සිරිලක බොදු දිවයිනක් බවට පත්වූයේ පොසොන් පුන් පසළොස්වක පොහෝ දිනකය. ඒ වනාහි මිහිඳු මහරහතන් වහන්සේ විසින් මිහින්තලා පර්වත මස්තකයෙහි ලංකේෂ්වර දේවානම්පියතිස්ස මහ රජතුමාට චුල්ලහත්‍ථි පදෝපම සූත්‍රයෙන් දහම් දෙසන ලද මාහැඟි අවස්ථාව විය.
මේ වනාහි බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236කට පසු ලාංකික ජනතාව වෙනුවෙන් දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනය විය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් පවත්වන ලද මේ සූත්‍ර දේශනය අවසානයේදී සතළිස් දහසක් පිරිවර සමගින් දේවානම්පියතිස්ස රජතුමා තිසරණ සහිත පංචශීලයෙහි පිහිටි බව සඳහන් වේ.
ක්‍රීඩා උත්සවයන්හි යෙදෙමින් විනෝදවීමට පුරුදුව සිටි සිංහල ජනතාවට පොසොන් උත්සව දිනය ආගමික වැදගත්කමකින් යුත් දිනයක්වීමට පෙර අතිශය විනෝදාස්වාදයක් සපයනු ලබන දිනයක් විය. මිහිඳු මහ රහතන්වහන්සේ ලංකාවට වැඩමවා දේවානම්පියතිස්ස රජතුමාට ධර්ම දේශනා කිරීමට මේ දිනය තෝරාගනු ලැබුවේ මෙකරුණ හේතුකොට ගෙන වේ. බුදුරජාණන් වහන්සේගේ අති උත්තම සදහම් පණිවුඩය පිළිගැනීමට මානසික වශයෙන් සුදුසු පරිදි රජතුමා හා පිරිවර ජනකාය මේ අවස්ථාවේ ප්‍රීති ප්‍රමෝදයෙන් පසුවූහ.
දේවානම්පියතිස්ස රජතුමා ස්වකීය අනුගාමික පිරිස සමග මිහින්තලා පෙදෙසෙහි මුව දඩයමෙහි යෙදී සිටියහ. මිහින්තලා කඳු පාමුල තණ බුදිමින් සිටි මුවෙකු රජතුමාට මේ අවස්ථාවේ දක්නට ලැබුණි. මේ මුවාට නොපෙනී විදීමට අකමැති වූ රජතුමා ඔහුගේ අවධානය ඇදගැන්ම සඳහා ඊතලයේ දුන්න ගසන ලදී. එවිට මුවා පැනගොස් අතුරුදහන් වූ අතර රජතුමා ඔහු ලුහුබැඳ දිවයන්නට විය. එකෙණෙහි රජතුමාට ‘තිස්ස’ යනුවෙන් අමතන හඬක් ඇසුණි. පුරාවෘතයන් හි සඳහන්ව ඇති පරිදි මෙසේ රජතුමා ඉදිරියේ පෙනී සිට අතුරුදන් වූයේ මිහිඳු මහ රහතන්වහන්සේ අබියසට පත් කිරීම සඳහා දෙවිවරුන් විසින් එවන ලද වෙස්වළා ගත් දෙවියෙකි. මේ අවස්ථාවේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා පර්වතයෙහි ශ්‍රාවකයන් සමග තමන් වහන්සේගේ දහම් පණිවුඩය දේවානම්පියතිස්ස රජතුමාට දීම සඳහා අවස්ථාව පැමිණෙන තුරු බලා සිටිසේක.
දේවානම්පියතිස්ස රජතුමා කෙසේ වුවද මේ අමුතු හඬ අසා මවිතයට පත්ව පර්වත ප්‍රාන්තය දෙස බැලීය. මෙවැනි සුපුරුදු හඬෙකින් ස්වකීය නමින් අමතන ලද්දේ කවරෙකු දැයි සිතමින් හඬ පැමිණි දිසාවට රජතුමා හැරෙත්ම එතුමාට දක්නට ලැබුණේ කරුණාවෙන් රජතුමා දෙස බලමින් ශාන්තව තේජස් විලාසයෙන් වැඩ සිටින මිහිඳු මහ රහතන් වහන්සේ වේ.
මේ දැක මවිතයට පත් රජතුමා “ඔබ කවරෙක් වේදැ”යි ඇසීය. තමන්වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස වනාහි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වන්නේ යැයි මිහිඳු මහරහතන්වහන්සේ පිළිතුරු දුන් සේක. තමන් වහන්සේ එදින ලක්දිවට පැමිණියේ රජතුමා කෙරෙහි උපන් මහා කරුණාවෙනි. මිහිඳු මහරහතන් වහන්සේගේ මාතෘ භූමියෙහි බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ සිටින සේක් දැයි දේවානම්පියතිස්ස රජතුමා විසින් අසන ලද ප්‍රශ්නයට මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිතුර වූයේ ජම්බුද් ද්වීපයෙහි භික්‍ෂුන් දහස් ගණන් වැඩ සිටින බවය.
