Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සිනා සී මම කඳුළු සඟවා ගතිමි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සිනා සී මම කඳුළු සඟවා ගතිමි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

22 hours ago
337 Views

නිළි රැජන මාලිනී එදා හෙළි කළ ජීවිත කතාව

අවසාන කොටස

කැලණියේ පදිංචියට පැමිණීමෙන් පසු දැන් මා යන්නේ ගුරුකුලයටයි. (ගුරුකුල විද්‍යාලයට) එය මගේ ජීවිතයේ ඉතාම ප්‍රියජනක වූද මිහිරි වූද කාලයයි.

මිල මුදල් අතින් තාත්තා කෙතරම් දුක් වින්දත් ඒ කිසිම වේදනාවක් පීඩාවක් ඔහු අපට පෙන්නුවේ නැත. අපේ තාත්තා දෙවි කෙනකු නැතිනම් මුනිවරයකු වගේ යයි මා කියන්නේ ලොකුකමට හෝ මගේ කමට නොවන බව කරුණාවෙන් සිතනු මැනවි. ඔහු අප හදා වඩා ගන්නට නොසිතූ විරූ දුකක් වින්ද බැවිනි. එහෙත් ඒ දුක අපට පෙනෙන්නට හෝ දැනෙන්නට කවදාවත් ඉඩ නොතැබුවේය. අම්මා පාරක් ගැහුවත් සැර කළත් තාත්තා කවදාවත් බැන්නේවත් ගැහුවේවත් නැත. ඔහු පුදුම දරු සෙනෙහසක් තිබූ පියෙකි.

ගුරුකුලයේ මිස් තිලකරත්න ටීචර් මට කවදාවත් අමතක නොවෙයි. මා මුලින්ම ගුරුකුලේ ඇගේ පංතියට ගිය මොහොතත් ඉංග්‍රීසියෙන් කවියක් කියන්නට දී පාසලේ විවිධ ප්‍රසංගයට හොඳින් රඟපෑ බැවින් එදා සිට පැවැත්වූ සෑම විවිධ ප්‍රසංගයකටම මා තෝරා ගනු ලැබිණි. ක්‍රේප් කොල වලින් ගවුමක් මසා හැඳ මුහුණේ සායම් අතුල්ලාගෙන එදා විවිධ ප්‍රසංගයට පෙනී සිටි අවස්ථාව අද චිත්‍රපටයක ප්‍රධාන නිළි චරිතය කිරීමට වඩා කෙතරම් ආශ්වාදජනකද? පුංචි දමයන්ති හා රසාදරි නංගිලා හැරෙන්නට අපි සැවොම ගුරුකුලේ උගෙනුම් ලැබීමු. ගුරුකුලය කාටත් පොදු මිශ්‍ර පාසලකි.

අප හැම දෙනාම පාසල් යන්නට වීම නිසා ආර්ථික ප්‍රශ්න වඩ වඩාත් උග්‍රවූ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පියා චිත්ත ධෛර්යයෙන් හීන නොවී අලුත් පොත් බැරිනම් මරදානේ කොස්තා පොත් සාප්පුවෙන් පරණ පොත් හෝ අපට සොයා ගෙනැවිත් දුන්නේය. අප බඩගින්නේ සිටියේ නැත. සම්බෝලයක් බතක් සහිතව හෝ අම්මා අපට තුන් වේල කන්නට දුන්නාය.

ආච්චි හැම පෝයටම සිල් සමාදන් වීමට මා පන්සලට කැඳවාගෙන ගියාය. සුදු ගමුවට උඩින් සිල් රෙද්ද පොරවා ගෙන හෙමින් හෙමින් ආච්චි සමග පන්සලට ගිය ගමන තවමත් මට මතකය. මා වැඩි මනින්ම ගියේ උදේ හීල් දානයට ලැබෙන මුං කිරි බත් කෑමටත් දවාලට කටට රහට ලැබෙන දවල් දානය කෑමටත්ය. බඩ පිරුණු පසු ආච්චිගෙන් හොඳ බණ කතාවක්ද ඉගෙන ගෙදර එමි. මේ සිදුවීම් අද ම සිතෙහි දුකක් ද සංවේගයක්ද ඇතිකරවයි. අනේ අද එක දවසකට මා ගත කරන මේ ජීවිතයෙන් මිදී සුදු ගවුම හා සිල් රෙද්ද පොරවා බෝ ගහ යට සුදු වැල්ලේ සිට ළදැරියක් සේ ආච්චිගෙන් බණ කතාවක් අසන්නට ඇත්නම්…

