ඓතිහාසික ලංකාරාමය අටමස්ථානයෙන් එක් ස්ථානයකි. ථූපාරාමයේ සිට කි.මී. 1ක් පමණ උතුරු දිශාවට පැමිණිවිට ලංකාරාමය මුණගැසේ. අභයගිරියට යාබදව දකුණු පසින් එය පිහිටා ඇත.
වළගම්බා මහ රජු විසින් (වට්ටගාමිණි අභය) ක්‍රි.පූ. පළමුවන සියවසේ ලංකාරාම චෛත්‍ය ඉදිකරවා ඇත. ඓතිහාසික මූලාශ්‍රවල මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ “සිලා සොබ්බ කණ්ඨක ගල්හෙබකඩ” යන නම් වලිනි.
වළගම්බා රාජ්‍ය සමය, සතුරු ආක්‍රමණ බෙහෙවින් පැවති සමයකි. දකුණු ඉන්දියාවෙන් පැමිණි සොළීන් නිසා වරින්වර රජුට ඔවුන් සමග රට බේරා ගැනීමට සටන්වැදීමට සිදුවිය. මෙසේ පැමිණි සොළී කණ්ඩායමක් නිසා රජුට ඔවුන් සමග සටන්වැදීමට සිදුවිය. අනපේක්ෂිතව මෙම සටනින් එදා වළගම්බා රජතුමා පරාජයට පත්විය. තම බිසව වූ සෝමා දේවියත් තව කීපදෙනෙකුත් අශ්වරියේ නග්ගවා ගත් රජු පලාගියහ. පලායන රජු ඇතුළු පිරිස පළමුව පැමිණ ඇත්තේ අභයගිරිය පිහිටා ඇති ස්ථානයටය. අභයගිරිය පිහිටා ඇති මෙම ස්ථානයේ එදා සිටියේ ගිරි නම් වූ නිගණ්ඨයෙකි.
යුද්ධයෙන් පලායන රජු දුටු ගිරිනම් වූ නිගණ්ඨයා මහත්වූ ප්‍රීතියෙන් මහා “කළු සිංහලයා පලායතියි” උස් හඬින් කෑ ගසා ඇත. ගිරි නිගණ්ඨයාගේ පහත් වචනයත්, කැගෑසීමත් රජුට නින්නාදවක් විය. ගිරි නිගණ්ඨයාගේ වචනය ඇසුණ වළගම්බා රජු එදා මෙසේ නොසිතන්නන්නට ඇද්ද? මාත් මගේ බිසවත් සෙසු පිරිසත් යුද්ධයෙන් පැරද පලායන බව සැබෑය. පළමුව ජීවිතය බේරාගැනීම කළ යුතුය. මේ ගමනේ මා නොමැරී සිටියොත් නැවත තමන්ට සුදුසු අවස්ථාවක් උදා වූ විට ගිරි නිගණ්ඨයාට පාඩමක් උගන්වමියි සිතන්නට ඇත.
වේගයෙන් ඉදිරියට ඇදෙන රථය ඊළඟට පැමිණ ඇත්තේ ලංකාරාමය ඉදිකරවා ඇති ස්ථානයටය. මේ ස්ථානය මුළුමහත් ජාතියේ ඉරණම විසඳූ ස්ථානය වශයෙන් හැඳින්විය හැක. රජු ඇතුළු පිරිස පසුපසින් ලුහුබඳින සොළීන්ට හසුවීමට ගියේ මේ ස්ථානයෙහිදීය. සෝමා දේවිය පුණ්‍යවන්තය. නිර්භීතය. රටදැය, සමය ගැන කැක්කුමක් තිබුණි. ස්ථානෝචිත ප්‍රඥාවක් තිබුණි. එම නිසාම ඇය මෙසේ සිතන්නට ඇත. තව සුළු මොහොතකින් රජු සොළී සේනාවට හසුවන බවත් මරණයට පත්කරන බවත් ඒකාන්තය. එනිසා රථයේ බර අඩුවීමටත් සොළීන්ගේ ගමන නතර කිරීමටත් කළයුත්තේ ක්‍ෂණිකව රථයෙන් පැනීම යැයි සිතා රථයෙන් පැන්නාය. සෝමා දේවියගේ මෙම වීර ක්‍රියාව නිසා වළගම්බා රජු ජීවිතය බේරාගත්තේය. මෙම වීර ක්‍රියාව නිසා ඇයගේ නාමය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී ඇත.
