔවුනගේ සාහිත්‍ය කලා ශිල්ප ආදිය දියුණට පත් වූයේත් මහින්දාගමනයේ උත්තරීතර ප්‍රතිඵලයක් ලෙසින් යැයි විවාදයකින් තොරවම පිළිගත හැක.
කටුවන ජාතික පාසලේ හිටපු විදුහල්පති, ශාස්ත්‍රපති
ජයන්ත කංකානම් පතිරණ