මා වැඩිවියට පත්වූ දිනය මට අද මෙන් මතකය. සාමාන්‍ය වශයෙන් දැරියක් වයස අවුරුදු 12දී හෝ 13දී යොවුන්භාවයට පත්වන නමුත් මා වැඩිවිය පත් වූයේ වයස අවුරුදු 15 දීය. ඒ කාලයේ දැන් මෙන් ජීවිතය ගැන අත් දැකීමක හෝ මෝරා ගිය හැඟීමක් මා තුළ නොපැවතුනි. වයසින් පහළොස් හැවිරිදි වුවද අත් දැකීමෙන් ජීන්‍ිතය ගැන තිබුණේ ඉතා බොළඳ වූද සියුමැලි වූද හැඟීමකි. නොමේරූ ගතිය නිසාම එය චමත්කාරයෙන් පිරී ඉතිරී ගිය කාල පරිච්ඡේදයක් වූ බව නම් සැබෑය.

රෙදි වලින් වට තිර ඇද කොටුකර තුබූ පුංචි කාමරයේ ගත කළ දවස් කීපය තුළ හෝ තනි කමක් නොවීය. තනි රකින්නට නංගිලා සිටියහ. මල්ලිලාට ‘ඇතුළුවීම තහනම්’ වුවත් කෙළි කවට කමටත් දඟකාරකමටත් කර පොවා බලා සිනාවක් පා අතුරු දහන්වීම සිරිතක් විය. ඔවුන්ගේ පුංචි පිවිතුරු ළමා ලෝකයට එය ඔට්ටු තාන් සෙල්ලමක් වැනි විනෝදයක් විය. ඔවුන් කර පොවා බලා ‘අක්කේ’ යයි සිනාවක් පාද්දී අම්මා මල්ලිලාට කෑ ගැසුවත් මගේ හිත සහෝදර සෙනෙහසින් පිරී ගියේය. පාසලේ මාගේ යෙහෙළියෝ මා දකින්නට පැමිණියහ.

වතුර වත් කරන සුබ නැකත් දිනයේ හිමිදිරි පාන්දර හතරට මා කට කට ගා සීතලේ ගැසෙද්දී අම්මා මල් පෙති විසුල වතුරෙන් මා නෑව්වාය. ඒ සීතල පිළිබඳ මතක අදත් සිරුර හිරු ගඩු පුප්පන තරම්ය. ඉන්පසු සුදු පොරෝනයකින් හිස සිට දෙප තුළ දක්වා වසා ගෙතුළට ගෙනැවිත් රන් වන් එළිය නගන පොල් තෙල් පහනද කිරිබත් මේසය ද සුදු පිච්ච මල් දිය වීදුරුවද අබියස පොරෝනය වැසුම් හැර ඒ සුබ දර්ශනයට මගේ දෙනෙත් යොමු කළ අයුරු මතකය. එදෙස බලා ජනේලයෙන් පිටත බැලූ කළ ජනේලයෙන් එහා පිපී තිබුණ සුදු කෝපි මල් මා සමග සිනාසුනාක් වැන්න. අම්මා මසා තිබූ කහපාට මිශ්‍ර ගවුම ඇද කණ්ණාඩිය ඉදිරියට ගොස් සිටගත් මොහොතේ මට මා ගැනම ආදරයක් හා ආසාවක් ඇතිවිය. මගේ මුහුණ ළැම පෙදෙස හා ඉඟ දින දෙක තුනකින් මෙතරම් වෙනස් වීද?

මගේ පංතියේ මා සමග නොවෙනස් හිත මිතුරුකමින් ඇසුරු කළ පුෂ්පා, චන්ද්‍රා හා දමයන්ති යන යෙහෙළියෝ මට තෑගි ගෙනැවිත් තිබුණාහ. ඔවුන්ගෙන් කෙනෙකු මට පිරිනැමූ සුවඳ විලවුන් කුප්පියේ විලවුන් සුවඳ මේ කියන මොහොතේ අදත් මට සිතට දැනෙයි. එය ඒ කාලයේ හැටියට වැඩි මිලක් නැති සුවඳ විලවුන් කුප්පියකි. නැතිනම් මා මෙන්ම දිළිඳු මගේ යෙහෙළියට එය මට තෑගි කළ නොහැකිය. එහෙත් මම ඔබට ඉතා අවංකව කරුණක් කියමි. මෑථදී එංගලන්තයට ගිය ගමනේදී එහිදී මා සුවඳ බැලූ ලොව උසස්ම සුවඳ හැමකක්ම පරදන පිවිතුරු නාමල් නැවුම් සුවඳක් එහි ගැබ්ව තුබූ බව මට මතකය. යොවුන් විය පත්ව දොරට වැඩි මුල් දිනේ ඇය විසින්ම මගේ ගෙල හා දෙකන් පෙතිවල ගැල්වූ ඒ සුවඳ මගේ සිතින් ජීන්‍ිතය පුරා මැකී නොයන සුවඳක් ලෙස පවතිනු ඇත. මේ දැනුත් ඒ සුවඳ මගේ සිතට දැනෙයි.