අද බොහෝ දෙනකු “සෝමා දේවිය” හා “සෝමාවතී බිසව” යන නම් දෙක පටලවාගෙන ඇත. සෝමා දේවිය විසුවේ අනුරාධපුර රාජධානියෙහිය. “සෝමාවතී බිසව විසුවේ පොළොන්නරු රාජධානියෙහිය. “සෝමා දේවිය” සිහිවීම පිණිස ඉදිකළ චෛත්‍ය “සෝමාරාම චෛත්‍ය” නම් විය. (වර්තමානයේ හඳුන්වන ලංකාරාමය) “සෝමාවතී බිසව” කිවූ නිසා ඉදිකළ චෛත්‍ය සේමාවතී චෛත්‍ය නම් විය. (පොළොන්නරුවේ ඇති)

සෝමා දේවිය නිසා ජීවිතය බේරාගත් වළගම්බා රජතුමා අනුරාධපුරය අතහැර වෙනත් ප්‍රදේශයකට ගොස් ගල්ගුවා වන ළැහැබ, ආරක්ෂිත ස්ථාන වශයෙන් තෝරාගෙන තම සතුරා පරාජය කිරීමට අවශ්‍ය සේනාව සංවිධානය කළහ. යුදමය අතින් ප්‍රබල කණ්ඩායමක් සකස් කරගත් පසු සොළීන් සමග සටන්වැද ඔවුන් පලවාහැර නැවත රාජ්‍ය ලබාගත්හ. රාජ්‍ය ලබා ගැනීමෙන් පසු ඔහු රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කළ දේ බොහෝය.
තම බිසව වූ සෝමා දේවිය නිසා තමාගේ ජීවිතය බේරුණ නිසාත්, නැවත රාජ්‍ය ලබාගැනීමට හැකි වූ බවත්, කල්පනා කළ රජු සෝමා දේවිය සිහිවීම පිණිස ඈ රථයෙන් පැන්න ස්ථානයේ චෛත්‍යක් ඉදි කළහ. දේවියගේ නම යොදා සෝමාරාම චෛත්‍ය නමින් එය හැඳින්වූහ.
පසුකලෙක ඈ සතු රන්, රිදී, මුතු, මැණික් ආභරණ ද මෙහි තැන්පත් කළහ. මේ නිසා මෙම චෛත්‍ය මණිසෝමාරාම චෛත්‍ය වශයෙන් ද වංශ කතාවල හඳුන්වා ඇත. සෝමාරාම මණිසෝමාරාම යන නම් දෙකෙන්ම හඳුන්වා ඇත්තේ මේ එකම චෛත්‍යයයි. (ලංකාරාමයයි).
මීළඟට වළගම්බා රජුට ගිරි නිගණ්ඨයන් එදා ඔහු කිවූ වචනයත් සිහිවිය. එම ස්ථානයට ගිය රජු ඔහු සතු සියලු තිර්ථක අසපු විනාශ කර එම ස්ථානයෙන් ඔහු ද පලවා හැරීහ.
පසුව මෙම ස්ථානයේ “අභයගිරි” මහ ස්තූපය ඉදිකළහ.
තමන් එදා යුද්ධයෙන් පැරද සැඟවී සිටි අවස්ථාවේ නන් අයුරින් සැලකූ ධෛර්යවත් වීමට, අවවාද අනුශාසනා කළ “තිස්ස” නම් වූ භික්‍ෂුව වැඩමවා කෘතවේදීත්වය සලකා උන්වහන්සේට අතපැන් වත්කොට පුද්ගලික පූජාවක් වශයෙන් අභයගිරි චෛත්‍යය පූජා කරන ලදී. රජ දරුවෙක් භික්‍ෂුවකට පුද්ගලිකව ආරාමයක් පූජා කළ පළමු අවස්ථාව වශයෙන් මෙය වංශ කතාවල සඳහන් වී තිබේ. ගිරි නිගණ්ඨයාගේත්, රජුගේත් නම් දෙක යොදා ගනිමින් “අභයගිරිය” විණැයි පුරාවිද්‍යාඥයෝ පවසති.
ලංකාරාමය නමින් හැඳින්වීමට හේතු
“සෝමාරාම” මණිසෝමාරාමය යන නම් වලින් මුල් යුගයේ මෙම චෛත්‍යය හැඳින් වූ බව මුලින් අපි සඳහන් කළෙමු. පසු කලෙක මෙම චෛත්‍ය “ලංකාරාමය” නමින් ප්‍රකට විය.
ජනශ්‍රැති ඇසුරෙන් ලංකාරාමය වීමට හේතු සොයාගත හැක. වළගම්බා රජු බේරා ගැනීමට රථයෙන් පැන්න සෝමා දේවිය සොළීන්ට හසුවිය. සොළීහු ඇයව ජීවාග්‍රයෙන් සොළී දේශයේ රජුට භාරදී ඇත. සොළී රජු ද ඇයට හිංසා පීඩා නොකළහ. සොළී රජුට එකම දියණියක් සිටීය. එම දියණියත්, සෝමා දේවියත් හැඩ රුවින් එක සමාන විය. මේ හේතු නිසා සොළී රජු තම දියණියක සේ සිතා සෝමා දේවිය රැකබලා ගත්හ. “ලංකාවෙන් රැගෙන ආ නිසා ලංකා දේවිය” යැයි රජු ඇයට නමක් තබන ලදී. මේ නිසා මේ නම යොදා මෙම චෛත්‍ය පසු කලෙක “ලංකාරාමය” විණැයි, එක් ජනශ්‍රැතියකි.
වළගම්බා රජු හා රට ගැන හිතා සෝමා දේවිය රථයෙන් පැන්න නිසා “ලංකාරාමය” විණැයි තවත් ජනශ්‍රැතියකි. වළගම්බා රජු නැවත රාජ්‍ය ලබාගැනීමෙන් පසු සොළී රජු සෝමා දේවිය නැවත රජුට භාරදීමට කටයුතු කළේ යැයි ද කියවේ.
ලංකාරාමය චෛත්‍යයේ පිහිටීම
අඩි 132 අඟල් 2ක් වූ වෘත්තාකාරවූ වේදිකාවක් මත පිහිටා ඇත. මෙම වේදිකාවේ උස අඩි 10කි. මළුව පුරා ක්‍රමවත්ව සකස් කර ගන්නා ලද ගල්ලෑලි අතුරා ඇත. මෙම මළුවට පිවිසීම සඳහා සිවුදෙසින් පිහිටි අඩි 12ක් පළලැති පියගැට පෙළ සතරක් ඇත. සිවු වාහල්කඩක් ද තිබුණු බවට සාධක ඇත. නැඟෙනහිර පියගැට පෙළ අසල ගලෙන් නිමවන ලද හුරුබුහුටි ඔරුවකි. පැරන්ණන් මෙම ඔරුවේ ජලය පූජාවන් සඳහා යොදා ගනිමින් චෛත්‍ය වන්දනාව සඳහා පිවිස ඇත්තේ මෙම දොරටුවෙනි. චෛත්‍යයේ උස අඩි 50ක් වන අතර වටප්‍රමාණය අඩි 150කි. චෛත්‍ය මැදිවන සේ ඉදිරිපසින් කැටයම් හා සහිත වෙන්ව ගිය ගල් කණු පේළි 3ක් දක්නට ඇත. එයින් ප්‍රකාශ වන්නේ මෙය රජ දවස වටදාගෙයක් චේතියඝරයක් වශයෙන් තිබුණු බවයි. පළමු පෙළේ ගල් කණු 20ක් ද දෙවෙනි පෙළේ ගල් කණු 28ක් ද තුන්වෙනි පෙළේ ගල් කණු 40ක්ද ඇත. එකතුව ගත් කල 78කි.
රජ දවස මේ ගල් කුලුනු මත පියස්සකි. (වහලකි). ගෙයක් ඇතුළේ ඉදිකළ චෛත්‍යයකි. ගෙයක් තුළ ඉදිකළ චෛත්‍යය “වටදාගේ චේතියඝර” යන නම් වලින් හඳුන්වනු ලබයි. මුල් යුගයේ ගෙයක් තුළ ඉදිකළ චෛත්‍ය දෙකක් වශයෙන් “ලංකාරාමයත්” “ථූපාරාමයත්” පුරාවිiාඥයන් හා ඉතිහාසයඥයන් හඳුන්වනු ලබයි. අපේ පැරණි රජදරුවන් අහස උස තෙක් වෙහෙර විහාර ඉදිකළ අතර ගෙයක් තුළ චෛත්‍ය ඉදිකිරීමෙන් පෙනී යන්නේ ඒ කාර්යේ ඇති බැරෑරුම්කමයි. අප සදාකල් ඔවුන්ට ණයගැත්තෝ නොවෙමුද? ලංකාරාමයේ වටදාගෙය ඉදිකර ඇත්තේ (ක්‍රි.ව. 167-186) කණ්ඨ තිස්ස රජතුමා විසින් බව මහාවංශයේ සඳහන් වේ. පාකර් මහතා, පරිණවිතාන මහතා ආදී පුරාවිiාඥයන් මෙය තහවුරු කර ඇත. ගෝඨාභය රජු විසින් ද එය පිළිසකර කළ බව වංශ කතාවල සඳහන් වේ.
