ලක්දිව බුදු සසුන පිහිටුවීමට මිහිඳු හිමි එදා මෙහි වැඩියේ එදා මෙහි රජ කළ දේවානම්පියතිස්ස රජු දවසය. ඒ ඓතිහාසික සිද්ධිය අප විසින් අද සමරනු ලබන්නේ පොසොන් උත්සවය ලෙසයි.
දේවානම් පියතිස්ස රජුට මිහිඳු හිමි මුණ ගැසී ඇත්තේ මිහින්තලා කඳු මුදුනේදීය. බුදු දහම නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පිළිගෙන රාජ්‍ය අනුග්‍රහය ලබන ආගමක් ලෙස මේ රට තුළ මුල් බැස ගත්තේ මිහිඳු හිමියන් මෙහි පැමිණ බුදු සසුන පිහිටුවීමත් සමගය. එබැවින් මිහිඳු හිමි ලක්දිවට පැමිණ බුදු සසුන පිහිටුවීම ගැන කතා කරන විට ඊට පසුබිම්වූ කරුණු අපට ඉතා වැදගත්ය. මහින්දාගමනයත් සමග බුදු සසුන පිහිටුවීම තුළ සිදුව ඇත්තේ එක්තරා සුවිශේෂ ඉතිහාස ක්‍රියාවලියක පරිසමාප්තිය යැයි කිවහොත් එය නිවැරදියි.
මිහිඳු හිමි දේවානම් පියතිස්ස රජු දැක දැන හිඳින ගැනීමෙන් පසු කර ඇත්තේ රජුගේ අවබෝධතා ඥානය පිරීක්සා බැලීමය. මිහිඳු හිමි විසින් ප්‍රශ්න මාලාවක් රජුට යොමුකර සිටියේ ඒ කරුණ දැන ගැනීමටය. රජුට ගැඹුරු වූ බුද්ධ ධර්මය අවබෝධ කරගැනීමේ ශක්තිය ඇති බව රජුට වැටහී ගියෙන් මිහිඳු හිමි දේවානම් පියතිස්ස රජුට දහම් දෙසීමට තීරණය කළේය. පළමු දිනයේදී මිහිඳු හිමි දේවානම්පියතිස්ස රජුට දේශනා කර සිටියේ චුල්ලහත්තිපදුම සූත්‍රයයි. දෙවෙනි දින උදය දන් වැළඳීමෙන් පසු මිහිඳු හිමි රජුට දෙසා සිටියේ ප්‍රෙතවස්තු සූත්‍රය සහ විමාන වස්තු සූත්‍රයයි. එම සූත්‍ර ඇසීමෙන් කරුණු වටහාගත් රජු බුදු දහම වැලඳ ගත්හ. අනතුරුව රජ පවුලේ සෙසු අය ද එලෙසින්ම බෞද්ධාගම වැලඳ ගත්හ. ඒ අනුව, රජුගේ මැති ඇමතිවරු සහ සේවක පිරිස ද රජු අනුව යමින් බෞද්ධයන් බවට පත් විය. ඉන් අනතුරුව රජු කළේ එතෙක් රාජකීය උද්‍යානය ලෙස පැවති මහමේඝ උයන මිහිඳු හිමිට පූජා කිරීමයි. පසුකලෙක මහා විහාර භූමිය ලෙස සැලකුණේ එයයි. එසේම ථෙරවාද බුදු දහමේ මූලස්ථානය වූයේ ද එයයි. එදා අනුරාධපුර නගරය, වෙහෙර විහාර දාගැබ් හා බුදු පිළිමවලින් පිරි නගරයක් බවට පත් වූයේ යහපත් ආගමික වටපිටාවක් එය තුළ වූ නිසයි.
ඒ සියල්ල එසේ සිදුකිරීමෙන් පසු දෙවනපෑතිස් රජු මිහිඳු හිමිගෙන් ඉල්ලා සිටියේ තමාගේ වාසස්ථානය ද මහා විහාර සීමාව ඇතුළත පිහිටුවීමට කටයුතු කරන ලෙසයි. එය රජු උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ මේ ආකාරයටයි.
“ප්‍රතිධරයාණන් වහන්ස, මම සර්වඥයන් වහන්සේගේ ආඥාව ඇතුළත වාසය කරනු කැමැත්තෙමි. එහෙයින් පුරය ඇතුළත් කොට මහා සීමාව බඳනා සේක්වා”. රජු විසින් අයැද සිටි ආකාරයටම රජුගේ වාසස්ථානය මහා විහාර සීමාව ඇතුළත වූ අතර අනුරාධපුර රාජධානිය පැවතිතාක් සෑම රජකුගේම වාසස්ථානයේ එම සීමාව ඇතුළත වීම සුවිශේෂ කරුණක් බව කිව යුතුය.
බුදු දහම ලංකා රාජ්‍ය තුළ වර්ධනය වී ව්‍යාප්ත වන්නට ඒ තත්ත්වය මහත් රුකුලක් විය. රාජ්‍යයේ පාලන ක්‍රම පමණක් නොව රජුගේ දින චරියාව පවා සකස් කිරීමට බුදු දහම සමත් විය. බුදු සසුන පිහිටුවීමට මෙහි වැඩම කළ මිහිඳු හිමි එදා මෙහි රජ කළ දේවානම්පියතිස්ස රජුට, රාජ්‍ය පරමාධිකාරි බලය State Sovereignty යනු කුමක්දැයි යන්න පැහැදිලි කර දී තිබුණි. ඒ තරුණ මිහිඳු හිමි රජුට පැහැදිලි කර දී තිබුණේ මෙසේය.
“මහරජ! ඔබතුමා රටවැසියාගේ භාරකරු මිස අයිතිකරු නොවේ; ඔබටත් මේ රටේ වාසය කරන මිනිසුන්ටත් සත්වයන්ටත් ඇති සුවසේ ජීවත්වීමේ අයිතිය එක හා සමානයි” යනුවෙනි.
බෞද්ධ රාජ්‍ය පාලන ක්‍රමය යටතේ ජීවත්වීමේ අයිතිය රජුට මෙන්ම මිනිසුන්ට සහ සතුන්ට ද හිමි අයිතියකි. එහෙත් අද මේ බෞද්ධ ප්‍රතිපත්ති ගැන කතා කරන ගිහියකු හෝ පැවිද්දකු සොයා ගැනීම කළුනික සෙවීම තරම් අසීරු කරුණකි. අද අප අතර දන්නට ඇති අලි – මිනිස් ගැටුමට පවා හේතු වී ඇත්තේ වන සතුන්ගේ පැවැත්ම ගැන නොසිතා කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතින්ය. එදා අද මෙන් සතුන් වඳවී යෑමේ තර්ජනයක් මේ රටේ නොතිබුණි. රජවරුන් අතීතයේ රට සංවර්ධනය කළේ වැව් අමුණු ඉදිකිරීමෙන් සහ වෙහෙර විහාර ඉදි කිරීමෙනි. දැහැමි මිනිසුන්ගෙන් යුත් රටක් බිහි කිරීම සඳහා අපේ රජවරු තෝරා ගත්තේ කෘෂි ආර්ථික ක්‍රමයයි. එහි ප්‍රතිඵලය වූයේ ගුණ ධර්මවලින් පිරි මෙත් සිතින් යුත් ජන සමාජයක් ලක් පොළොව මත බිහිවීමය. අද අපට අමතක වී ගොස් ඇත්තේ ඒ දැහැමි අතීතයයි. අපේ පැරණි සාහිත්‍ය පොත දහමට නැඹුරු ස්වරූපයක් ගත්තේ ද සමාජය තුළ වර්ධනය වූයේ ද ඒ දැහැමි සංස්කෘතිය නිසා බව අප මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.
බුදු දහම රට තුළ ව්‍යාප්තවීමත් සමග එදා දේවානම්පියතිස්ස රජුට මුහුණපෑමට සිදුවූ තවත් අභියෝගයක් වූයේ භික්ෂුණින් උපසම්පදා කිරීමේ ක්‍රමයක් ශාසනය තුළ නොතිබීමයි. මේ ප්‍රශ්නය විසඳනු සඳහා මිහිඳු හිමිගේ සහාය රජුට අවශ්‍ය විය. ඒ අනුව ඊට මැදිහත්වූ මිහිඳු හිමි එය විසඳනු සඳහා පිහිට පැතුවේ භාරතයේ සිටි අශෝක අධිරාජයාගෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අශෝක අධිරාජයාගේ දියණිය මෙන්ම මිහිඳු හිමිගේ සොහොයුරියවූ සංඝමිත්තා තෙරණිය මෙරටට ගෙන්වා ගැනීමට මිහිඳු හිමිට හැකි විය. සංඝමිත්තා තෙරණිය ලක්දිව බලා එන ගමනේදී බුදුන් වහන්සේ පිටදුන් මුල් බෝධින් වහන්සේගේ අංකුරයක් ද මෙහි ගෙන ඒමට අමතක නොකළාය. එසේ ගෙන එන ලද අංකුරය රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙහි රෝපණය කිරීම ද උත්සවාකාරයෙන් සිදුවිණ. අද අප කව්රුත් ශ්‍රී මහා බෝධිය ලෙස හඳුන්වන්නේ එයයි. සංඝමිත්තා තෙරණිය පැමිණීමත් සමග භික්ෂුණින් උපසම්පදා කිරීමේ ගැටලුවට ද විසඳුමක් ලැබිණ.
බුදුන් ජීවමානව සිටියදී ගෝත්‍රික සමාජයක්ව පැවති ශ්‍රී ලංකාව තත්වාකාර රාජ්‍යයක් (de facto state)බවට පරිණාමය වී ඒමට බුදු දහමේ ආභාසය නොලැබුණේ යැයි කෙසේවත් අපට සිතිය නොහැක. බුදුන් වහන්සේ බුදු වූ විගස උන්වහන්සේට මුලින්ම දන් පිළිගැන්වූ උපාසකවරු ලෙස සැලකෙන තපස්සු බල්ලුක යන වෙළෙඳ දෙබෑයන් බුදු රදුන්ගෙන් ලබාගත් කෙස් රොදක් රැගෙන ලංකාවට පැමිණ “ගිරිහඬු සෑය” නමින් චෛත්‍යයක් දිවයිනේ නැඟෙනහිර පළාතේ ඉදිකොට තිබීම, අපේ අවධානය යොමු විය යුතු කරුණකි. ඔවුන් එවැනි චෛත්‍යයක් මෙහි ඉදිකරන්ට ඇත්තේ බුදු දහම ගැන දැන සිටි කුඩා හෝ පිරිසක් එදා මේ රට තුළ සිටි නිසා විය හැක. එපමණක් නොව ගෝත්‍රික සමාජය පැවති අවධියේදී බුදුන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කර දහම් දෙසා ඇත.
තවද, බුද්ධ කාලයේ සිට ශත වර්ෂ දෙකක පමණ කාලයක් පමණ උතුරු ඉන්දියාවේ පමණක් නිෂ්පාදනය කළ බවට සැලකෙන පාත්‍ර කැබලි කීපයක් යාපනයේ (කන්දරෝඩේ) කදුරුගොඩ ඇතුළු ස්ථාන කීපයකින් හමුව තිබීමත් මහින්දා ගමනයට පෙර මේ රට තුළ බුදුදහම ඇදහූ පිරිස් සිටි බවට සාක්ෂිය. එසේම මේ දක්වා කරන ලද පුරවිiා කැණීම්වලින් සනාථ වී අත්තේ දිවයිනේ මධ්‍යම කඳුකරයේ ස්ථාන කීපයකින් ලෙන් විහාර සහ සංඝාවාස රැසක් තිබූ බවකි. ගෝත්‍රික සමාජය තත්ත්වාකාර රජයක් බිහි කිරීම දක්වා පරිණාමය වී ඇත්තේ බෞද්ධ පසුබිමකුත් සමග බව පැහැදිලිව පෙනෙන කරුණකි.
තත්ත්වාකාර රජයක් මේ රට තුළ බිහි වීමත් සමග මේ රටේ පළමු රජු ලෙස පත්වූයේ බුදුන් අයත් ශාක්‍ය වංශයට නෑකම් ඇති විජය කුමරුය. ඔහුගෙන් පසු රජු බවට පත් පණ්ඩුවාසන්, ශාක්‍ය වංශික නෑ සබඳතා ඇත්තෙකි. පණ්ඩුවාස විවාහ වී සිටියේ සිදුහත් කුමරුගේ (එනම් ගෞතම බුදුන්ගේ) පියාවූ ශුද්ධෝදන රජුගේ සහෝදරයා වූ අමිතෝදනගේ පුත් පණ්ඩුසක්කගේ දියණිය සමගය. එදා ලංකාවේ සිටි සියලු දෙනා ඇය දැන සිටියේ භද්දකච්චානා කුමරිය ලෙසයි.
ඉහත කී ආකාරයට ගොඩනැඟී බිහිවුණු තත්ත්වාකාර රජය (de jure state) නීත්‍යනුකූල රජයක් :(de jure state) ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබුවේ බුදු සසුන මෙරටෙහි පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ මිහිඳු හිමියන්ගේ පියාවූ භාරතයේ රජ කළ අශෝක අධිරාජයා විසිනි. ප්‍රබල විදේශ රාජ්‍යයක් විසින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව පිළිගත් මුල් අවස්ථාව එය විය. බුදු සසුන මේ රට තුළ පිහිටුවීම දීර්ඝ ඉතිහාස ක්‍රියාවලියක පරිසමාප්තිය වූ අතර තත්ත්වාකාර රජයක් ලෙස පැවති ශ්‍රී ලංකා රාජ්‍යයට ජාත්‍යන්තරව පිළිගත් පූර්ණ රාජ්‍යයක තත්ත්වයට පත්වීමට එයින් මඟ පෑදිණ. රාජ්‍යයේ උපත බෞද්ධ ක්‍රියාකාරකම් රැසක් සමග මුසුවී ඇති බැවින් බුදු දහම නොතකා කටයුතු කිරීමේ අයිතියක් පාලකයන්ට නැති බව කිව යුතුය. බුදු දහමට ප්‍රමුඛස්ථානය හිමිව ඇත්තේ නෛසර්ගික අයිතියක් වශයෙන් මිස, දෙවියකුගේ අණක් නිසා නොවේ.
එසේම කිත්සිරිමෙවන් රජ දවස දන්ත ධාතුව මෙරටට වැඩම කරවීමත් සමග මෙරට වැසියා තුළ බුදු දහම කෙරෙහි ඇතිවූ නව ශ්‍රද්ධා භක්තිය නිසා රාජ්‍ය පාලනය පිළිබඳ පාලක හා පාලිත පන්තිය අතර එතෙක් පැවති ආකල්ප ද විශාල වෙනසකට ලක්වීම නිසා රාජ්‍ය යන්ත්‍රය තුළ බුදු දහමට ඇති පිළිගැනීම ද එන්ට එන්ටම වැඩි විය. එය සැලකුණේ පූජනීය වස්තුවක් වශයෙන් පමණක් නොව, රාජ්‍යයේ උරුමය ලොවට පෙන්නුම් කරන සාධකය ද එය විය. රාජ්‍ය පරමාධිකාරී බලය :ීඒඑැ ීදඩැරදසටඑබහ* අනුව රට පාලනය කිරීමේ අයිතියක් රජුට ඇති බව ජනතාව විසින් පිළිගනු ලැබුවේ දන්ත ධාතුව ද රජු භාරයේ ඇත්නම් පමණි. එය සැලකුණේ රජ්‍ය පරමාධිකාරි බලයේ සංකේතය ලෙසයි. පළමුවෙනි පරාක්‍රමබාහු රටේ අග රජු බවට පත්වීමේදී ඔහු කළ පළමු කටයුත්ත වූයේ රෝහණ දේශයේ පාලනය ගෙනගිය සුගලා රැජිනට එරෙහිව යුද්ධ කොට දන්ත ධාතුව තම භාරයට ගැනීමයි. ඒ සියලු දෙයින් පැහැදිලි වන්නේ බුදු සසුන මෙරටෙහි පිහිටුවීමත් සමග එය රාජ්‍ය පාලන කටයුතුවලදී ද තීරණාත්මක සාධකයක් ලෙස මේ රට තුළ මුල් බැස ඇති අයුරුය.
සිසිල් අතුකෝරාල