යොවුන් වියට පත් වීමෙන් පසු ගිය පාසල් ගමනේදී වුවද වැඩිවිය පත්වීම අමුත්තක් හෝ බැරෑරුම් කමක් සිතට නොආවේය. යළි කෙළි දෙළෙන් විහිලු තහලුවෙන් කාලය ගෙවිණි. මම විද්‍යා විෂයයන් ජ්‍යෙෂ්ඨ පංතිය සඳහා උගෙනමින් සිටියෙමි. අද මෙන්ම එදාත් මගේ සිංහල අකුරු ඉතා කැතය. මා කෙතරම් ඕනෑකමකින් ලියන්නට උත්සාහ කළ ද වටකුරු සිංහල අකුරු ලිවීමට මට නොහැකි විය. පංතියේ කැතම සිංහල අකුරු ලීවේ මා වෙන්නට පුළුවන. එහෙත් උගෙනීමට මම දක්‍ෂ වීමි. අකුරු වලින් මා පරාද වුනද පංතියේ පළමු වැනියා ලෙස සෑම වාර විභාගයකදීම ජයග්‍රහණය කළෙමි.

පාසල් සමයේදී මාව ඉතා දැඩි ලෙස නාට්‍ය කටයුතු සඳහා උනන්දු කළ අපේ පාසලේ නැටුම් ගුරුතුමා වූ (අද චිත්‍රපට නැටුම් නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරන) ඇස්. මලල් මහතා ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. විනීත ආචාර්ය ධර්ම ඇති ගුරුවරයකු වූ ඒ මහතා ඉතා මහන්සි වී තම ශිල්පය අපට බෙදා දුන්නේ බොහෝ නැටුම් ගුරුවරුන්ට හා කලා ශිල්පීනට ආදර්ශයක් වන පරිද්දෙනි.

එකල ගුරුකුල විදුහල හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පිරිවෙන පිහිටා තිබුණේ එකම භූමි භාගයකයි. විද්‍යාලංකාර නාට්‍ය සංගමයේ නාට්‍යයක් සඳහා ගැහැනු ළමයින් කීප දෙනකු අවශ්‍ය වී තිබිණි. මලල් මහතා තවත් ළමයින් කීප දෙනකු සමග ඒ සඳහා මාවද තෝරා යැව්වේය. එය මගේ නාට්‍ය ජීවිතයේ ආරම්භය විය. ‘නොරත රත’ නම් එම නාට්‍යය එච්. ටී. වීරසිරි නිශ්පාදනය කළ අතර විල්මට් පෙරේරා නැටුම් පුහුණු කළේය. පිංගුත්තරට මා අල්ලා කසාද බැඳ දෙන දර්ශනයේ පෙනී සිටිද්දී මම ඇත්තටම කඳුළු හෙලා ඇඬුවෙමි. පිංගුත්තරට විවාහ කර දුන් නිසා නොවේ. ඉසිලිය නොහැකි තරම් සැර ලයිට් පහර ඇස් දෙකට මැදී කඳුළු ගලන්නට වූ බැවිනි. අද ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වූ සුජාතා පෙරේරා (අත්තනායක) එදා එම නාට්‍යයේ පසුබිම් ගී ගැයුවාය.

බී, රත්නායකගේ ‘අමල් බිසෝ’ සෑම් පෙරේරාගේ ‘ඉව බව නැති ලොව’ ඇස්. කරුණාරත්න ගේ ‘ගුත්තිල’ ‘එරබදු මල් පොට්ටු පිපීලා’ සහ ‘හිරු අවරට ගියාදෝ’ ධර්මදාස ජයවීරගේ ‘අකල් වැස්ස’ සුනන්ද මහේන්ද්‍රගේ ‘සයුරෙන් ආ ළඳ’ ප්‍රේම් කුමාර එපිටවෙලගේ ‘නුවණ පොදිය’ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘බක තපස්’ සුමන ආලෝක බණ්ඩාරගේ ‘නිදි කුම්බා’ යන නාට්‍යවලද සෝමලතා සුබසිංහ අසනීපයෙන් සිටි කාලයක ගලප්පත්තිගේ ‘ලිය තඹරා’ නාට්‍යයේ ද රඟපෑවෙමි. මගේ නාට්‍යය ජීන්‍ිතය ආරම්භ වූයේ එපිරිද්දෙනි.