චෛත්‍යයේ හැඩය
මුල් යුගයේ මෙහි හැඩය කොයි ආකාරයෙන් තිබුණේදැයි නිශ්චය කිරීම අපහසුය. “බුම්බුළාකාර” විණැයි සමහරු පවසති. වරින්වර චෛත්‍ය පිළිසකර කිරීම්වලදී මේ වනවිට නෙල්ලි ගෙඩියක (ආම්ලාකාර) හැඩය ගෙන ඇති බව පෙනේ. එය සුවිශේෂත්වයකි. කිසිදු විහාරස්ථානයක මේ හැඩය දකින්නට නොලැබීම එයට හේතුවයි.
සිංහරුව
අපේ ජාතික සංකේතය සිංහ රූපයයි. ඒ තුළින් සිංහයාගේ ශ්‍රේෂ්ඨත්වයත් අභිමානයත් පෙන්නුම් කරයි. එනිසා පැරැන්ණන් කලාකරුවන් සිංහ රූපයට නිසිතැන ලබාදුනි. වෙහෙර විහාර, රජමාලිගා සඳකඩපහණ ආදී ස්ථානවලට සිංහරූපය ඇතුළත් කළහ.
“ලංකාරාමය” දකුණු පියගැටපෙළ නැඟ මඳක ඉදිරියට ගියවිට වම් අත පසින් දර්ශනීය සිංහ කැටයමක් ඇත. හෙළ කලාකරුවාගේ සියුම් නිර්මාණයට මෙය හොඳ නිදසුනකි. සිංහයා දකුණු අත ඔසවාගෙන දකුණු පස දෙස බලා සිටි “වාලධිය” ඉහළට නැඟී කැරකී තිබේ. සියුම් නෙත් සඟලක් ගර්ජනා සුරූපයෙන් යුත් මුඛයත් ගෙලෙහි කේශරත් කමණිය නිමාවකි. මෙම රූපය පසුගිය කාලයේ නිකුත් කළ ලංකා මුදල් නෝට්ටුවල පවා මුද්‍රණය කොට තිබුණි.
චෛත්‍යයේ නිධන්පිත වස්තු
සර්වඥධාතූන් වහන්සේලාත්, සෝමා දේවිය හා වළගම්බා රජු සතු සමහර මුතු මැණික් රන් රිදී ආදී වස්තූන් තැන්පත් කර ඇතැයි කියවේ.
ජනශ්‍රැතිවලට අනුව මෙහි බුදුන් වහන්සේගේ පටිධාතුවෙන් කොටසක් තැන්පත් කර ඇතැයි කියවේ. එය රසවත් කතා පුවතකි.
ලංකාරාම චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන යුගයක අනුරාධපුර ජේතවනාරාමයෙහි නිධන් කිරීම පිණිස බුදුන් වහන්සේගේ ඉණ බැඳි පටිධාතුව පෙළ හතරකින් වැඩමවා ගොස් ඇත්තේ ලංකාරාමය අසලිනි. ලංකාරාමය පිළිසකර කරමින් සිටි පිරිසක් මෙය දැක ඇත. පටිධාතුවෙන් කොටසක් ඔවුන් ඉල්ලා ඇත. එහෙත් ඔවුන් එම ඉල්ලීමට එකඟවී නැත. මේ නිසා පිළිසකර කරමින් සිටි පිරිස පටිධාතුව ලබාගැනීමට වෙර දරා ඇත. ඒ අවස්ථාවේ පටිධාතුවෙන් කොටසක් ඔවුන් අතට පත්වී ඇත. පසුව එම පටිධාතු කොටස ලංකාරාමයේ තැන්පත් කළ බව කියවේ.

පහත මළුවේ ස්මාරක
ලංකාරාම පහත මළුවේ (වැලිමළුවේ) ඓතිහාසික වටිනාකමෙන් යුත් ගොඩනැඟිලි 10ක් පමණ චෛත්‍ය වටා පිහිටා ඇත. සඳකඩපහණ, පඩිපේළි, මුරගල්, කොරවක්ගල්, ගල්කුලුනු, කැසිකිළිගල් ආදියෙන් මේ ගොඩනැඟිලි සමන්විත වේ. පෙර මහ රහතන් වහන්සේලා වැඩ විසූ ස්ථාන වශයෙන් මෙය හැඳින්වීමට පුළුවන.