රජතුමාට දහම් දෙසීමට දැන් කාලය පැමිණ ඇති බව මිහිඳු මහරහතන් වහන්සේට අවබෝධ වූ නමුදු ප්‍රථමයෙන් රජතුමාගේ බුද්ධිය පරීක්ෂාකර බැලීමට අවශ්‍යවේ යැයි මිහිඳු මහරහතන්වහන්සේට සිතුණි. එකල්හි උන්වහන්සේ නුදුරින් පෙනෙන්නට වූ වෘක්‍ෂයක් රජතුමාට දක්වා “මහරජ, මේ කුමන
ගසක් දැයි” විචාළේය. “ගරු ස්වාමීන් වහන්ස, ඒ වනාහි අඹ ගසක් වේ” යැයි රජතුමා පිළිතුරු දුනි. වෙනත් මෙවැනි ගස් ඔබගේ රටේ තිබේද? යනු රහතන් වහන්සේගේ ඊළඟ ප්‍රශ්නය විය. “එසේය, ස්වාමීන් වහන්ස. මෙවැනි වෘක්‍ෂයන් බොහෝමයක් මෙරට ඇත” යනුවෙන් දේවානම්පියතිස්ස රජු පිළිතුරු දුනි. “එම අඹ ගස් හා අනිකුත් ගස් හැරුණු විට වෙනත් ගස් මෙහි තිබේද? යනු මිහිඳු මහරහතන් වහන්සේගේ ඉනික්බිති ප්‍රශ්නය විය. “ඇත්තෙන්ම තිබේ. මේ වනාහි එය වේ” යනුවෙන් රජතුමා සැණෙකින් පිළිතුරු දෙමින් මුල් ගස දෙසට අත දිගු කළේය. මිහිඳු මහරහතන් වහන්සේ මේ අසා රජතුමාගේ බුද්ධිය පිළිබඳ සෑහීමට පත්විය. සැබවින්ම දෙවානම්පියතිස්ස රජු බුද්ධිමතකු වේ යැයි තමන් වහන්සේටම පවසා ගත් තෙරුන්වහන්සේ රජතුමා ඇතුළු පිරිසට මජ්ඣිම නිකායෙහි දක්නට ලැබෙන 27 වන සූත්‍රය වන චුල්ලහත්‍ථිපදෝපම සූත්‍රයේ ධර්මය දේශනා කළ සේක.
රජතුමා ඇතුළු පිරිසට දේශනා කිරීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ මේ විශේෂ දේශනය තෝරාගනු ලැබුවේ මන්ද? එයට මූලික හේතු තුනක් වේ. ප්‍රථමයෙන්ම ධර්ම ශ්‍රවණය කරන අය තුළ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳව පවත්නා උසස් ගුණ මෙනෙහි කිරීමෙන් ගෞරව පූර්වක භකතිය ඇති කිරීම මහරහතන් වහන්සේගේ බලාපොරොත්තුව විය. තෙරුවන් පිළිබඳව පැවැති අසමසම වූද, අයස්කාන්ත වූද දර්ශනීයත්වය සම්බන්ධයෙන් මේ සූත්‍රයෙහි දැක්වේ. නිවන් මගට යොමුව ඇති ආධ්‍යාත්මික දියුණුවට සැබවින්ම මුල් වනුයේ ශ්‍රද්ධාව වේ. දෙවනුව නියම භික්ෂු ජීවිතය හා එම භික්‍ෂු ජීවිතයේ පරමාර්ථය සපුරාගැන්ම සඳහා යායුතු මාර්ගය පිළිබඳ විස්තරයක් මෙහි අඩංගු වීමයි. අවසාන වශයෙන් විචාරාත්මක පරීක්ෂණය හා අපක්‍ෂපාතී විග්‍රහයෙහි ඇති වැදගත්කම පිළිබඳව අවධාරණයෙන් සඳහන් වීමයි. විචාරයෙන්ම බුදු දහම දෙස බලන ලෙස බුදුරජාණන් වහන්සේ අපට අවවාද අනුශාසනා කරන සේක. මේ සූත්‍රය එසේ පරීක්ෂණයට භාජනය කළ හැක. බුදුරජාණන් වහන්සේ සතුව පැවැති එම සර්වඥතා ඥානය ගැන අවබෝධයක් ලබාගැනීමෙන් කෙනෙකුට උන්වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස අත්පත්කර ගත් එම උතුම් සැපත ලබාගත හැක.