මා හොඳ නිළිය ලෙස සම්මාන ලැබූ ‘අකල් වැස්ස’ නාට්‍යය ලුම්බිණි රඟහලේ වේදිකාගත වෙමින් තිබිණි එම නාට්‍යත්‍ය් මා චරිත නිරූපණය කළ අයුරු නැරඹීමට චිත්‍රපට නිෂ්පාදකයකු වූ සුගතදාස මාරසිංහ මහතා සමග ජෝ අබේවික්‍රම තිස්ස ලියනසූරිය සිසිර සේනාරත්න ඇන්ටන් අල්විස් යන කලා ශිල්පීහු පැමිණ සිටියහ. ඔවුන් පැමිණ සිටියේ එවකට මාරසිංහ මහතා නිෂ්පාදනය කිරීඹට අදහස් කර සිටි පුංචි බබා චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයක් සඳහා මා තෝරා ගැනීම පිණිස කිසියම් විනිශ්චයක් කිරීම සඳහාය.

මගේ රඟපෑම දැකීමෙන් පැහැදීමට පත්වූ එම පිරිස ජෝ අබේවික්‍රම මහතාගේද අනුග්‍රහය පරිදි පුංචි බබා චිත්‍රපටය සඳහා මා තෝරා ගනු ලැබිණි. එය මගේ චිත්‍රපට ජීවිතයේ ප්‍රථම කඩතුරාව විවෘත වීමයි එයින් පසු මම චිත්‍රපට විශාල සංඛ්‍යාවක රඟපෑවෙමි. දැනට ප්‍රදර්ශනය වන නීළා හා සකුන්තලා යන චිත්‍රපට තෙක් මා රඟපෑ චිත්‍රපට නාම ලේඛනයක් මෙහි අන් තැනක පළවන බැවින් ඒ යළිත් ලිවීමට නොවෙහෙසමි. තව ඉදිරියේ ප්‍රදර්ශනය සඳහා සූදානම්ව ඇති හා දැනට නිෂ්පාදනයේ පවතින චිත්‍රපට විශාල සංඛ්‍යාවක මම රඟපාමි.

මගේ හදවතේ මුලින්ම ප්‍රේමය පිළිබඳන්‍ හෝ ආදරය පිළිබඳ හැඟීමක් උපන්නේ කෙසේද? එය රසවත් ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය මා මගෙන්ම අසන ඇතැම් මොහොතක වුවද එය මට මිහිරි ප්‍රශ්නයක් වෙයි. මගේ සිතේ මුලින්ම ආදරය ගැන හැඟීමක් ඇතිවූයේ ගුරුකුල විදුහලේ ජ්‍යෙෂ්ඨ පංතියේ උගෙනුම ලබන

අවදියේය. අපි පාසලේ උගෙනීමේ කාලයෙන් පසු නාට්‍ය පුහුණුව සඳහා ඇතැම් හවස් කාලයක පාසලේ නතර වීමු. පාසල් දිවිය තරම් මිහිරි අත්දැකීමෙන් සිහිපත් කළ හැකි සැහැල්ලු වූද නිර්මල වූද කාල පරිච්ඡේදයක් ජීවිතයේ අන් කවර කලකින් සොයම්ද? මේ කාලයේ අපේ පංතියේම උගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් මට ටොෆි ලොසින්ජර ආදිය ගෙනැවිත් දී කාරුණික වදනින් නිතර මා සහා කතා කරන්නට කැමැත්ත දැක්වීය. මගේ හිතෙහිද ඔහු කෙරෙහි කාරුණික හැඟීමක් ඇති විය.

කෙසේ වුවද මේ සුහද පිළිසඳර අපේ ලොකු අයියාගේ කණටද රිංගුවේය. මා විභාගයේ වැඩට හා අධ්‍යාපන කටයුතුවලට බාධා පමුණුවා ගනු ඇතැයි අවංකව සිතූ ලොකු අයියා මේ සම්බන්ධය ගැන මට දැඩි ලෙස අවවාද කළේය. තරමක තරවටුවක්ද කළේය. ඒ තරවටුව නිසාම අර ශිෂ්‍යයා කෙරෙහි මා තුළ අහිංසක ඇල්මක් අතිවිය. අනුකම්පාවක් ඇතිවිය. එහෙත් එය මුහුකුරා ලියලා යන්නට පෙර මා සම්මාන හතරක්ද සහිතව ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් වීමි. මා තෝරාගෙන තිබුණේ විද්‍යා විෂයයන් බව කීවොත් ඔබ සමහර විට විශ්මයට පත්වනු ඇත. එහෙත් එය සත්‍යයකි. එහෙත් මගේ ඉරණම මේ ‘දොස්තර නෝනාට සරදම් කළේය.