කාලාන්තරයක් තිස්සේ පහත මළුවේ මේ ඉස්මාරක පිළිබඳ කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණි. අතිපූජ්‍ය අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාද මත 1999 ජුනි 25 වෙනි දින මා, ලංකාරාමයේ භාරකාරත්වයට පත්කරන ලදී. මින් පසු මගේ එකම බලාපොරොත්තුව වූයේ බුදුන්, මහ රහතුන් වැඩිහිටිය මේ උතුම් ස්ථානය මගේ මුළුමහත් කාලයත්, වීර්යත් යොදා දියුණු කරමි යන්නයි.
ඒ අනුව එවකට සිටිය බුද්ධශාසන අමාත්‍ය සහ සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ලක්‍ෂමන් ජයකොඩි මහතා මුණගැසී සාකච්ඡා කර මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා අභයගිරි ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් 2000 ජනවාරි 18 වෙනි දින පෙරවරු 10.58ට යෙදුණු සුබ මොහොතින් කැණීම් හා සංරක්‍ෂණ කටයුතු ආරම්භ කළෙමි.
මේ කැණීම් හා සංරක්‍ෂණ කටයුතු මගින් පුරාවිද්‍යාත්මක වටිනා ඓතිහාසික බොහෝ දේ සොයා ගැනීමට හැකිවිය.
ලංකාරාම සීමා ප්‍රාකාරය, ගල් උළුවහු, සඳකඩපහණ, මුරගල්, කොරවක්ගල්, ගලෙන් නිමවන ලද සතරැස් ළිඳක්, වතුර බැස එකතු වන පොකුණක් මීට අමතරව බෝධිඝරය හා හුනුගලින් කරවන ලද සිරස නොමැති අඩි 6ක් උසැති පිළිම වහන්සේ නමක්. මෙම පිළිම වහන්සේ දැනට අභයගිරි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. බෝධිඝරය චෛත්‍යයට ඉතා සමීපව බටහිර දෙසින් පිහිටා ඇත. මෙය ලංකාවේ ඉපැරණි බෝධිඝර අතර 38 වන බෝධිඝරය වශයෙන් සැලකේ.
කාලාන්තරයක් තිස්සේ වාහන ගමනාගමනය කළේ චෛත්‍යය වැලි මළුව මැදින් තිබුණ තාරපාර ඔස්සේය. මෙහි ඓතිහාසිකත්වයටත් පූජනීයත්වයටත් අගෞරවයක් වන බැවින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා අභයගිරි ව්‍යාපෘතියේත්, අපගේත්, යෝජනාවකට අනුව එම තාරපාර වෙනුවට නවතම පාරක් චෛත්‍යයට ඉදිරිපස සීමාප්‍රාකාරයෙන් පිට ඉදිකර ඇත. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන එම පාර ඔස්සේ මඳ දුරක් ගොස් ඉදිරියේ ඇති රථගාලේ නතර කර බැස ලංකාරාමය වන්දනාමාන කිරීමට පහසුවෙන් පැමිණිය හැක.
ඇත් පොකුණ
ඇත් පොකුණ පිහිටා තිබෙන්නේ ලංකාරාමයට ඉතා සමීපව උතුරු දෙසෙනි. කිලෝමීටර් කාලක් විතර ගිය තැන මෙය හමුවේ. දිවයිනේ ඇති විශාලතම පොකුණ වන්නේ ද ඇත් පොකුණයි. අපේ පැරණි වාරි කර්මාන්තයට මෙය හොඳ නිදසුනකි. පොකුණේ දිග අඩි 487කි. පළල අඩි 162කි. ගැඹුරින් අඩි 32කි. අක්කර 2ක පමණ විශාලත්වයෙන් මෙය සමන්විතවේ. ගල්පීල්ලකින් හා බිසෝ කොටුවකින් යුක්තය. මෙම සුවිශාල පොකුණට මෙම ආසන්නයේ පිහිටි බුලංකුලම, පෙරිමියන්කුලම, බසවක්කුලම යන වැව් මගින් ජලය ලබාගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ලංකාරාමය වන්දනාවේ පැමිණෙන ඔබත් ඔබේ ඉගෙනගන්නා දරුවන්ටත්, අනිවාර්යයෙන් පෙන්විය යුතු සුවිශේෂ පොකුණකි.
නව විශ්‍රාම ශාලාව
පෙර දිනට වඩා දැන් දැන් ලංකාරාම චෛත්‍යය රාජයාණන් වහන්සේ වන්දනාමාන කරගැනීම සඳහා දෙස් විදෙස් පිරිස් ඇදී එන බවක් පෙනේ. එය කාගේත් සතුටට කරුණකි. පෙරට වඩා යම්කිසි දියුණුවක් අදවන විට කාගේත් නෙත ගැටෙන නිසා එසේ විය හැක.
මෙසේ පැමිණෙන ටික දෙනෙකුට හෝ මොහොතක් නතර වී පුද පූජා පැවැත්වීමට විශ්‍රාම ශාලාවක් මෙහි නොවීය. මෙය ද අපගේ අවධානයට යොමු වූයෙන් 2000 වර්ෂයේදී විශ්‍රාම ශාලාවක් පරිත්‍යාගශීලි සැදැහැවත් අයගේ සහයෝගය ලබාගෙන ඉදිකිරීමට පටන් ගතිමි. මේ වනවිට එහි වැඩ තරමක් දුරට අවසන් වෙමින් පවතී.
ලංකාරාම චෛත්‍යය රාජයාණන් ඉදිරිපසින් ඔබ නෙත ගැටෙන්නේ එම දැකුම්කලු විශ්‍රාම ශාලාවකි.

ලංකාරාම වන්දනාව
අපේ පැරැන්ණෝ මහත් බලාපොරොත්තුවෙන් මෙම චෛත්‍යය වන්දනාමාන කරගත්හ. ඔවුන්ගේ එක් බලාපොරොත්තුවක් වූයේ ලංකාරාමය වන්දනා මාන කිරීමෙන් ඔවුන් කළ පෙර පව් දුරුකර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි.
“ජය මහ බෝධි” වන්දනා කවිවල එන මෙම පැදි දෙපදයෙන් එය පැහැදිලිවේ.
පෙර කල පව් අපෙ දුරුකර දෙන මේ
නිරතුරු වඳිමුව ලංකාරා මේ
අපේ පැරැන්නන් මෙම ඓතිහාසික ලංකාරාමය වන්දනා කිරීම සඳහා ගාථා දෙකක් ද භාවිතා කර ඇත. එනම්,
“සේල සොබ්බ කන්ඨකේ පුරාණිවාසිනේ
වට්ට ගාමිණි සමඤ්ඤ භූමිසාමිනා
බුද්ධ රාජධාතු පතිට්ඨපෙත්වා කාරිතං
ලංකාරාම නාමධේය චේතියං නමේ”
“වළගම්බා රජතුමා විසින් ගල් හෙබකඩ නම් ස්ථානයේ සර්වඥධාතුන් වහන්සේලා නිධන් කර තැන වූ ලංකාරාම චෛත්‍ය රාජයාණන්ට මම නමස්කාර කරමි.”
වට්ටගාමි නිරින්දස්ස දේවියාකාරි තංපුරේ
ලංකාරාම මහිඤ්ඤතං චේතියංතං නාමා මහං
වළගම්බා රජු විසින් තම දේවිය සිහිවීම පිණිස ඉදිකරන ලද ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.
වීර දිනයක්
රට ජාතිය ආගම බේරාගැනීම සඳහා අපේ රටේ බොහෝ දෙනෙක් ජීවිත පූජාවෙන් කටයුතු කර ඇති බව පෙනේ. මෙවන් ඇතැම් වීර පුද්ගලයන් සිහිකර වීර දින උත්සව ද වරින්වර පවත්වනු ලැබේ. හැදෙන වැඩෙන අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ඔවුන්ට රට ගැන හැඟීමක් ඇතිවීමට එවන් උත්සව ධෛර්යක් වනු ඇත.
රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් එදා වීර ක්‍රියාවක් සිදුකළ “සෝමා දේවිය ද සිහිකර ලංකාරාමය, අබියස ද එවන් වීර දින උත්සවයක් අවුරුදු කීපයකට සැරයක් හෝ සිදුකිරීමට අප කාගේත් අවධානය යොමු වන්නේ නම් කෙතරම් අගේද?”

අනුරාධපුර ලංකාරාමාධිකාරී
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රළපනාවේ ධම්මජෝති නාහිමි
නාහිමියන් ලියූ ලංකාරාමය ග්‍රන්ථයේ අනුග්‍රහයෙනි.