මේ සූත්‍රයෙහි දක්නට ලැබෙන කරුණු සමහරක් මෙසේ දැක්විය හැක. භාග්‍යවත් පවුලකට අයත් කුල පුත්‍රයෙක් ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගනියි. ඉන්පසු ලෞකික දෑ පිළිබඳව පවත්නා නිස්සාරත්වය හා අස්ථීර ස්වභාවය දකියි. ඔහු සිය කැමැත්තෙන්ම ඒවා අත්හැර දමා කහ සිවුරු පොරවා අනගාරික දිවියට පා තබයි. හෙතෙම සුළු වූද වැදගත් වූද විනය නීති ඕනෑකමින් ආරක්ෂා කරයි. පංචේන්‍ද්‍රයයන් දමනය කරගැන්මට මෙය ඉවහල් වෙයි. එමගින් සමාධිය හා චිත්ත සමාදානයට විශාල බාධකයන් වන පංචනීවරණ ධර්මයන් යටපත් කිරීමට හැකියාව ලැබේ. මෙසේ චිත්ත සමාධිය ලබාගැන්මෙන් පසු අප්‍රමාදයෙන් ක්‍රියාකරන යෝගාවචර තෙම ධ්‍යාන නමින් හඳුන්වනු ලබන උසස් මානසික තත්ත්වයනට ක්‍රම ක්‍රමයෙන් පත්වේ. මේ ධ්‍යාන වැඩිදුරටත් සිත දියුණුකර ගැන්මට ආධාරවීමෙන් පංච අභිඥා, පූර්වේ නිවාසානුස්සති ඥානය, දිබ්බචක්කු, දිබ්බසෝත, පරචිත්ත විජානනය හා නොයෙක් ඍද්ධි විදි ලබාගැන්මට ඔහු සමත්වෙයි. මේ අපූර්ව බලයත්, ක්ලේශයන් සම්පූර්ණයෙන් නැති කිරීමට ආධාර නොවන බව අවබෝධ කරගන්නා මොහු ඉන්පසු විපස්සනා භාවනා වඩත්ම ඔහු කෙමෙන් සංඛාර ධර්මයන් පිළිබඳ වූ යථා ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ අවබෝධ කර ගැනීමෙන් සියලු චිත්ත ක්ලේශයන් විනාශ කිරීමෙන් ලබන අර්හත් ඵලයට පත්වෙයි. ඉන්පසු මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේදී සූත්‍ර දේශනා කිහිපයක් පවත්වන ලදී. තෙරුන්වහන්සේ පේතවත්‍ථු, විමානවත්‍ථු හා සච්ච සංයුක්ත නමැති සූත්‍ර තුන දේවානම්පියතිසස රජතුමා ඇතුළු පිරිසට දේශනා කරන ලද බව සමන්ත පාසාදිකාවෙහි සඳහන් වේ. මින්පසු දේව දත්ත සූත්‍රය දේශනාකොට ඇත. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩි දෙවන දිනයේ නන්‍දන උයනෙහිදී ආශිවිශෝපම සූත්‍රය දේශනා කරන ලද අතර එම සූත්‍ර දේශනය අවසන දෙදහස් පන්සියයකට නොඅඩු ජනකායක් ධර්මය අවබෝධ කළහ. ඊට පසුදින රජ මාළිගයේදී දන් වැළඳූ නන්‍ද රහතන්වහන්සේ උයනෙහිදීම අනමතග්ගිය සූතය දේශනා කළ සේක. පසුදින උන්වහන්සේ අග්නිකවන්ද්‍රෝපම සූත්‍රය දේශනා කළ සේක. පසුදින උන්වහන්සේ සත් දිනක් ධර්මය දේශනා කළ අතර අටදහස් නවසිය අනූනවයක් පමණ පිරිස ධර්මාවබෝධ කළහ. සත් වැනි දිනයේ රජ මාළිගයේදී රහතන්වහන්සේ රජතුමා වෙනුවෙන් මහා අප්‍රමාද සූත්‍රයෙන් ධර්ම දේශනා කළ සේක. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු උන්වහන්සේ සමග ලක්දිවට වැඩම කළ රහතන්වහන්සේලා සදෙන දින 26ක් නුවර කල් ගෙවීමෙන් පසු වස් කාලය චේතියගිරියෙහි ගත කරන ලදී.
ලක්දිව බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ෂයෙන් අති පාරිශුද්ධ වූ ස්ථාන පෙන්වා දෙන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. මෙය පිළිගැනීමක් වශයෙන් මහ පොළොව කම්පා වූ බව දැක්වේ. මේ අවස්ථාවේදී බොහෝ ප්‍රාතිහාර්යයන් ඍධි බලයෙන් සිදුකරන ලද ප්‍රාතිහාර්යයන් දක්නට ලැබුණු අතර ඒ සියල්ලටම වඩා බලවත් ප්‍රාතිහාර්යය වූයේ ධර්මය ශීඝ්‍රාකාරයෙන් පැතිර ගිය අන්දමය. දහස් සංඛ්‍යාත ජනයා පැවිදි බිමට ඇතුල් වූ අතර අශෝක රජතුමා වෙතින් ධාතූන් වහන්සේ ද ලබාගන්නා ලදී. මේ ධාතූන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන ලද පාත්‍රාධාතුව ද විය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් පිටත්කර හරින ලද ඍධි බලඇති සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවා සර්වඥයන් වහන්සේගේ අකු ධාතුව ලබාගත් සේක. ථූපාරාමයෙහි ධාතු නිදන් කරන අවස්ථාවේදී තවත් නොයෙක් පෙළහර දක්නට ලැබුණි. මුළු දිවයින පුරා චෛත්‍ය, ආරාම ගොඩනැඟුණි. වැඩි වශයෙන් මේවා ගොඩනඟන ලද්දේ අනුරාධ නගරයේ වේ. වනිතා පක්‍ෂය මේ අවධියෙහිදී ප්‍රව්‍රජ්‍යාව බලාපොරොත්තු වූ බැවින් ඍධි බලඅති ස්වකීය සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය මේ දිවයිනට වැඩමවාගෙන ඒම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ විධිවිධාන යෙදූ සේක. බුදුරජාණන් වහන්සේට බුද්ධත්‍වය ලබාගැන්මෙහිලා සෙවන ලබාදුන් ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මෙතුමිය ලක්දිවට පැමිණෙන විට වැඩමවාගෙන එන ලදී. මේ බෝධි ගාථාව, මුල් බෝධි වෘක්‍ෂ රාජයා කෙරෙන් වෙන්වී ස්වර්ණ කටාගයෙහි පිහිටන අවස්ථාවේදී නොයෙක් ප්‍රාතිහාර්යයන් පාන ලදැයි විශ්වාස කෙරේ. මේ බෝධි ශාඛාව රැගෙන තවත් රහත් භික්‍ෂුණින් එකොළොස් නමක් සමග සංඝමිත්තා රහත් මෙහෙණිය ලංකාවට වැඩි සේක. මේ අති පරිශුද්ධ බෝධි ශාඛාව රැගත් යාත්‍රාව සම්ප්‍රාප්තවත්ම එය පිළිගැනීම සඳහා දේවානම්පියතිස්ස රජතුමා සාගරයේ කරවටක් ගැඹුරු ජලයේ ගමන් ගත් බව සඳහන් වේ. පොසොන් පුන් පොහෝ දින විශාල ජනකායක් විසින් ඉතාමත් පැරණි ඓතිහාසික වූ හා එමෙන්ම මුළු ලෝකයේම පාරිශුද්ධ වූ වෘක්‍ෂරාජයාණන් වහන්සේ වූ මේ බෝධීන් වහන්සේට පුද පූජා පවත්වනු ලබන ස්ථානයෙහි මේ බෝධි ශාඛාව රෝපණය කරනු ලැබූ දිනයෙහිදී නොයෙක් ප්‍රාතිහාර්යයන් විiමාන විය.
බෞද්ධ ග්‍රන්‍ථ සිංහලයන් පරිවර්තනය කිරීම මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ අනුගාමික පිරිස අතින් සිදුවුණු අතර බුද්ධ ධර්මයෙහි දක්නට ලැබෙන ගැඹුරු දහම් කරුණු අළලා මිහිඳු මහරහතන් වහන්සේ අතින් අගනා අටුවා පොත් ලියවී ඇත.
සර්වඥයන් වහන්සේගේ ශ්‍රෙෂ්ඨතම ධර්මයද අති පාරිශුද්ධ ග්‍රන්ථයන්ද, ධර්මිෂ්ටත්වය හා උසස්තම දියුණුව පිළිබඳව ද මැනවින් ලක්දිව ජනයාට උගන්වා වදාරන ලද මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි ආලෝක තරුව බඳු මිහිඳු හිමියෝ බොහෝ බුද්ධ ශ්‍රාවකයින්ගේ ගුරු දේවයාණන් සර්වඥයන් වහන්සේ මෙන් ජනකායට ආශිර්වාද සැලසූ උතුමෙකු විය. දුර්වල වියෙහි පසුවෙමින් චේතියගිරි විහාරයෙහි වස් කාලය ගෙවූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ජයග්‍රාහීව පරිනිර්වාණයට පැමිණ වදාළ සේක.
(මහා වංශය)
ධර්ම කථික දේශබන්ධු ඇලෙක් රොබට්සන් මහතාගේ ඉංග්‍රීසි ලිපියෙහි පරිවර්තනයකි. පරිවර්තනය ජයසුමනා ද සිල්වා රොබට්සන් අතිනි.

ඇලෙක් රොබට්සන් විසිනි.