මගේ පාසල් ගමන නතර වීමට වඩාත්ම අනුබල ලැබුණේ මා ඒ වන විට චිත්‍රපට ලෝකයට පෙර ගමන් අරඹා තිබූ බැවිනි. ඉන්පසු මගේ සිතේ සටහන් වන්නේ තවත් එක් ප්‍රේමාන්විත සිද්ධියක් පමණි. එය නාට්‍ය කලා ශිල්පියකු මා පිළිබඳ ඇතිකර ගත් ඇල්මක් හා මසිතෙහිද ඔහු වෙත පහළවූ දයාවත්ය. යොවුන් දිවියේ හැටි එසේය. එහෙත් එය දැඩිවී අන්‍යොන්‍ය ප්‍රේමයක් මුහුකුරා යන්නට පෙර ක්‍ෂණිකව මගේ විවාහය සිදුවිය. චිත්‍රපට ජීවිතයේ දොර පියන් පත් මා වෙත විවෘත වූ මුල් යුගයේම මට විවාහ වන්නට සිදුවීම එක් අතකින් දෛවය මට කළ තවත් තියුණු සරදමක් වැන්න.

එකල විසි හැවිරිදි වියෙහි පසුවූ මා පසුගිය දහ වසර තුළ ලැබූ අත්දැකීම් වලින් සීයෙන් එකක්වත් නැති යුවතියක් වීමි. විවාහය සොඳුරු පිවිතුරු සිහින ලොවක් ලෙස සිතා ගෙන සිටි මා එයට සුළු වශයෙන් හෝ පළුදු වීමක් වූ තැන සංවේගයට පත්වීමි. විස්මිත වීමි. කොටින්ම කියතොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා විවාහය යන අකුරු හතර පූජනීයත්වයෙන් සිතුවෙමි. එය මගේ නොමේරූ අත්දැකීම් නිසා විය හැකිය. මේ ගැන මා මින් පෙර සුරතුරටද ලීවේ අවංක සිතිනි.

ප්‍රථම විවාහයෙන්ම මම පරාජයට පත්ව කඳුළු සැඩ පහරකට මැදිව හඬ හඬා පැමිණ හුදකලා පාළු ජීවිත වෙරළෙහි තනි වීමි. මා කලින්ද ලියා ඇතුවාක් මෙන්ම මට නිවසක් රථයක් මෙන්ම කීර්තිය සම්මාන මිල මුදල් මේ හැම දෙයක්ම ඕනෑවටත් වඩා ලැබී ඇත.

එහෙත් මගේ දුක පාළුව වේදනාව තේරුම් ගත හැකි කිසිවකු මට හමු නොවූයේ ඇයි?

මා කෙරෙහි ආදරය දක්වන මගේ නම ප්‍රිය කරන රසික රසිකාවියන් සිය දහස් ගණනකගෙන් සැඟවී මා මේ පාළු හුදකලා ජීවිත වෙරළේ සති ගණන් මාස ගණන් මේ දක්වා නම් වසර දෙක තුනක් හඬා ඇත. එහෙත් මගේ රසික පිරිස නොහැඬ විය යුතු නිසා මම ඔවුන් හා සිනාසී මගේ කඳුළු සඟවා ගතිමි.

මෙතෙක් සැඟවී සිටි හුදකලා වෙරළේ පාළු කළුගල් ඉසව්වෙන් ඉවත්ව ඔබ ඉදිරියට පැමිණ කඳුලින් රිදුම් කළ හදවතින් මේ දුක ඔබට කියමි. මගේ හිත සැහැල්ලු වනු පිණිස ඒ දුක කියමි.

(1977 මධුරි හි පළවූ මෙම ජීවිත කතාව අප වෙත යොමු කළ ප්‍රියන්ත ඩිරෙක්ස් මහතාට අපේ ස්තූතිය. සම්බන්ධීකරණය සිදු කළේ බුලිත ප්‍රදීප් කුමාරයි.)

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

22 hours ago
Related News
විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

විශේෂාංග

යොවුන් හදක රැඳුණු ‘සරා සුසුම්’

විශේෂාංග

සරසවි සම්මාන උළෙල ජුනි 24 වැනිදා BMICH හිදී

විශේෂාංග

‘කලු යාන්ත්‍රණය’ ගැන ජනපතිගේ හෙළිදරව්ව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok